ස්මාට් ෆෝන් ගැනීමට අංජනම් බැලිල්ල | දිනමිණ

ස්මාට් ෆෝන් ගැනීමට අංජනම් බැලිල්ල

ස්මාට් ෆෝන් එකක් මිලදී ගැනීම කියන්නේ තරමක අමාරු තීරණයක්. අපි ළඟ තිබෙන මුදල ඉහළම මට්ටමේ ස්මාට් ෆෝන් එකක් මිලදී ගන්න බොහෝ විට සෑහෙන්නෙ නෑ. ලක්ෂයකටත් තව ටිකක් වැඩිපුර දීලා ඉස්තරම්ම ෆෝන් එක්ක ගන්න තරමේ ලොකු වත්කමක් තියෙන්නේ අපි අතර ඉන්න එහෙමත් අයෙකුට. අපේ අතේ ඇති මුදලට ෆෝන් එකක් ගන්න යන්න කලින් ටිකක් හොයා බලා ගියොත් එහෙම අපිට අපේ අතේ තියෙන ගානට ටිකක් හොද ජාතියේ ස්මාට් ෆෝන් එකක් මිලදී ගන්නට හැකියාව තිබෙනවා.

අංජනම් එළි බැලීම

ඉස්සර අංජනම් එළි යැව්වේ යකැදුරා ගාවට ගිහින්. ඒත් අද කාලේ අපි දෙයක් හොයා ගන්න ඕනි වුණාම යන්නේ කොම්පියුටර් එකේ ගූගල් සර්ච් එන්ජිමට. එතනට ගිහින් අපි කැමති මාදිලියේ ජංගම දුරකතන මොඩලය සදහන් කළ විට එහි විස්තර ඔක්කෝම ලස්සනට පහළට පෙන්නුම් කරනවා. අපි සිතමු ඔබ දකිනවා ලස්සන ෆෝන් එකක් පත්තරේ හෝ වෙනත් දැන්වීමක. ඒවායේ වැඩි දුර විස්තරයක් නෑ හොයාගන්න. ඒ වගේ වෙලාවක ඒ ෆෝන් එකේ වර්ගය සහ මාදිලිය ගූගල් කළොත් ඒකේ තියෙන එකී මෙකී නොකී සියලු විස්තර ආදිය දිගට දිගේ එනවා. ඒවා කියවලා බලලා අපිට ෆෝන් එක ගැන හොද අදහසක් ගන්නට හැකියාව තිබෙනවා.

ගිය අවුරුදුවල හොඳම ෆෝන් එක

සාමාන්‍ය රුපියල් විසිදාහකට වැඩි සැලකිය යුතු ගණනක් අතේ තියාගෙන හොයනවා නම් හොද ෆෝන් එකක් ගන්න සාර්ථක ක්‍රමයක් තමයි ඉහළ මට්ටමේ එහෙත් පරණ ෆෝන් එකක් තෝරා ගැනීම. ඒ කිව්වේ සෑම අවුරුද්දකම සෑම ෆෝන් කම්පැනියක්ම වගේ අලුතින් එයාලගේ හොදම ස්මාට්ෆෝන් එක මාකට් එකට දානවා. ඇපල් නම් 5 5s,6 6s.7 සැම්සුන් එස් 4,5,6,7 හුවාවේ නම් පී 8,9,10 ආකාරයට ඒ ඒ සමාගමෙ හොදම ස්මාට්ෆෝන් තිබෙනවා. මේ ඉහළම මට්ටමෙ ස්මාට්ෆෝන් සාදන විට ඒ සදහා විවිධ ආකාරයේ පර්යේෂන කරලා බොහෝ නවාංග එකතු කරලා කලක් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට එම ජංගම දුරකතන නිර්මාණය කරනවා. ඒ නිසා ඒ විදියේ ඉහළ මට්ටමේ ජංගම දුරකතනයක් වසරක් දෙකක් පරණ වී වුවද මිලදී ගැනීමේ වාසියක් මිස ලොකු අවාසියක් නම් නැහැ.

අඩු මිලට තිබෙන ඇතැම් ස්මාට්ෆෝන්වලට යොදා ගන්නේ ලාබ මට්ටමේ දෘඩාංග සහ උපාංග. එසේම අඩු මිල ජංගම දුරකතන සැලසුම් කිරීමේදිත් ඉහළ මට්ටමේ ඒවා තරම් සැලකිල්ලක් දැක්වීමත් අඩුයි. එවිට එම ෆෝන් කල් පැවැත්මෙන් අඩු වීම වගේම රත් වීම, කුඩා ගැස්සීමකදී පවා පලුදු වීම ආදී දෝෂ ඇති වීමේ හැකියාව වැඩියි. මෘදුකාංග මට්ටමින් වුවත් ඉහළ මට්ටමේ ජංගම දුරකතන නිපදවීමේ දී මෘදුකාංග පසුබිම පවා කලක් තිස්සේ පරීක්ෂා කර ඉදිරිපත් කරන්නට ඔවුන් වෙහෙස වෙනවා. එහෙත් අඩු මිල ජංගම දුරකතනවලට එසේ වැඩි මහන්සියක් වීමකින් තොරව අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් හිතුමනාපේ ඇතුළත් කොට දෙන අවස්ථාද නැතුවා නොවෙයි. එම නිසා හැකියාවක් ඇත්නම් එම වර්ගයේ ඉහළම ෆෝන් එකම ගන්නට බැරි වුවත් පසුගිය වසරක එම ෆෝන් වර්ගයේ ඉහළම එකක් වුවද තෝරා ගැනීම වැදගත් කාරණාවක්.

බැටරි බලය

ස්මාට් ෆෝන් ලොකු වන්නට වන්නට බැටරි බලයත් ලොකු වීම අවශ්‍යයි. හයි රෙසලූෂන් සහයෝගය දක්වන විශාල තිර සහිත ජංගම දුරකතනවල බැටරි බැසීමත් ඉක්මන් වැඩියි. මන්ද තිරය සදහා විශාල බැටරි ප්‍රමාණයක් වැය වෙනවා. එම නිසා දැන් දැන් සෑම ස්මාට් ෆෝනයකම පාහේ 3000mAhට වඩා බලැති බැටරියක් ඇතුළත් කොට තිබෙනවා. ඒ වගේම බැටරිය බැස්ස පසු පෙර කාලයේ වගේ පැය තුන හතර චාජ් කරන්නට අවශ්‍ය නෑ. ඉක්මන් චාජින් පහසුව තිබෙන නිසා පැය බාගෙකින් ෆෝන් එකේ බැටරියෙන් බාගයක්ම චාජ් කරගන්නට හැකියාව තිබෙනවා. එම නිසා ෆෝන් එකක් ගන්නා විට බැටරි බලය වගේම ඉක්මනින් චාජ් වෙනවාදැයි සලකා බැලීම වැදගත් කාරණාවක්.

ප්‍රොසෙසර සහ ඇතුළත

හුවාවේ ක්‍රින්, සැම්සුන් එක්සිනස්, ඇපල් A සීරියස්, ආදී ඒ සමාගම් ඒවාටම ආවේණික වූ ජංගම දුරකතන චිප් භාවිත කරනවා. මෙම චිප් එක කියන්නේ ෆෝන් එකේ හදවත වගේ උපාංගයක්. ඇපල් සැම්සුන් හුවාවේ හැර අනෙක් ජංගම දුරකතන සමාගම භාවිත කරන හොඳම මොබයිල් ප්‍රොසසරයක් ලෙස qualcomm snapdragon දක්වීමට හැකියි. එසේම වර්තමානයේ අඩුමිල ජංගම දුරකතන සදහා මිලෙන් අඩු Mediatek චිප් එහෙමත් නැත්නම් මොබයිල් ප්‍රොසසර යොදාගනු ලබනවා.

අඩු මිල චිප් වුවත් වර්තමානයේදී සෑහෙන හොද ප්‍රතිපල පෙන්නුම් කරනවා. එහෙත් බැටරිය ඉක්මනින් බැසීම, කල් පැවැත්ම අඩු වීම, අධික ලෙස රත් වීම ඇතැම් චිප්වල තිබෙන උප්පත්ති දෝස ලෙස දැක්විය හැකියි. එබැවින් ෆෝනයේ ඇතුළත ඇති චිප් එක. ටිකක් ජනප්‍රිය බොහෝ ජංගම දුරකතන සදහා යොදා ගන්නා එකක් වුවහොත් වැඩි රත්වීමක් බැටරි බැහිල්ලක් නැතිව කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් ලෙස ඔබේ අලුත් ෆෝනය තෝරාගන්නට හැකි වේවි.

ලංකාවේ නම් කවර කඩයකට ගොඩ වුවත් මුලින්ම අහන්නට ලැබෙන ප්‍රශ්නය. 'මහත්තයා කීයකට වගේද බලන්නේ?' යන්නයි. යම් තරමකින් දැනුවත් වී ගියොත් අතේ කීයක් තිබුණත් ඒ ගාණට හරියන සුපිරිම ෆෝන් එක තෝරා ගන්නට ඔබට හැකියාවක් උදා වේවි.

ඒ නිසා ජංගම දුරකතන මිලදී ගන්නට යන ගමන වුවද කාරණා දැනගෙන ගියොත් අතරමඟ නොනැවතී හොද ෆෝන් එකක් කරා යන්නට ඔබට හැකි වේවි.

අමිල චතුරංග

නව අදහස දක්වන්න