පශු සම්පත් දින උත්සවයේදී කිරි ගොවීන්ට ප්‍රතිලාභ | දිනමිණ

පශු සම්පත් දින උත්සවයේදී කිරි ගොවීන්ට ප්‍රතිලාභ

 

දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් ඉදිරියට ගෙන යාම අරමුණු කොට ඇරඹි ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතියේ පශු සම්පත් දිනය ඊයේ (08) යෙදී තිබිණි.

රට තුළ ගුණාත්මක කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් දේශීය කිරි ගොවියා සවිබලගැන්වීම අරමුණු කොට වගා සංග්‍රාම සතියේ පශු සම්පත් දින වැඩසටහන් පෙළ ගැසී තිබුණු අතර පශු සම්පත් දින ප්‍රධාන උත්සවය ඊයේ (08) පේරාදෙණිය පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පශු සම්පත් ක්ෂේත්‍රයේ නූතන දැනුම කිරි ගොවීන් වෙත ලබාදීමේ අරමුණින් සංවිධානය කළ පශු සම්පත් ප්‍රදර්ශනයක්ද පේරාදෙණිය පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සංවිධානය කොට තිබූ අතර පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්‍රදර්ශන කුටි වෙතින් විශේෂ වට්ටම් සහිතව ගොවිපොළ උපකරණ ලබාගැනීමේ අවස්ථාවද මෙහිදි කිරි ගොවීන් වෙත ලබාදී තිබුණි.

ගව නිවාස වැඩිදියුණු කිරීම, අභිජනන ගොවිපොළ සංවර්ධනය, සුළු පරිමාණ ගොවිපළ සංවර්ධනය සහ කිරිගව පාලනය ප්‍රචලිත කිරීම යන ව්‍යාපෘති යටතේ ප්‍රතිලාභී ගොවි මහතුන් තුන්සිය විසිදෙදෙනකු සඳහා මූල්‍යාධාර බෙදාදීමද මෙහිදි සිදුවිය.

මීට අමතරව කිරිපට්ටි සංවර්ධනය වෙනුවෙන් ගොවීන් 80 දෙනකු වෙත රු.60,000 බැගින් ද ගව ආහාර සුරක්ෂිත කිරීම අරමුණු කොට සයිලේප් නිපදවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගොවීන් දසදෙනකුට රු.100,000 බැගින්ද මිල්කෝ කිරි ගොවි සමාජවල සාමාජිකයින් වෙත සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ බෙදාදීමද මෙහිදි සිදුවිය.

ඒ අනුව පශු සම්පත් දින වැඩසටහන යටතේ දේශීය කිරි ගොවීන් වෙත කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදුන් සමස්ත මූල්‍යාධාර ප්‍රමාණය රුපියල් මිලියන 79 කට අධික විය.

ජාතික වගා සංග්‍රාම සතියේ පශු සම්පත් දින ප්‍රධාන උත්සවය ඇතුළු වැඩසටහන්වලට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු පළාත් සභාවේ මැති ඇමැතිවරු ද ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරින්ද ඇතුළුව විශාල පිරිසක් එක්විය.

නව අදහස දක්වන්න