'කවදා හෝ හොඳම නිළිය සම්මා­නය ගන්නවා' - තරින්දි | දිනමිණ

'කවදා හෝ හොඳම නිළිය සම්මා­නය ගන්නවා' - තරින්දි

'පැහැසරා' සිරස නාළිකාව ඔස්සේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. සිය පළමු ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන්ගේ අවධානයත් ආදරයත් දිනාගන්නට සමත්වුණු නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස තරින්දි අනුරුද්ධිකා හඳුන්වන්න පුළුවන්. අද අපි රසඳුන තුන්වැනි පිටුවෙන් කතා කරන්නේ පුංචි තිරයට පෑයූ මේ හැඩකාරියගේ තොරතුරුයි

කවුද ඔබ?

මම තරින්දි අනුරුද්ධිකා ප්‍රනාන්දු. ගම මීගමුවේ. පාසල් ගියේ දන්කොටුව බාලිකා විද්‍යාලයට. මගේ අම්මා ජීවතුන් අතර නැහැ. තාත්තයි අක්කයි එක්ක තමා ඉන්නේ. අක්කා විවාහකයි.

'පැහැසරා ' ටෙලි නිර්මාණය හරහායි ඔබ කලාවට එන්නේ?

ප්‍රේක්ෂකයන් අතරට එන්නේ 'පැහැසරා' ටෙලි නාට්‍යය හරහා. නමුත් මිට කලින් මම එක සිනමා නිර්මාණයකට දායක වුණා. එය තවම තිරගත වුණේ නැහැ. ඒ නිසා මාව හැමෝම දැන ගත්තෙ පැහැසරා එකේ 'උපමාලි' විදිහට.

රඟපාන්න කැමැත්තක් ඇති වුණේ කොහොමද?

මම රංගනයට එන්න කලින් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. මගේ අම්මා නැති වුණාට පස්සේ මට ඒ ප්‍රෙෂර් එක දරාගන්න බැරි වුණා. ඒ නිසා මම බැංකුවෙන් අයින් වුණා. ඊට පස්සේ මම ඩාන්සින් ඉගෙන ගන්න ගියා. ඒ හරහා තමා කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ. කොහොමත් මම රඟපාන්න අසාවෙනුයි හිටියේ.

දීර්ඝ කාලයක් බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන්න ඇති නේද?

අවුරුදු 4 ක් සේවය කළා. බැංකු දෙකක සේවය කරන්න ලැබුණා.

ඇයි ඒ වගේ ක්ෂේත්‍රයක් අතහැරලා කලාවට යොමු වුණේ?

කලාවට එන්න ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාවටයි කලාවට සම්බන්ධ වුණේ. ලොකුම අරමුණ තිබුණේ කලාවේ හොඳට වැඩ කටයුතු කරගෙන හිහින් අනිවාර්යෙන් සම්මානයකට යනවා කියන එක. ඒ කියන්නේ මම සම්මානයක් බලාපොරොත්තුවෙන් ආව කියන එක නෙමෙයි. සම්මානයක් නොලැබුණත් මම කලාවට ආදරෙයි. ඕනම කෙනෙක්ට target එකක් තියෙනවනේ. මගේ එකම target එක හොඳම නිළිය වෙලා සම්මානයක් ගන්න.

අද පවතින තරගකාරිත්වයත් එක්ක ඔබට ඉදිරියට යන්න පුළුවන් වේවිද?

අමාරුයි. අභියෝගයක් තියෙනවා. ගොඩක් අය කලාවට පිවිසෙනවා. අධ්‍යාපනය නැතුව කලාවට පිවිසෙන අය ඉන්නවා. මාත් අධ්‍යාපනයක් නැතුව තමා කලාවට ආවේ. හැබැයි කලාවට ආවට පස්සේ ලැබෙන අත්දැකීම් එක්ක මම ඉගෙන ගත්තා. අරමුණක් ඇතිව යන අය අඩුයි. හැමෝම රැල්ලටයි යන්නේ. මම හිතනවා මට අරමුණක් තියෙන නිසා මේ පිරිස අතරින් මට යන්න පුළුවන් වෙයි කියලා.

කාලයත් එක්ක ඔබත්, ඔය කියන රැල්ලට එකතු වෙයි.

මම ඒ රැල්ලට යන්නේ නැහැ.

බැංකු ක්ෂේත්‍රයේ රැකියාව අතහැරලා කලාවට එද්දී බලපෑම්, චෝදනා එල්ල වුණා ද?

ප්‍රශ්න ආවේ නැතුවම නෙ‍ෙමයි. මෙතැන ස්ථිර අදායමක් නැහැ. බැංකු ජොබ් එකේ ස්ථිර අදායමක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මගේ ආසාව තියෙන්නේ මෙතැන නේ. අපි ආස නැතුව වෙන දෙයක් කළාට ඒ දේ තුළින් ප්‍රතිඵලයක් පෙන්නේ නැහැ. රංගනය කියන්නේ මගේ වෘත්තීය නෙමෙයි. ඒ නිසා ගෙදර අය මට නීති දාලා නැහැ. ඒ අය මාව විශ්වාස කරනවා. ඒ අය දන්නවා මම ඒ විශ්වාසය රකින බව.

ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක් නෙමෙයිද?

නැහැ. කලාව මම වෘත්තියක් විදියට කරන්නේ නැහැ. විනෝදාංශයක් විදියටයි මම කරන්නේ. මේ දේත් එක්ක මම Zumba කියන ව්‍යායාම විෂය හැදෑරුවා. එකත් එක්ක මම Zumba Instructor කෙනෙක් විදියට වැඩ කරනවා සහ පෞද්ගලික පංති කරන්න පටන් අරගෙන තියෙනවා. ව්‍යාපාරයක් පටන් ගන්නත් ලොකු අදහසක් තියෙනවා.

ඒ කියන්නේ ඔබ වෘත්තීන් ගණනාවක් නියෝජනය කරනවා?

මම අමුතු කෙනෙක්. මට අරමුණු ගොඩක් තියෙනවා. ඒ අරමුණුවලට මම කොහොමත් යනවා. මම උසස් පෙළ හැදෑරුවේ වානිජ අංශයෙන්. මට ඒ කාලේ ඉඳන්ම බිස්නස් එකක් පටන් ගන්න ආසාවක් තිබුණා. ඒ නිසා මම හිතුවා ව්‍යාපාරිකාවක් වෙනවා කියලා. මට තියෙන ජනප්‍රියත්වයත් එක්ක ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන එක වාසියක් වෙයි කියලා හිතනවා.

බිස්නස් එකක් කිරීම තුළින් ඔබ යන්න උත්සාහ කරන්නේ කොතැනටද?

මගේ අරමුණ අඩු වයසින් ලංකාවේ වැඩිම අදායමක් උපයන ව්‍යාපාරික කාන්තාව වෙන්න. මම කොහොම හරි ඒ තැනට යනවා.

(නිලුපුලී සඳකැලුම්)

හැඩගැන්වීම -රංග ඩයස්

ඡායාරූප - ශාන් රූපස්සර 

 

නව අදහස දක්වන්න