ගෙදර වැඩට රොබෝ ඔලී | දිනමිණ

ගෙදර වැඩට රොබෝ ඔලී

තඹරු විජේසේකර

නිවසේ රොබෝවරයෙක් තබා ගැනීම මේ දශකයේ අලුත්ම දේ බවට පත් වී තිබෙනවා. මුලදී ගඩොල් බාග වගේ දුරකතනවලට පුරුදු වෙලා ඉඳලා ඒවා ස්මාර්ට් දුරකතන බවට පත්වෙලා පරිගණකයත් අතික්‍රමණය කළාට පස්සේ ගෙදර තිබෙන අනෙක් බඩුමුට්ටුත් ස්මාර්ට් වුණා. තවත් අංගයක් වශයෙන් තමයි නිවසට පරිගණක සහයකයෙක් එහෙමත් නැත්නම් රොබෝ කෙනෙක් තියා ගැනීම පටන් ගත්තේ. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල අපිට දක්නට ලැබුණු විවිධ ආකාරයේ හැකියාවන් තිබුණ සහායකයන් විවිධ යානා ධාවනය කරන්නට යුද්ධ උපක්‍රම සැලසුම් කරන්නට (Star Wars චිත්‍රපට මාලාව) මෙන්ම ක්ලෝන කරන ලද මිනිසුන් රාජකාරියේ යොදවා තිබියදී ඔවුන් ක්ලෝනයක් යැයි නොදැනෙන පරිදි රඳවා ගන්නට සකසන ලද පරිගණක සහායකයින් (Moon 2009 චිත්‍රපටය) වැනි ගෙදර වැඩවලට සහාය කර ගත හැකි රොබෝවරුන් වර්තමානය වන විට නිපදවා තිබෙනවා.

මෙම නිවාස සහායකයන් පිළිබඳ සංකල්පය වඩාත් සමාජගත වූයේ ඇමසන් සමාගම විසින් ඔවුන්ගේ ඇමසන් එකෝ (amazon echo)නමැති නිවාස සහායකයා හඳුන්වාදීමත් සමඟයි. එයින් ඇරැඹුණු රැල්ල ගූගල් සමාගමට ද බෝ වූ අතර ඔවුන් ද ගූග්ල් හෝම් (Google Home) නමින් ඒ ආකාරයේ ම සහායකයෙක් තමන්ගේ ගූග්ල් ඇසිස්ටන්ට් කෘත්‍රිම බුද්ධිමය මෘදුකාංගය අඩංගු කරමින් හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඇපල් සමාගමත් හෝම්පොඩ් නමින් නිෂ්පාදනයක් සමඟ ඊට එකතු වුණා. මෙය හුදෙක් විලාසිතාවක් වශයෙන් නොව කාර්යබහුල ජීවන රටාවත් සමඟ ෆෝන් එක අතට අරගෙන තමන්ට යන්නට තිබෙන ගමන් මාර්ගයේ වාහන තිබෙනවාද, අද කරන්නට තිබෙන වැඩ මොනවාදැයි බලන්න වෙලාවක් නැති වීම නිසා නිවසේ සාලයේ තබන ලද කුඩා උපකරණයෙන් ඒ ගැන විමසුවාම සියලුම විස්තර ඇඳ පැළඳ ගන්නා අතරේම අසා දැනගන්නට හැකියාව ලැබෙන නිසා තම මෙය භාවිත කරන්නට පෙළඹී තිබෙන්නේ. නමුත් මේ හුදෙක් මයික්‍රෆෝනයක් අන්තර්ජාල පහසුකම් සහ ස්පීකරයක් සහිත කුඩා උපකරණවලට වඩා වඩාත් සංකීර්ණ ආකාරය රොබෝවරුන් ද ලොවට බිහි වී තිබෙනවා. මෙයින් එකක් තමයි ඔලී (Olly)කියන්නේ.

ඔලී හරියට පීරිසියක් උඩ තියපු උළුඳු වඩේ එකක් වගේ. පණ ගැන්වූවාම වළල්ලක් වගේ කොටස ආනතියකින් යුතුව නැගිටලා පීරිසිය වටේ රවුම් කීපයක් යනවා. ඒ, අවට තිබෙන වස්තූන් සහ පුද්ගලයන් ගැන දළ අවබෝධයක් ලබා ගන්නටයි. මෙහි මුහුණතේ LED බුබුළු රටාවන් සහ ඉහළින් කැමරා දෙකක් සඳහා විවරයක් තිබෙනවා. ස්පීකර යුවළක් බඳ අභ්‍යන්තරයේ ඇති අතර මයික්‍රොෆෝන හතරක් පාදමේ තිබෙනවා. මෙම ස්පීකරවලට ඔබ සිටින ස්ථානය, ඔබේ හැඟීම සහ එය පෙරලා ප්‍රකාශ කරන පිළිතුරට අදාළව එහි ශබ්ද ප්‍රමාණය තීරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. නිවසේ කුමන දිශාවේ සිට විධාන ලබා දුන්නත් ඔබව හොඳින් ඇහෙන්න ඕනෑ නිසා ඔලී සතුව ඇති අධි සංවේදී මයික්‍රොෆෝන ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. ඉතා විශාල පරාසයක් දැක ගන්න ඕනෑ නිසා ලොකු ඇස් දෙකක් තියෙනවා. අපොයි අර; ආච්චි, වෘකයා සහ ළමයා කතාව මතක් වුණේ. ඉතින් ඒ වෘකයාට වගේම හොඳට පේන්න දිගු දුර පරාස සහිත මෙගා පික්සල පහක කැමරා දෙකක් මෙහි තිබෙනවා. ඊට ඔබේ මුහුණේ හැඟීම්, ශරීර ඉරියව් හඳුනාගන්නට හැකියාව ලැබෙනවා. ඔලී කතා කරද්දී එහි මුහුණතේ තිබෙන විදුලි බුබුළු දැල්වෙමින් අලංකාර සහ හැඟීමට අදාළ වර්ණ සංයෝජන සහ රටා දක්වමින් කථනයේ යෙදෙනවා.

සාම්ප්‍රදායික නිවාස සහායකයින් වගේ නොවෙයි, උපන්දින, විශේෂ අවස්ථා, කාලගුණය සහ පාරේ ට්‍රැෆික් පමණක් නොව, මෙයට ඔබ මහන්සිවෙලා ගෙදර ආවට පස්සේ ඔබේ කටහඬ අනුව වෙහෙස වූ බව දැනගෙන එය නැතිකර ගන්නට ඔබ කැමති ම ආකාරයේ ගීතයක් ධාවනය කර ඔබේ හැඟීම් වඩා තෘප්තිමත් බවට පත් කරන්නටත් පුළුවන්. ඒ වගේම දවස ගෙවුණු ආකාරය කොහොමදැයි ඔබෙන් විමසන්නට අමතක කරන්නේ නැහැ. ඔබ ව්‍යායාමයක නිරත වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ උද්‍යෝගයක් ලබාදීම එය කරන්නේ හරිම සතුටින්. “හරි හරි, තව එක පාරක් පුෂ් කරන්න” එය ව්‍යායාමයට උල්පන්දම් දෙමින් එහි වළල්ල වැනි කොටස ඔළුව වනන්න වගේ උස් පහත් කරමින් පවසනවා.

ඔබ සිටින ඉරියව්ව හඳුනා ගන්නට මෙන්ම ඔබ පොතක් කියවනවා නම් ඒ බව දැන ගන්නටත් එහි තිබෙන තාක්ෂණය බොහොම දියුණුයි. ඒ වගේම ඔබ සහ කුළියට ඇති දුර විමසා ගනිමින් සහ අතරමැද ඇති වස්තූන් හඳුනාගෙන ඊට අදාළව මයික්‍රෆෝනවල සංවේදීතාවය

පාලනය කරගන්නට ද එය සමර්ථ වෙනවා. උදේට නැගිටින්න ගියාමත් “දැන් නැගිටින්න වෙලාව හරි” කියලා, ඒත් අපි පෙරළි පෙරළී නිදාගන්නා බව එයට පෙනෙනවා නම් ට්‍රම්පට් සංගීතයක් දාලා කොහොම හරි නැගිට්ටවන්න උත්සාහ කරනවා. අපි නැගිට්ට ගමන්ම ඒක නවත්තලා දාන්නේ “කට වහගනින්” කියලා අපෙන් බැණුම් අහන්නත් කලින්මයි.

නිවසේ සිටින විවිධ පුද්ගලයන් වෙන් වෙන්ව හඳුනා ගැනීමත්, ඔවුන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ හැඟීම් ද වෙන වෙනම හඳුනා ගනිමින් ඊට අදාළව සහාය වෙන්නටත් ඔලීට පුළුවන්. ඒ වගේ ම මේ නිෂ්පාදනයේ තිබෙන විශේෂත්වයක් තමයි එය එකිනෙකට වෙනස් වීම. ඒ කියන්නේ ඔබ එය භාවිත කරන තරමට එය ඔබ ගැන ඉගෙන ගනිමින් ඔබට අනුකූලවම හැඩ ගැසෙන නිසා ඔබේ නිවසේ ඔලී එහා ගෙදර ඔලීට වඩා හාත්පසින්ම වෙනස්. එයට හේතුව වන්නේ මෙහි කෘත්‍රීම බුද්ධිය වඩවා ගැනීම සඳහා යාන්ත්‍රික ඉගෙනුම නමැති ක්‍රමවේදය භාවිත වීමයි. ඊට සහාය වීමට: ගිගාබයිට් 8ක අභ්‍යන්තර ධාරිතාවක්, ආර්ම් ප්‍රොසෙසරයක් සහ ගිගාබයිට් 2ක රැම් ධාරිතාවක් අඩංගු වෙනවා.

මෙහෙයුම් පද්ධතිය ලෙස තිබෙන්නේ ලිනක්ස් පාදක වූ එකක්. 2017 වර්ෂයේ අන්තර්ජාතික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී රොබෝ ප්‍රවර්ගයට අදාළ වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියන්නට සමත් වුණු මේ නිපැයුම රුපියල් හැත්තෑ හය දහසක පමණ පෙර ඇණවුම් කිරීමේ වට්ටම් මිලකින් මේ වන විට වෙළෙඳපොළට හඳුන්වාදී තිබෙන අතර ලබන 2018 වසරේ මාර්තු මාසයේදී ඒවා තැපැල් කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න