කිම් ජොන්ග් අන්ගේ සහෝදරිය රටේ ඉහළම බලමණ්ඩලයට | දිනමිණ

කිම් ජොන්ග් අන්ගේ සහෝදරිය රටේ ඉහළම බලමණ්ඩලයට

තම සහෝදරියට වැඩි බලතල ලබා දෙමින් රටේ වැදගත්ම තීරණ ගන්නා බලමණ්ඩලයට ඇය පත් කිරීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පියවර ගනී.

හිටපු නායක කිම් ජොන්ග් ඉල් ගේ බාලම දියණිය වන කිම් යෝ ජොන්ග් පාලක පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ සාමාජිකත්වයට පත්වන්නේ ඇයගේ නැන්දණිය වෙනුවට ය.

පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය කිම් යෝ ජොන්ග් ට හිමි වුයේ මීට තුන් වසරකට පෙර ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී උතුරු කොරියාව ස්ථාපිත වූ දා පටන් මේ දක්වා රට පාලනය කරනු ලබන්නේ 'කිම් පවුල' විසිනි.රටේ දේශපාලන තීරණ ගන්නා ඉහළම මණ්ඩලයට උසස් කෙරුණු කිම් යෝ ජොන්ග් ගේ නම එක්සත් ජනපදය විසින් අපලේඛනගත කොට ඇත.

ඒ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මතය.පක්ෂ රැස්වීමක දී ඇයගේ උසස්වීම නිවේදනය කරනු ලැබ ඇත්තේ නායක කිම් ජොන්ග් උන් විසිනි.

එහි උසස් තනතුරු කිහිපයකම වෙනස් කම් සිදුකර තිබේ.තම සහෝදරිය ඉහළ තනතුරකට පත්කර ගැනීම තුළින් ඉදිරියටත් රටේ පාලනය කිම් පවුල සතු වන බවට අවධාරණය කිරීමක් සිදුවී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

මේ අතරතුර, පසුගිය මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ උතුරු කොරියානු විදේශ ඇමතිවරයා ද ඉහළ දේශපාලන බලමණ්ඩලයට උසස් කර තිබේ.

 විදේශ ඇමති රි යොන්ග් හෝ විසින් ජනාධිපති ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කරනු ලැබූ අතර ඔහු නිව්යෝර්ක් නුවරදී කියා සිටියේ උතුරු කොරියාවට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් යුද්ධ ප්‍රකාශ කර ඇති බවය.

මෙම උසස්වීම් සිදු කෙරුණේ එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා තම න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියටම කරගෙන යන බවට උතුරු කොරියාවේ උත්තරීතර නායක කිම් ජොන්ග් උන් ප්‍රතිඥා දී තිබියදී ය.

කිම් පවුලේ තෙවන පරම්පරාව නියෝජනය කරන උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් අන් එරට නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ මුනුබුරෙකි.

කිම් ඉල් සුන්ග් ට පසුව රටේ නායකත්වයට පත්වූයේ ඔහුගේ පුත් කිම් ජොන්ග් ඉල් ය.

කිම් ජොන්ග් අන් ගේ පියා වූ කිම් ජොන් ඉල් හෘදයාබාධයක් හේතුවෙන් 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී මරණයට පත් විය.ඉන් අනතුරුව කිම් ජොන්ග් අන් උතුරු කොරියාවේ නායකයා බවට පත් විය.

(උපුටා ගැනීම - බීබීසී පුවත් සේවය)

 

 

 

 

 

නව අදහස දක්වන්න