සහජ උරුමය | දිනමිණ

සහජ උරුමය

සුභාදා ගොආගෙට්

බායිගේ උපදෙස් පරිදි දෙපා දිගු කර සෝපාවේ දිගා වූ ඇගේ හිස තිරයකින් වැසිණ. අසල වූ මේසය මත අඩ රවුම් දෙකකින් යුත් ලෝහමය රාමුවක් වැනි දෙයක් විය. එය අතට ගත් බායි මෙසේ කීවේය. 'මම මේ සම්ප්‍රේෂණ යන්ත්‍රය ඔයාගෙ උදරය මත තබනවා. එයින් ඔයාගේ හඬ දරුවාට සම්ප්‍රේෂණය වේවි. ඔයාට කරන්න තියෙන්න සන්සුන්ව නිදාගන්න උත්සාහ කරන්න. ඔබ ගෙදර ඉන්නකොට ඔබගෙ ආහාරය ගැනවත් නිතර ලබා ගත යුතු විවේකය ගැනත් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. ගර්භණී මාතාවකට ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා මෙහි දී හැමදාම ඔබව ටික වෙලාවකට හරි නින්දට යැවීමට අප කටයුතු කරනවා” ඇගේ උදරය මත සම්ප්‍රේෂණ යන්ත්‍රය තැබූ ඔහු තව දුරටත් කතා කළේය. 'මම දැන් පිටතට යනවා. ඔබට ඇස් පියාගෙන නිදාගන්න පුළුවන්. මොනව හරි ගැටලුවක් තියෙනව නම් බොත්තම තද කරල මට දැනුම් දෙන්න” සෝපාවේ පාමුල තිබූ බොත්තම පෙන් වූ ඔහු ඇයගේ සිරුර වැසෙන්නට පොරෝනය දමා පිටව ගියේය.

මීනක්‍ෂි සම්බන්ධයෙන් කටයුතු කළ හෙදියද කාමරයෙන් පිටව ගියාය. ඔවුන් පිටව ගිය පසු ආශ්වරී මහක් ඕනෑකමින් මීනක්‍ෂිව ඇමතුවාය.

'ආහ්.......... මීනක්‍ෂි”

මීනක්‍ෂි ඇය දෙස බැලූ නමුත් කිසිවක් නොකීවාය.

ඒ මොහොතේ බායි දොර විවෘත කරගෙන පැමිණියේය. 'ඔබට කිසිවක් අවශ්‍යද?”ඔහු විමසුවේය.

ආශ්වරී හිස සැලුවාය.

'එහෙම නම් ව්වේක ගන්න උත්සාහ කරන්න. කතා කරන්න එපා”ඔහු කීවේය.

කාමරයේ සිදුවන සෑම ශබ්දයක්ම පිටත සිට ඇසීමට හැකි වන ලෙස වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව පැහැදිලිය. අධෙර්යමත්ව සිටි මීනක්‍ෂි ඇස් පියා ගත්තාය. සම්ප්‍රේෂණ යන්ත්‍රයෙන් දුර්වල හඬක් නිකුත් වෙයි. මීනක්‍ෂි එයට සවන් දීමට උත්සාහ කළාය. පටිගත කරන ලද කටහඬ හෙමිහිට එහෙත් පැහැදිලිව ඇසෙන බව ඇයට හඳුනාගත හැකි විය.

ශාරීරිකාභ්‍යාසවලට පසු අනර්ඝ දිවා භෝජනයකි. මෘදු උණුසුම් සෝපාවල කාමරයේ ඇති දුර්වල ආලෝකය සහ සම්ප්‍රේෂණ යන්ත්‍රයේ කෙඳිරීම නිසා ආශ්වරීට නිදිමත ගතිය දැනිණ. මඳ වේලාවකින් ඇය තද නින්දකට වැටුණාය.

ඇය අවදි වන විට සම්ප්‍රේෂණ යන්ත්‍රය ඇගේ උදරය වෙතින් ඉවත් කර ඇති බව ඇයට පෙනී ගියේය. හෙදිය තිරය මෑත් කළ අතර බායි තේ කෝප්පයක් අතේ තබාගෙන සෝපාව අසල සිටගෙන සිටියේය. ඇය ඔහු දෙස බැලූ විට හොඳට නින්ද ගියාද?’ යනුවෙන් විමසුවේය. 'දැන් තේ කෝප්පයක් බොන්න.

ඇඳුම් මාරු කර ගැනීමට තම තමන්ගේ කාමරවලට යාමට පෙර ඔව්හු තේ පානය කළහ. මංජරී ගැන මීනක්‍ෂිගෙන් විමසීමට ආශ්වරී තීරණය කළාය. එහෙත් ඇඳුම් මාරු කරන කාමරයේ කණ්ඩායම් නායිකාව සමඟ තවත් කාන්තාවන් සිටි බැවින් ඇය එම සිතිවිල්ල ඒ මොහොතේ අත ඇර දැමුවාය.

ඊළඟා දින දෙක තුළ ආශ්වරීගේ අවධානය තවත් කාරණයකට යොමු විය. බස් රියට නැඟ බසින තෙක් මධ්‍යස්ථානයේ කෙනකු ඔවුන්ගේ ආරක්‍ෂාව බාරව සිටින බවයි. ඒ බස් රථයේ සේවකයෙක්ද සිටියේය. මධ්‍යස්ථාන දොරටුවේ දී ඔවුන් රියෙන් බසින අවස්ථාවේ කණ්ඩායම් නායිකාව සිටින අතර දිවා භෝජනය දක්වාම ඇය රැඳී සිටියාය. මානසික සංවර්ධන සැසිවාර පවත්වන කාමරයේ හැම විටම හෙදියක් සිටියාය. ඔවුන් කණ්ඩායම් වශයෙන් සිටින විට නිදහසේ කතා කළ හැකි වූ නමුත් කාන්තාවන් දෙදෙනෙකුට පමණක් බොහෝ වෙලාවක් කතා කරකර සිටීමට නොහැකි විය. ඔවුන් දිගටම කතාබහේ යෙදී සිටින බව කණ්ඩායම් නායිකාව දැනගත් විට ඇය මැදිහත් වී කතාව වෙනතකට යොමු කළාය.

අනෙක් අයටද මෙම තත්ත්වයන් තේරී තිබේදැයි ආශ්වරී කල්පනා කළාය. තමා මෙන් මේ පටිගත කර ඇති පණිවිඩවලට ද්වේශ කරන තවත් අය සිටීද? එසේ නැත්නම් ඇය සියල්ල උපකල්පනය කරනවාද? ඇයට කිසිවකු සමඟ කතා කිරීමට අවශ්‍ය විය. මේ ගැන අනෙක් අය සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ඇයට අවශ්‍ය විය. එහෙත් එය කෙසේ කරන්නද? ඇය අවස්ථාවක් ලබා ගන්නේ කවදාද? කෙසේද?

සැක සහිත ලෙස සතියක් පමණ කාලයක් ගෙවී ගියේය. මංජරී වෙනුවට අලුත් කෙල්ලක් බස් රථ ගමනට එකතු වූවාය. මේ වන විට බස් රථයේ ගමන් කළ අය සහ ආශ්වරී අතර හිතවත්කම් ගොඩ නැ‍ඟී තිබිණ. ඒ අතරින් දෙදෙනෙක් දියණියන් අපේක්‍ෂා කළහ. ඔවුන් දෙස බලන හැම විටම ඇගේ සිතේ මීනක්‍ෂිගේ වචන හොල්මන් කරන්නට විය.

අනතුරුව එක් දිනක දිග කොණ්ඩය සහිත කෙල්ල අතුරුදහන් වූවාය. ඊට පසු දිනද ඇය නොපැමිණියාය. ආශ්වරී නායිකාවගෙන් විමසීමක් කළාය. 'ඇය එන්නෙ නැත්තෙ ඇයි ?”

'මම දන්නෙ නැහැ. සමහර විට ඇය අසනීපෙන් ඇති”නායිකාව ඉවත බලාගෙන පිළිතුරු දුන්නාය.

ඒ මොහොත් තවත් කෙල්ලක් මැදිහත් වූවාය. 'ඔයා දන්නෙ නැද්ද? එයාට ගබ්සාවක් වෙලා”

'ආහ්' දෙවියනේ ඒක කොහොමද වුණේ?”කෙනෙක් විමසුවේය.

'පහුගිය දවසක ඇයට බඩේ අමාරුවක් හැදුණා. ඒත් එක්කම ඇයට ගබ්සාවක් සිදු වුණා. ඔයා දන්නැද්ද ඇගේ ගෙදරින් දුරකතන පණිවිඩයක් ලැබුණා. දොස්තර මානෙත් ඇයව බලන්න ගියා”

'මම දන්නෙ නැහැ”නායිකාව බිඳුණු හඬින් පැවසුවාය. අනතුරුව එක්වරම 'දැන් ඔය කතාව නතර කරන්න. එන්න අපි දැන් ගිහින් දවල් කෑම ගනිමු”යනුවෙන් පැවසුවාය.

ආශ්වරී දැඩි ලෙස අසහනයට පත් වූවාය. සිදුවෙමින් පවතින්නේ කුමක්ද? එසේ සිදුවන්නේ ඇයි?

මඳ වෙලාවකට පසු ඔවුන් ඇඳුම් මාරු කිරීමට ගිය අවස්ථාවේ ඇය මීනක්‍ෂිට මේ පිළිබඳ සඳහන් කිරීමට අවස්ථාවක් ලබා ගත්තාය.

'මීනක්‍ෂි මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා”මම කීවෙමි.

'මම දන්නවා”පිළිතුරු දීමට පෙර අවට පරික්‍ෂාවෙන් බලමින් පැවසුවාය. 'මෙහි දී නෙවෙයි”

'ඇයි නැත්තෙ? ඒ අය අහගෙන හිටපුවාවෙ. මම ගණන් ගන්නෙ නැහැ”

'නැහැ මෙහෙ නෙවෙයි. ඔයා කොහෙද ඉන්නෙ? මට ඔයාගෙ ලිපිනය දෙන්න”

ආශ්වරී ඇයට ලිපිනය දුන්නාය. මීනක්‍ෂි අපේක්‍ෂා කළ පරිදිම නායිකාව එතනට ආවාය. වචනයක්වත් කතා නොකර දෙදෙනාම එතනින් පිටතට පැමිණියහ.

කවදා හෝ මීනක්‍ෂි පැමිණෙතැයි ආශ්වරී සිතුවද එදින සවසම ඇය පැමිණෙතැයි අපේක්‍ෂා නොකළාය.

මීනක්‍ෂි පැමිණෙන විටත් ආශ්වරී තම සැමියා ෂේකර් සමඟ මේ කාරණය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියාය. ආශ්වරී මධ්‍යස්ථානය සමඟ ප්‍රසාදයකින් පසු නොවන බව ෂේකර් පසුගිය සති කීපය තුළ නිරීක්‍ෂණය කළේය තමන්ට අසන්නට ලැබුණ දේ පිළිබඳ ඔහු නොසතුටින් පසු විය.

ආශ්වරී, මීනක්‍ෂිව ෂේකර්ට හඳුන්වා දුන්නාය. 'ඇත්තටම අද මට වැඩි වෙලාවක් නැහැ. මම ඉක්මනින්ම ආපහු යන්න ඕනෙ. ආශ්වරීට මගෙන් දැනගන්න ප්‍රශ්න තියෙන බව මම දන්නවා. මමත් ඇය ලැබූ අත්දැකීම් ලබල තියෙන නිසා මම තීරණය කළා අදම ඇයට අවවාද කරන්න පැමිණෙන්න. මේ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් තියෙන මගෙ තුන්වන අත්දැකීම”

එසේ පැවසු ඇය මධ්‍යස්ථානය පිළිබඳ තිගැස්සෙන සුළු තොරතුරු හෙළිදරව් කළාය.

වසර කිහිපයකට පෙර මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීමට පෙර ඇය සතුටින් පසු වූ කාන්තාවක් වූවාය. විවාහයෙන් සිව් වසරකට පසු ගර්භනී තත්ත්වයට පත් වීම පිළිබඳ ඇය බෙහෙවින් සතුටට පත් වූවාය. මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ පරීක්‍ෂණයෙදී ඇයට ගැහැනු දරුවකු පිළිසිඳ ගෙන ඇති බව තහවුරු විය. මධ්‍යස්ථානයේ විශේෂඥයින්ගේ අධීක්‍ෂණය යටතේ සිටීමට හැකි වීම ඇගේ බලවත් සතුටට හේතු විය. එහෙත් මධ්‍යස්ථානයට සම්බන්ධ වී සතියකින් ඇයට ගබ්සාවක් සිදු විය. එය කෙතරම් හදිසියේ සිදු වූයේද යත් එයට ඉන් ඇති වූ කම්පනයෙන් මිදීමට කලක් ගත විය. ඒ කාලය තුළ ඇගේ නැන්දම්මා සහ මස්සිනා ඇය සමඟ සිටි බැවින් ඔව්හුද ඇගේ හැගීම් බෙදා ගත්හ.

දින කීපයකට පසු මධ්‍යස්ථානය පිළිබඳ තැති ගන්වන සුළු තොරතුරු රැගෙන මස්සිනා පැමිණියේය. මධ්‍යස්ථානයේ විශේෂඥයකු ලෙස සේවය කරන ඔහුගේ මිතුරෙකු ඔහුට පවසා ඇත්තේ මධ්‍යස්ථානයට පැමිණෙන ගර්භණී මාතාවන්ට ලැබීමට නියමිත දරුවන්ගේ ලිංගික අනුපාතය එනම් ස්ත්‍රී පුරුෂ සංඛ්‍යාව පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි. එම තත්ත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය තරම් ගබ්සා කිරීම් සිදු කිරීමට ඔවුනට බලය පවරා ඇත. මේ සියල්ල සිදු කරනුයේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි වන ගර්භණී මාතාවන්ට ලබා දෙන ඖෂධ මාර්ගයෙනි.

'ඔබ මට කලින් දැනුම් දුන්නා නම් ඔබගෙ නෑනා මෙම මධ්‍යස්ථනයේ ලියාපදිංචි වන බව. මට පුළුවන්කම තිබුණා ඇයට ලැබෙන්න යන්නේ පිරිමි දරුවෙක් බවට ව්‍යාජ වාර්තාවක් සපයන්න” ඔහුගේ මිතුරා පවසා ඇත.

මාස කීපයකට පසු මීනක්‍ෂි නැවතත් ගැබ්ගෙන ඇති අතර ඇගේ මස්සිනා වහාම ඒ බව මධ්‍යස්ථානයේ සිටින තම විශේෂඥ මිතුරාට දනුම් දී ඇත. සතියකට පසු ඇය මධ්‍යස්ථානයට සම්බන්ධ විය. මෙවර ඇයට ලැබුණ වාර්තාවේ සඳහන් වූයේ ඇයට පිරිමි දරුවකු ලැබෙන බවයි. එය ඇත්තක්මදැයි ඇය දැන නොසිටියාය.

මධ්‍යස්ථානයේ සිව් මසක් සම්පූර්ණ වන තුරු සියල්ල යහපත්ව පැවතිණ. පස්වන මාසයේ මානසික සංවර්ධන සැසිවාරය ඇරඹිණ. ඒ කාලයේ එම සැසිවාරය ආරම්භ වන්නේ සිව් මසක් සම්පූර්ණ වීමෙන් පසුවයි. සැසියාරය ආරම්භ වූ පළමු දිනයේම ඇයගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සංසන්දානාත්මක විමසීමක් සිදු විය.

පටිගත කිරීමේ කාර්යය ප්‍රථම වරට ආරම්භ වූ විගසම ඇය බලධාරීන් සමඟ උරණ වූවාය. මෙවැනි දෙයක යෝග්‍යතාව පිලිබඳ ඇය ප්‍රශ්න කළාය. ඒ දිනවල ඇගේ අනෙක් සහායිකාව වුයේ සංගීතා දේව් නැමැත්තියයි. සංගීතාද බලධාරීන් සමඟ වාද කරමින් පටිගත කිරීමට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළාය. එම ආරංචිය මධ්‍යස්ථානය පුරා පැතිර ගියේය. එක් දිනක් ඇගේ මස්සිනාගේ මිත්‍රයා නිවසටම පැමිණ ඇය සහයෝගය නොදැක්වීම පිළිබඳ අවවාද කළේය. එසේ සහයෝගය නොදැක්වීමෙන් ඇයට සිදු වනුයේ පාඩුවක් බවට ඔහු අවවාද කළේය. 'වඩා හොඳ ඔබ නියමිත ලෙස කටයුතු කිරීම එහෙම නොවුණොත් ප්‍රතිඵල බරපතල වේවි”

මීනක්‍ෂි අසරණ ලෙස ඔවුනගේ උපදෙස් පිළිපැද්දාය. එහෙත් පටිගත කරන ලද පණිවිඩ ඇගේ දරුවාට සම්පේ‍්‍රෂණය කරන විට ඇය දුක්ඛිතභාවයට පත් වූවාය. එයින් ඇගේ අසහනය වර්ධනය වූ අතර ඇයට නිදා ගැනීම අපහසු විය.

තවත් කොටසක් ලබන සතියේ.

අනුවාදය බොබී ජී බොතේජු

නව අදහස දක්වන්න