සිය­දිවි නසා­ගන්නා අයට ආද­ර්ශ­යක් දෙන අච්මාඩ් | දිනමිණ

සිය­දිවි නසා­ගන්නා අයට ආද­ර්ශ­යක් දෙන අච්මාඩ්

ඉප­දුණු හැටියේ පොලි­තී­න­යක ඔතා වීසි­ක­රන්න හදලා 

ඉගෙන ගන්නේ නීතී­ඥ­ව­ර­යෙක් වෙන්න 
පිහි­ය­කින් ඇන­ගෙන ජීවි­තය නැති­ක­ර­ගන්න උත්සා­හ­ගෙන  

ලෝකය ජයගැනීමට වෙහෙසන දිරිය මිනිසුන් ගැන මෙම පිටුවෙන් නිතරම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔවුන්ගේ ධෛර්යය හා කැපකිරීම් මඟින් අපේ ජීවිතයට ආදර්ශයක් ලබා ගැනීමටයි. සියදිවි නසා ගැනීම් අතින් ලෝකයේ පළමු ස්ථානය අපිට හිමි වී තිබීම සැබැවින්ම කනගාටුදායක තත්වයක්. ජීවත්වීමට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ තිබියදී නොලැබුණු පුංචිම පුංචි දෙයක් වෙනුවෙන් සිය දිවි නසාගන්නා පුද්ගලයන් සිටිනා අපේ රටේ මිනිසුන්ට අද අප කියන අත් පා සතරම නොමැති වෘත්තීය ඡායාරූප ශිල්පියකු පිළිබඳව මේ කතාවෙන් බොහෝ දේ උගත හැකිවේවි.

තවමත් 25 වැනි වියෙහි පසුවන ඉන්දුනිසියාවේ අච්මාඩ් සුල්කානයින් (Achmad Zulkarnain) අන්ත දුප්පත් පවුලක උපතින්ම අත් දෙක හා පාද දෙක අහිමිව උපත ලැබූ පුද්ගලයෙක්. උපත ලැබූ විට මව විසින් මොහුව පොලිතීනයක ඔතා විසිකිරීමට සැරසුණත් අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් එය නවතිනවා. ඒ නිසාම ජීවත්වීමේ වාසනාව හමිවුණු අච්මාඩ් වර්තමානයේ නීතිඥවරයකු වීමට ඉගෙන ගනිමින් සිටිනවා.

පවුලේ ආර්ථික අමාරුකම් නිසා තම පවුලේ අදායම් තත්ත්වය වැඩි කිරීමට පියාගේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ සේවය කරන අතරම ගම්වැසියන් සඳහා හැඳුනුම්පත් නිකුත් කරන ස්ථානයක ඡායාරූප ගැනීමේ නිරත වී තිබෙනවා. එවිට ඡායාරූප ශිල්පය සඳහා ඔහුගේ හිත ගොස් තිබෙන අතර පියාගේ වැඩ කටයුතු වලට සවියක් වීමට ඔහුගේ මව විසින් කුඩා කැමරාවක් ඔහු වෙත තෑගි කර තිබෙනවා.

එයින් නොනැවතුනු මෙම තරුණයා කොටස් වශයෙන් ගෙවීමට DSLR කැමරාවක් මිලදී ගෙන ඡායාරූප ශිල්පය ගැන ඉගෙන ගෙන තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේයි . ඉන්පසුව නගරයේ තිබෙන විවිධ උත්සව අවස්ථාවන් වෙත ගොස් ඒවා ඡායාරූපයට නැඟීමට පටන් ගෙන තිබෙනවා. මීට අමතරව තනිවම කඳු තරණය කරමින් ස්වාභාවික චමත්කාරය තම කැමරාවට හසු කර ගැනීමට තරම් දැඩි අධිෂ්ඨානයක් තිබූ අච්මාඩ්, දිය ඇල්ලක් ඡායාරූපයට නගන්නට ගොස් කන්දකින් පවා පහළට වැටී තිබෙනවා. මෙවැනි අනතුරු රාශියක් සිදු වුණත් තම ගමනට එය බාධාවක් කර නොගන්නට තරම් ඔහු ශක්තිමත් පුද්ගලයෙක්.

කුඩා කාලයේදී පාසලේ ළමයින්ගෙන් අනේකවිධ හිරිහැර හා සමච්චලයට ලක්ව තිබෙන සුල්කානයින් එක් අවස්ථාවක පිහියකින් ඇනගෙන ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ කර තිබෙනවා.

එහෙත් පිහිය ඔහු අසලට පැමිණෙන විට තම ජීවිතයේ අගය නැවත වැටහී පිහිය බිම දමා තිබෙන්නේ කෙසේ හෝ ජීවත් වීමේ අදිටන ඇතිවයි. සෑම සාර්ථක මිනිසකුම පිටුපස ගැහැනියක සිටිනවා යන ප්‍රසිද්ධ කියමන සනාථ කරමින් මොහු අද සිටින ස්ථානයට ඔහුට පැමිණීමට උදව් කර තිබෙන්නේ ඔහුගේ මවයි. සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි සියල්ලක්ම තමාටත් කළ හැකි බව පවසමින් සෑම විටම ඔහුගේ ජීවිතය ශක්තිමත් කර තිබෙන්නේ ඔහුගේ මවයි.

පියයුරු පිළිකාවක් නිසා මීට වසර දෙකකට පෙර ඇය ජීවිතයෙන් සමුගෙන ඇතත් මෙම තරුණයා දිනෙන් දින ඉදිරියට යන්නේ ඇය ලබාදුන් ශක්තියෙන්.

Bong Dzoel යන අන්වර්ථ නාමයෙන් ඡායාරූපශිල්පියකු ලෙස මුළු ඉන්දුනීසියාවේම ප්‍රසිද්ධ මොහු ඉගෙනගැනීමේ කටයුතු අතර ඡායාරූප ගැනීමේ නිරත වනවා. ඉතාමත් දක්ෂ ලෙසින් පියානෝ වාදනය කිරීමට හා ස්කේට් බෝඩ් පැදීමට හැකියාව තිබෙන Dzoel ගමන් බිමන් යන්නේ මොහු විසින්ම සැලසුම් කරන ලද කුඩා මෝටර් රථයකින්. සියල්ල හිමිවී තිබියදීත් ජීවිතය ගැන කලකිරෙනා පුද්ගලයින්ට ආදර්ශයක් වෙමින් මොහු පවසන්නේ තමන්ට හිමි සුළු දෙයකින් පවා තම ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන ලෙසයි. 

(කවිඳු වීර­රත්න)

 

නව අදහස දක්වන්න