ඝාතනයට වසර පනහයි විප්ලවවාදියාගේ අවසන් හෝරාව | දිනමිණ

ඝාතනයට වසර පනහයි විප්ලවවාදියාගේ අවසන් හෝරාව

ෆවුස් මොහොමඩ්

වසර 1966 නොවැම්බර් මාසයේ 3 වැනිදා මැදි වියේ පසුවන ඇඩොල්ෆෝ මෙනා ගොන්සාලෙස් නමැති උරුගු ජාතික ව්‍යාපාරිකයකු බොලීවියාවේ ලා පැස් නුවරට සේන්දුවිය. ඉතාම ප්‍රසන්නශීලී මෙන්ම පැහැපත් රුවකට හිමිකම් කී මේ ව්‍යාපාරිකයාගේ නිල් පැහැති නෙත් සඟලේ තියුණු බැල්ම ඔහුගේ ප්‍රතිරූපයට ගෙනදුන්නේ ආකර්ශනීය පෙනුමකි.

එක් පැත්තකින් බොලීවියාවේ සුප්‍රකට ඉලිමානී කඳුවැටියේ ඉහළ මුදුනේ තැන්පත්වී ඇති හිම කුට්ටි දර්ශනය වන එක්තරා හෝටලයක ඔහු ලැගුම් ගත්තේය. මේ අසිරිමත් දසුන ඔහු විසින්ම ඡායාරූප ගතකරනු ලැබුවේ ඔහුගේ ප්‍රියතම වර්ගයේ සුරුට්ටුවක් ද උරමිනි.

සැබැවින්ම මේ පුද්ගලයා අන් කිසිවකු හෝ නොව අර්නස්ටෝ චේ ගුවේරා විය. ආජන්ටිනාවේ උපත ලබා කියුබාවේ අමෙරිකානු හිතවාදී ඒකාධිපති ෆුල්ගෙන්සියෝ බැටිස්ටාගේ පාලනය බිඳ දැමීමට ඓතිහාසික විප්ලවයට පණ දුන් අසහාය විප්ලවවාදියා ඔහුය.

කියුබානු විප්ලවයෙන් පසුව සිය විප්ලව සගයා වූ පිදෙල් කැස්ත්‍රෝගේ සෙවණ යට රජයේ වරප්‍රසාද භුක්ති විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැම අතින්ම වාසනාව අත්වී තිබුණත් ලොවම කතා කරන කියුබානු විප්ලවයට උරදීමෙන් ලැබූ උත්තේජනය නිසා ඔහුට විවේක ගැනීමට සිත දුන්නේ නැත. ඉන් එහාට ලතින් අමෙරිකානු අනිත් රටවලත් පීඩිත ජනතාවට නිදහස අත්කර දීමේ උදාර අරමුණ ඇතිව ඔහු නැවතත් විප්ලවයේ මාවතට පිය මැන්නේ එසේය. එවර ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේ බොලීවියාවේ ජනතාවට නිදහස ලබාදීමේ අරගලයට උරදීමය.

එහෙත් ඊට මාස 11කට පසුව චේ පිළිබඳ ලෝකයාට අසන්නට ලැබුණේ කිසිවකු අපේක්ෂා නොකළ ඉතා කනගාටුදායක සිදුවීම් මාලාවකි. විප්ලවයේ පරමාදර්ශී චරිතයක් ලෙස කාගෙත් ආදර ගෞරවයට පාත්‍රවූ මේ ගරිල්ලා නායකයාට ඔහුගේ ජිවිතය අවුරුදු 39ක් වැනි කෙටි කාලයකට සීමා කරමින් කාලයක් පුරා ඔහු හඹා යමින් සිටි සී.අයි.ඒ. සංවිධානයත්, බොලීවියානු හමුදාවත් එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්වූයේ 1967 වසරේ ඔක්තෝබර් මස 8 වැනිදාය.

පිරිපුන් සිරුරකට හිමිකම් කී මේ අපුරු මිනිසා බොලීවියාවේ එක්තරා වනාන්තරයකදී හමුදාවට කොටුවෙද්දී වැහැරුණු කෙසඟ සිරුරකින් යුතු ඉතා වයවෘද්ධ පෙනුමක් සහිත මිනිසකු බවට පත්වී සිටියේය. ගෙල තෙක්ම වැවී තිබූ දිගු හිසකෙස්, කිලිටි දිගු රැවුල, ජීවිතයේ අවසාන් හෝරාව එළැඹී ඇති බව කියාපාන බලාපොරොත්තු සුන්වූ බැල්ම මේ මිනිසා සැබැවින්ම චේ දැයි කිසිවකුට හඳුනාගැනීම පවා අසීරු කර තිබිණි.

‘ඔවුන් කීවේ ඔහු හරියට ජේසුතුමා වගේ පෙනුමක් ඇති කෙනෙක් කියලයි.‘

දැන් 87 හැවිරිදි වියේ පසුවන සුසානා ඔසිනාගා එසේ කියන්නීය. තුවාල ලබා සිටි චේ හමුදාව විසින් ගිලන් මැස්සක ආධාරයෙන් වනාන්තරයෙන් පිටතට රැගෙන එනු ලැබීමෙන් පසුව ඔහුගේ කිලිටි සිරුර නහවා පිරිසුදු කළේ ඇයයි.

‘මිනිස්සු අදත් සාන්ත අර්නස්ටෝ නමින් ඔහුට වන්දනාමාන කරනවා. ඔවුන් කියන්නේ ඔහු හාස්කම් ඇති කෙනෙක් කියලයි.‘

චේ ගුවේරා ඝාතනයට අදට (9) වසර පනහකි. අසාර්ථක බොලීවියානු විප්ලවයට පෙරමුණ ගත් මේ උදාර මිනිසාගේ පනස්වැනි අනුස්මරණ දිනය සැමරීමට එරට වත්මන් වාමාංශික නායක එවෝ මොරැකල්ස් විවිධාකාරයේ උත්සව මාලාවක්ම සංවිධාන කර තිබේ.

නමුත් පුරාවෘත්තයක් බඳු චේ ගේ අනුස්මරණ දිනය එවැනි වීරත්වයකින් සැමැරීමට බොලීවියාවේ බොහෝ වාමාංශික දේශපාලන නායකයන් විරුද්ධත්වය පළ කරන්නට වූයේ සති කිහිපයක සිටය. ඊට උඩගෙඩි දෙමින් චේ ගේ අනුස්මරණ උත්සවය වර්ජනය කරන බව එරට හමුදා ප්‍රධානිහු අනතුරු අඟවා තිබිණි.

ඔවුන් මේ උත්සවය හැඳින්වූයේ ගරිල්ලා සටන්කාමීන් 47 දෙනකු සමග බොලීවියානු රජය පෙරළා දැමීමේ චේ ගත් උත්සාහය මැඩ පැවැත්වූ හිටපු හමුදා ප්‍රධානින්ට කරන අගෞරවයක් ලෙසය. ඔවුන් කියා සිටියේ මේ අනුස්මරණ උත්සවය පැවැත්වෙන්නේ නීත්‍යානුකූල ව්‍යවස්ථාවකින් පත්වූ බොලීවියානු රජයක් පෙරළා දැමීමට උත්සාහ කළ විදෙස් මිනිසකු වෙනුවෙන් බවය. එමෙන්ම චේ ගෙන ගිය ගරිල්ලා යුද්ධයේදී බොලීවියානු හමුදා සෙබළුන් 59ක් ජීවිත පරිත්‍යාග කරමින් සිය මාතෘභූමිය බේරාගත් බවත්, සතුරා වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පැවැත්වීම සදාචාරාත්මක නොවන කරුණක් බවත් ඔවුහු පැහැදිලි කරමින් සිටිති.

එසේ රජයේ හමුදා ප්‍රධානින් හා ඇතැම් වාමාංශික දේශපාලන නායකයන්ගේ විරුද්ධත්වය හමුවේ වුවත් බොලීවියානු ජන නායකයා චේ අනුස්මරණය කිරීමට සූදානම්ය. ඔහු සිය ට්විටර් ගිනුමේ සඳහන් කරන්නේ මේ අනුස්මරණ උත්සවය සංවිධාන කරනු ලැබුවේ චේ වෙනුවෙන් හඬා වැටෙන්නට නොව මිලිටරි ආඥාදායකත්වය හමුවේ ආයුධ අතට ගත් නිර්භීත පිරිසක් රටේ ස්වෛරීත්වය බලාත්මක කිරීමට ගත් උත්සාහය අගය කිරීමට බවය.

විප්ලවයක් යනු ඉදී බිමට වැටෙන ඇපල් ගෙඩියක් නොවන බවත්, එය බිමට වට්ටවාගැනීමට ඔබ දැනගත යුතු බවත් වරින් වර සිය අනුගාමිකයන්ට කී චේ අවසානයේ දී සී.අයි.ඒ. ප්‍රමුඛ බොලීවියානු හමුදාවට කොටුවූයේ ඉතා අවාසනාවන්ත ලෙසිනි.

වසර 1967 ඔක්තෝබර් මාසයේ 8 වැනිදා අත්අඩංගුවට පත්වී ඊට පසු දින එනම් ඔක්තෝබර් 9 වැනිදා ඝාතනයට ලක්වූ චේ පිළිබඳ ඊට පනස් වසරකට පසුව කටහඬ අවදි කරන්නේ එදා චේ අල්ලා ගත් සෙබලුන්ට නායකත්වය දුන් බොලීවියානු හමුදාවේ එවකට සිටි කපිතාන්වරයකු වූ ගැරී ප්‍රැඩෝ සොලොමන්ය.

‘ඔක්තෝබර් 8 වැනිදා මගේ සෙබළුන් ගල් පර්වතවලින් හා ගස්වැල්වලින් පිරුණු යුරෝ පළාතේ මෙහෙයුම් කටයුතුවලයි නිතරවී සිටියේ. එදා 1.00ට විතර ඔවුන් කෑගැසුවා පුද්ගලයන් දෙදෙනෙක් අල්ලා ගත් බව කියමින්. ඔවුන් දැකීමට මම මීටර් 20ක් විතර ඉහළට ඔවුන් වෙත දිව ගියා. ඉන් එක් පුද්ගලයෙක් කියා සිටියා ඔහුගේ නම චේ ගුවේරා කියලා. අනිත් පුද්ගලයා විලී කියලයි කිව්වේ.‘

‘ඒ වෙද්දී රජයට එරෙහි අරගලයට චේ ගුවේරා නමින් පුද්ගලයන් සිවුදෙනකු පමණ එක්වී සිටි බවයි අපිට වාර්තාවෙලා තිබුණේ. ඒ නිසා මට ඔහු හරියටම හඳුනාගැනීමට සිදුවී තිබුණා. ඔබේ දකුණත පෙන්වන්න කියා මා ඔහුට කිව්වා. මොකද මට වාර්තාවුණු තොරතුරුවලට අනුව චේ ගේ දකුණතේ තුවාල කැළලක් තිබෙනවා. සැබැවින්ම ඒ තුවාල කැළල ඔහුගේ දකුණතේ තිබුණා. නමුත් ඡායාරූපවල අපි දැකලා තිබුණු ආකාරයේ රූපයක් නෙවෙයි ඔහුට තිබුණේ. ඔහුගේ මුහුණ ඉතා දුක්ඛිත පෙනුමක් ගත්තා. කිලිටි, දුර්ගන්ධය හමන ඇඳුමින් සැරැසී සිටියා. ඔහු මාස ගණනාවක් තිස්සේ වනාන්තරයේ සැරිසැරූ බවක් පෙනෙන්නට තිබුණා. දිගට වැවුණු හිසකේ ඉතා අපිරිසුදුයි. ඒ වගේම ඒවා ගැට ගැසී තිබුණා. ඔහුගේ දිගට වැවුණු රැවුල පෙනුණේ පඳුරක් වගෙයි. ඔහු බොත්තම් නැති නිල් පැහැති කබායක් හැඳ සිටියා. ඔහුගේ හිස්වැස්ම අපවිත්‍රවී තිබුණා. ඔහු සපත්තු පැලඳ සිටියේ නෑ. ඔහුගේ දෙපා සතුන් සමග පොරබැඳීමෙන් තුවාලවී තිබුණා. ඔහු පැලඳ සිටි මේස් අපිළිවෙළයි එකක් නිල්පාටයි. අනික රතු පාටයි. මහපාරේ සිඟමන් යදින්නන්ගේ පෙනුමක් සැබැවින්ම ඔහුට තිබුණේ. ඔහු අත ඇලුමීනියම් භාජනයක් තිබුණා. එහි බිත්තර 6ක්. ඒ කියන්නේ ඔහු ගම්වැසියන් සමග ගැවැසී ඇති බවයි.‘

‘චේ ගේ දකුණු පාදයේ කලවා පෙදෙස තුවාලවි තිබුණා. එය මගේ සෙබළුන් තැබූ වෙඩි පහරකින් ඇතිවූ තුවාලයක්. ඔහු සම්පූර්ණයෙන්ම අධෛර්යට පත්වී තිබූ බවක් පෙනුණා. ඔහුගේ සගයන් සියලුදෙනාම වගේ ඒ වෙද්දි මියගොස් තිබූ නිසා චේ සිටියේ නොසතුටකිනුයි. මේ තමාගේ අවසානය බව ඔහුට දැනෙන්නට ඇති. ‘

‘මේක තමයි අවසානය කැප්ටන්..‘මම ඔහුට එසේ කිව්වා.

‘දැන් ඔබ අපේ සිරකරුවෙක්..‘

‘ඔහු මගෙන් වතුර ඉල්ලා සිටියා. ඔහු අත ප්ලාස්ටික් වතුර බෝතලයක් තිබුණත් එය පාවිච්චි කිරීමට මම ඉඩ දුන්නේ නෑ. මේ මිනිසා වස පානය කොට ජීවිතය නැති කරගනීවි කියා මට බයක් දැනුණා. ඒ නිසා මා මගේ වතුර බෝතලයෙන් ඔහුට බීමට දුන්නා. මා සතු සිගරට් කිහිපයකුත් දුන්නා. ඔහු සතුව තිබූ සියලු දේ මා සන්තකයට ගත්තා. එහි ඔහුගේ දිනපොත් කිහිපයක් සමග මුදලුත් තිබුණා. ඔහු අත පිස්තෝලයක් තිබුණත් එහි උණ්ඩ තිබුණේ නෑ. ඒ කියන්නේ ඔහු ඒ මොහොතේ නිරායුධවයි සිටියේ.‘

චේ සතුව රොලැක්ස් වර්ගයේ අත් ඔරලෝසු දෙකක් තිබුණා. ඉන් එකක් ඔහු පැලඳ සිටි අතර අනික තිබුණේ ඔහුගේ සාක්කුවේ. එය ඊට දින කිහිපයකට පෙර මියගිය ඔහුගේ ගරිල්ලා සගයකුගේ බව ඔහු මට කිව්වා. ඒවා පිදෙල් කැස්ත්‍රෝ තමාට හා තම සගයන්ට සමුගැනීමේ තෑ ගි හැටියට දුන් ඒවා බවයි කිව්වේ.‘

එදින පස්වරුවේ 5ට පමණ මා මගේ හමුදා ප්‍රධානින්ට චේ අල්ලා ගත් බව වාර්තා කළා. තුවාල ලැබූ චේ ඇතුළු සිරකරුවන් ලා හිගුවේරා වෙත ගෙන ගියා. එය වනාන්තරයට කිලෝමීටර් 2ක් ඈතින් පිහිටා තිබූ ස්ථානයක්. අපි රාත්‍රිය ගත කළේ එහිදියි. එය නිවාස 20ක් පමණ ඇති කුඩා ගම්මානයක්.

චේට ඇවිදීමට නොහැකි නිසා මගේ සෙබළුන් ඔහු වාරුකරගෙන රැගෙන ගියා. සිරකරුවන් රැගෙන යාමට අප අසළට පැමිණ සිටි ගැමියන් අපට උදව් කළා. ගරිල්ලා සටන්කාමීන් සමග යුධ වැදුණු අපිට නිරන්තරයෙන්ම ගැමියන්ගේ උදව් උපකාර ලැබුණා. ඔවුන් විශ්වාස කළා අපි අපේ රට සටන්කාමීන්ගෙන් බේරා ගැනීමට යුද්ධ කළ බවට.

එදා රාත්‍රීයේ ඒ ගම්මානයේ කුඩා පාසලක චේ ඇතුළු සිරකරුවන් අප රඳවා තැබුවා. එක් පන්ති කාමරයක විලී සහ මියගිය අනිත් සටන්කාමීන්ගේ සිරුරු තැබුවා. චේ වෙනත් කාමරයකයි තැබුවේ. සිරකරුවන් දෙදෙනාටම අපි ආහාර පාන ලබාදුන්නා. අල සහ බත්. කෝපි සහ සිගරට් පවා දුන්නා.

එදා රාත්‍රියේ මා නිදි වර්ජිතවයි සිටියේ. රාත්‍රියේදී අවස්ථා අටකදී පමණ මා චේ සමග කතා කරන්නට උත්සාහ කළා. ඔහුට දැනගැනීමට උවමනා වුණේ මීළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටයි. ඔහු සියලු තොරතුරු අපෙන් සඟවන්න උත්සාහ කළා. කිසිවකු පාවා නොදීමට තරම් පරිස්සම් වුණා.

අපි දෙදෙනාම ඒ මොහොතේ උදාවී ඇති තත්ත්වය අවබෝධ කරගැනීමටයි උත්සාහ කළේ.

‘ඇයි ඔබ බොලීවියාවට ආවේ..?‘ මා ඔහුගෙන් විමසා සිටියා.

ඔහු පිළිතුරු දුන්නේ නෑ.

‘ඔබ ඇයි මෙහේ ආවේ..?‘ මා නැවතත් අසා සිටියා.

‘මේක මගේ තීරණයක් විතරක් නෙවෙයි. ඉහළින් ගත්තු තීරණයක් නිසයි මං මෙහේ ආවේ.‘ ඔහු කියා සිටියා.

‘ඉහළින්..ඒ කියන්නේ පිදෙල් ද..? මා අසා සිටියා.

අපි දෙන්නා කියුබානු විප්ලවය ගැන කතා කළා.

‘ඔබ අමෙරිකානුවන්ගෙන් පුහුණුව ලැබූ කෙනෙක්.‘ ඔහු කිව්වා.

‘ඔව්...ඔබ රුසියාවෙන් පුහුණුව ලැබූ කෙනෙක්.‘ මා කිව්වා.

‘අපි දෙන්නම ලොව බලවතුන්ගේ රූකඩ..‘ එසේ මා කී දෙයට ඔහු එකඟ වුණා.

පසුදින අංක අටේ සේනාංකයේ අණදෙන නිලධාරී කර්නල් සෙන්ටිනෝ හෙලිකොප්ටරයක් මගින් පැමිණ සිටියා. මා ඔහුට වාර්තාවක් සමග චේ ඇතුළු සිරකරුවන් දෙදෙනා බාර දුන්නා. සෙන්ටිනෝ සමග සී.අයි.ඒ. නියෝජිත ෆීලික්ස් රොඩ්රිගස් පැමිණ සිටියා.

එදින මා ලා හිගුවේරා ගම්මානයෙන් පිටත්ව ගියේ තවත් ගරිල්ලා සටන්කාමින් පිරිසක් සොයන මෙහෙයුමකටයි. චේ මියගොස් ඇති බව දැනගත්තේ සටන්කාමීන් පිරිසක් අල්ලාගෙන නැවත පැමිණීමෙන් පසුවයි.

ඔහු මරා දැමූ බව මගේ සේනාංකයේ අණදෙන නිලධාරී මේජර් අයෝරෝවා මට දන්වා සිටියා. එදින පස්වරු 1.30ට පමණ චේ ගේ සිරුර හෙලිකොප්ටරයක් මගින් රැගෙන ගියා. එය තමා අවසන් වතාවට මා ඔහු දුටුවේ. චේට වෙඩි තබා තිබුණේ මරියෝ ටෙරාන් විසිනුයි. ඒ සිදුවීම පසුව ඔහු මට විස්තර කළා.

එවකට බොලීවියානු ජනාධිපතිවරයා චේ මරා දමන ලෙස නියෝග කිරීමෙන් පසුව ඒ සඳහා සෙබළුකු තෝරාගැනීමට සිදුවි තිබු බවයි ටෙරාන් කීවේ. කර්නල් සෙන්ටිනෝගේ නියෝගයකට අනුව ටෙරාන් සහ තවත් සෙබළුකු තෝරාගෙන තිබුණා. සෙබළුන් දෙදෙනා පාසල් කාමර දෙකට යවා තිබුණා. ටෙරාන් ගියේ චේ සිටි කාමරයටයි. අනිකා ගියේ විලී සිටි කාමරයටයි.

ඔවුන්ගේ වෙඩි තැබීම ඉතා වේගයෙන් සිදුවූවාක්. ටෙරාන් මට කීවේ එක් වෙඩි පහරකින්ම චේගේ ප්‍රාණය නිරුද්ධ වූ බවයි. චේ එලෙස මෙලොව හැරගියේ කිසිම කතාවකින් තොරවයි. කිසිම සමුගැනීමකින් තොරවයි. සන්නිවේදන ජාලය එතරම් ව්‍යාප්තවෙලා නොතිබුණු බැවින් චේ ගේ මරණය ලෝකය පුරා පැතිර ගියේ ඉතා මන්දගාමීවය. ඇතැමුන්ට එය ආරංචි වුණේ සෑහෙන කාලයකට පසුවය. කොටින්ම 1997 දී චේ ගේ මළ සිරුරේ කොටස් හමුවනතුරු ඔහු වල දැම්මේ කොතැනද කියා කවුරුවත් දැන සිටියේ නැත සැබැවින්ම මරණය ඔහුට නැවත ජිවිතයක් ගෙනදී තිබිණි. චේ ජීවමාන චරිතයක් බවට පත්විය. ජීවත්ව සිටියදී ඔහු ගැන නොදැන සිටි අය පවා මරණයෙන් පසුව චේ ගැන කතා කරන්න පටන් ගත්තේය.

‘චේට හැම ක්ෂේත්‍රයක් ගැනම පුළුල් අවබෝධයක් තිබුණා. එයා රටේ ලෝකේ වෙන දේවල් ගැන නිතරම අවදියෙනුයි හිටියේ. මිනිස්සුන්ට ආදරය කළේත් මහ පුදුමාකාර විදිහටයි. එයාලගේ දරිද්‍රතාව, පීඩනය, එයාලට සිද්ධවෙන අසාධාරණ ගැන නිතරම දුක් වුණා. ඒ වගේ වෙලාවට චේ ගේ හඬ හැමදේටම ඉහළින් කැපී පෙනුණා. එයා හැමතැනකදීම කැපී පෙනුණා. ඉහළින්ම පේන්න හිටියා. ඒත් ඇත්තටම චේ කියන්නෙ එච්චර උස මිනිහෙක් නෙවෙයි. එයාගේ උස අඩි පහකුත්, අඟල් 7ක් විතරයි. ඒ වුණාට මනුස්සකම අතින් නම් චේ හුඟාක් උසට හිටියා.‘

 

 

නව අදහස දක්වන්න