විෂ වායුවකින් නිවැසියන් නිදිගන්වා දේපළ කොල්ල කන කල්ලියක් | දිනමිණ

විෂ වායුවකින් නිවැසියන් නිදිගන්වා දේපළ කොල්ල කන කල්ලියක්

කුරුණෑගල මධ්‍යම විශේෂ ආරියපාල වංශතිලක

රාත්‍රී කාලයේ විෂ වායුවකින් නිවැසියන් නිදිගන්වා නිවෙස් තුළට රිංගා මුදල් හා රන් ආභරණ කොල්ලකමින් කාන්තාවන්ට ද අතවර කරන සිද්ධීන් අවට පොලිස් ස්ථානවලින් වාර්තා වන බැව් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.

මාවතගම, වාරියපොල, රිදීගම, පොතුහැර, ගිරිඋල්ල, නිකවැරටිය යන ප්‍රදේශවල මෙම සොර බිය පැතිර යමින් පවතින නිසා ගම්මු කොටස් වශයෙන් බෙදී රාත්‍රී කාලයේ තම තමන්ගේ නිවෙස් ආරක්ෂා කරමින් සිටින බැව් කියති.

කුරුණෑගල හලාවත ප්‍රධාන මාර්ගයේ මාස්පොත නවගත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ කණ්ඩායමක් බටයක් උපයෝගී කරගනිමින් විෂ දුමක් නිවස තුළට යැවීමේදී නිදා සිටි තරුණියකගේ ඇ‍ඟේ දැවටීමෙන් අවදි වූ ඇය කෑගසනවාත් සමඟ සොර කල්ලිය පලාගොස් ඇත.

රිදීගම කවිසිගමුව ප්‍රදේශයේදී 4 දෙනෙක් ප්‍රදේශවාසීන් විසින් කොටුකරගෙන හොඳටම ගුටි බැට දී පොලිසියට භාර දී ඇත.

මාවතගම බරන්දන දී අංක තහඩු නොමැති වාහනයකින් පැමිණි කණ්ඩායමක් වටලා පහරදී වාහනයේ හුලං අරින විට වාහනය තුළ සිටි කාන්තාවක් ,අනේ අපට ගහන්න එපා. අපි ආවේ ඉඩමක් බලන්න, යනුවෙන් කෑගැසූයෙන් පහරදීම නවතා ඇත. මේ සම්බන්ධයෙන් වාහනයේ පැමිණි පිරිස මාවතගම පොලිසියට පැමිණිලි කොට ඇත. නිවැසියන් නිදිගන්වා කොල්ලකෑමේ යෙදී සිටින මොවුන් පිටුපස අවට පොලිස් ස්ථාන දැඩි විමසිල්ලෙන් සිටින බැව් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

 


නව අදහස දක්වන්න

Or log in with...