කල්දැමිය නොහැකි ජනතා අයිතිය | දිනමිණ

කල්දැමිය නොහැකි ජනතා අයිතිය

ඔසන්ත තල්පාවිල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය
දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

මේ දිනවල දේශපාලනය තුළ අවධාරණයට ලක් වූ ප්‍රධාන කරුණක් වන්නේ පළාත් සභා මැතිවරණය යි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද විශාල අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කර ඇති බව පෙනේ. මූලික වශයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට පෙර තම තමන්ගේ දේශපාලන ජනප්‍රියතාව සහ ශක්තිය උරගා බැලීමේ උරගලක් සහ ප්‍රධානතම මූලෝපායක් වශයෙන් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ යොදා ගන්නා බව ප්‍රකට රහසකි. ආණ්ඩු පක්ෂයට මේ මැතිවරණය වැදගත් වී ඇත්තේ තමන් ඉදිරියට ගෙන යන සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් දේශපාලන බලය ලබාගැනීම සඳහා පළාත් සභාවල බලය රඳවාගැනීම අවශ්‍ය බැවිනි.

මධ්‍යම රජයට මෙන්ම පළාත්පාලන ආයතනවලට බලතල රාශියක් පැවරී තිබේ. ඒ අතර විරුද්ධ පක්ෂය පළාත් සභාවල බලය ලබාගැනීම මගින් රජයට විරුද්ධ ජන මතයක් නිර්මාණය කරගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරයි. පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් රජය මෙන්ම විපක්ෂය ද අවධානයෙන් පසුවන්නේ එහෙයිනි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට ඉස්මතු වී තිබෙන ගැටලුකාරී තත්ත්වය වන්නේ ඒවා නියමිත දිනට සිදු නොවීම යි. ඇතැම් පළාත් සභාවල කාලය මේ වන විට ඉකුත් වී ඇති අතර, තවත් කීපයක කාලය නුදුරේදීම ඉකුත්වීමට නියමිත ය. කෙසේ වෙතත් බොහෝ කලකින් පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වී නැත. ආණ්ඩුව විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පළාත් සභා මැතිවරණ එකම දිනෙක පැවැත්විය යුතු ය යන මතයේ පිහිටාය. නමුත් මේ තුළ මැතිවරණ කල්දැමීම සම්බන්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවාද යන්න ගැටලු සහගත ය. එවැන්නක් සිදු වේ නම් එය යෝග්‍ය නොවේ.

දැනට පවතින ගැටලුව කුමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම තුළ පළාත් සභා, පළාත් පාලන ආයතන යනු ජනතාවගේ ආයතන වන අතර ජනතා නියෝජනය හරහා යම් යම් කාර්යන් ඉෂ්ට කරන ආයතන වේ. මූලික වශයෙන් ඒවායේ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනතා නියෝජිතයන් විසිනි. එකී ජනතා නියෝජිතයන් නොමැතිව යම් කිසි ලෙසකින් රජය විසින් බලය පවරාගෙන ඒවායේ කටයුතු සිදු කරයි නම්, එක් පැත්තකින් එය එම ආයතනවල මූලික මූලධර්මවලට පටහැනි ය. අනෙක් පැත්තෙන් ඒ හරහා නිසියාකාරව ජනතා අවශ්‍යතා නියෝජනය වන්නේ නැත. මේ නිසා නියමිත ආකාරයෙන් පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම ඉස්මතු වේ. නැතිනම් මේවායේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවිය හැකිය. යුද්ධය අවසන් වී තිබෙන නිසා මැතිවරණ පැවැත්වීමට විශේෂ ආරක්ෂක විධි විධාන යෙදවීමේ අවශ්‍යතාවක් ද නැත. මේ නිසා සාමකාමී පරිසරයක් තුළ උතුරු නැගෙනහිර වේවා, දකුණේ වේවා මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබේ.

මෙරට මහ මැතිවරණ, ජනාධිපතිවරණ සාමාන්‍යයෙන් පවත්වන්නේ එකම දිනයකය. එය ජනතාවට නුපුරුදු දෙයක් නොවේ. ඒ නිසාම ඒ මැතිවරණවලදී නිවැරදි ජනමතය ප්‍රකාශ වීමක් සිදුවේ. කඩින් කඩ මැතිවරණ පැවැත්වුවහොත් එක් පළාත් සභාවක ප්‍රතිඵලය ඊළඟ පළාත් සභා මැතිවරණයට බලපෑ හැකිය. එක් පළාත් සභාවක යම් කණ්ඩායමක් ජයග්‍රහණය කළහොත් , ඊළඟ මැතිවරණයේ දී ඒ ප්‍රතිඵලය පදනම්කරගෙන ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීමට පෙලඹිය හැකිය. එකම දිනකදී මැතිවරණ පැවැත්වුවහොත්, ප්‍රතිඵල සම්බන්ධයෙන් වඩාත් සාධාරණත්වයක් දැකිය හැකි වනු ඇත. මෙහිදී ඇති වී තිබෙන ගැටලුව නම් එලෙස එකම දිනෙක මැතිවරණ පැවැත්වීමට දරන උත්සාහය තුළ ඡන්දය කල් දමනවාද යන කාරණය යි. එසේ වන්නේ නම් එය සිදු නොවිය යුත්තකි. අවසාන පළාත් සභාව විසුරුවා හරිනා තෙක් අනෙකුත් පළාත් සභා ඡන්ද නොපවත්වමින් කල් මරනවාද යන්න ගැටලුවකි. මෙහිදී හොඳම හා සුදුසුම දෙය වන්නේ යම්කිසි ආකාරයක එකඟතාවක් මත එකම දිනෙක මැතිවරණ පැවැත්වීමයි.

මැතිවරණ එකම දිනෙක පැවැත්වීම වියදම් අතින්ද වාසි සහගත ය. ප්‍රචාරණය, සංවිධානය, ආරක්ෂාව යන සියලු කාරණා සලකා බලනවිට එය එසේය. එහෙත් මැතිවරණ දින කිහිපයක පැවැත්වීමෙන් වියදම් අධික වේ.

ඡන්ද කල්දැමීමේ ඉතිහාසය

මැතිවරණ කල්දැමීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නොවේ. නිසිකලට මැතිවරණ පැවැත්වීම අනිවාර්ය ය. එසේ නැතිනම් නිරන්තරයෙන් ජනතා අප්‍රසාදය මතු වේ. උදාහරණ වශයෙන් 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ රජය 1975 අවසානයේදී මැතිවරණය නොපවත්වා, අවුරුදු 2කින් එනම් 1977 දක්වා කල් තැබුවේය. මේ නිසා ඒ ආණ්ඩුවට විශාල විරෝධයක් එල්ල විය. විවිධ ගැටලු ද මතු විය.

1982 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගත්තේ ය. මෙයට ද විශාල ජනතා විරෝධයක් මතු විය. මෙකී මැතිවරණ කල්දැමීම් අපට පූර්වාදර්ශ ලෙස සැලකිය හැකිය. එසේම ඒ පිටුපස පැමිණි ජනතා විරෝධතා ද ඒ ඒ රජයන්ට අත් විඳින්නට සිදු වූ බව අමතක නොකළ යුතුය. පසුකාලීනව ඇති වුණු දකුණේ අර්බුදවලට හේතු වූයේ ද ඉහත කී ජනමත විචාරණය හා එමඟින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ බාධා කිරීම ය. මැතිවරණ කල් දැමීම යනු ප්‍රජාතන්ත්‍රවිරෝධී කාරණයක් ලෙස දැක්විය හැකි වන්නේ එහෙයිනි.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සියලු කාර්යයන් හා බලතල මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණ ද, ඒ සඳහා අවශ්‍ය සියලු තීන්දු තීරණ, විධි විධාන යනු ලබන්නේ රජය විසිනි.

සමානුපාතික නියෝජන ක්‍රමය ප්‍රථමවරට භාවිත කරන ලද්දේ 1980 සංවර්ධන සභා මැතිවරණයේදී ය. ඊට පෙර තිබුණේ කේවල ක්‍රමය යි. කේවල ක්‍රමයේ පැවැති අඩුපාඩු මග හරවා ගැනීම සඳහා නව ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. පසුකාලයේදී මනාප ක්‍රමයේ අඩුපාඩු තිබුණි.විශේෂයෙන් ම මනාප ක්‍රමය තුළ මන්ත්‍රීන් තෝරාපත් කර ගැනීමේදී තිබූ තත්ත්වයන්, නියෝජනය සම්බන්ධ අපහැදිලි බව ආදි ගැටලු දක්නට ලැබුණි. සමානුපාතික ක්‍රමය තරමක සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස ද දැක්විය හැකිය. නමුත් නියෝජන ක්‍රමයක් ලෙස ගත්විට, සමානුපාතික ක්‍රමය තුළ එක්තරා දුරකට ඡන්දයට වටිනාකමක් තිබුණු බවද අපට පිළිගන්නට සිදු වේ.

සරල බහුතර ක්‍රමය තුළ ජයග්‍රහණය කළ කණ්ඩායමට පමණක් සියලු වරප්‍රසාද හිමිවන නමුත් සමානුපාතික ක්‍රමයේ දී ජයග්‍රාහක කණ්ඩායමට පමණක් නොව, පරාජිත කණ්ඩායම්වලට ද යම්කිසි නියෝජනයක් හිමි වේ. මේ කාරණා නිසා මේ ක්‍රම දෙකෙහිම තිබූ අඩුපාඩු මගහරවා, අතරමැදි තත්ත්වයක් යෝජනාවීම මේ වනවිට දක්නට ලැබේ. යෝජිත ක්‍රමය මේ නියෝජන ක්‍රම දෙකෙහිම අඩුපාඩු මග හරවාගෙන නිර්මාණය වන ක්‍රමයක් වීම වැදගත් ය.

මේ මැතිවරණ කල් දැමීම යනු මේ මොහොතේ මැතිවරණයකට යෑම ආණ්ඩුවට අවාසිදායක නිසා සිදු කරන දෙයක් ලෙස බොහෝ දෙනා චෝදනා කරති. මෙහි පැති දෙකක් තිබේ. එකක් දේශපාලනමය පැතිකඩ යි. අනෙක තාක්ෂණිකමය පැතිකඩ යි. ඕනෑම රජයක් මැතිවරණ පවත්වන්නේ තමන්ට වාසිදායක යැයි සිතන අවස්ථාවක බව අපට ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණද තිබේ. අවාසිදායක තත්ත්වයන් ඇති විට විවිධ හේතු පෙන්වා මැතිවරණ කල් දැමීමට ආණ්ඩු උත්සාහදරයි. එහෙත් එසේ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට සුදුසු නොවන බවද මෙහිදී අවධාරණය කළ යුතුය.

පළාත් සභා ක්‍රමයේ අපේක්ෂාව

මෙරට යුද්ධයෙන් පසුව කිසිදු ආකාරයක ත්‍රස්තවාදයට හෝ බෙදුම්වාදයට හේතු වුණු කරුණුවලට දේශපාලනමය විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් නිසියාකාර තීන්දුවක් ක්‍රියාත්මක වූයේ නැත. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් එකම තුරුම්පුව ලෙස භාවිත වන්නේ 87 හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය යි. එසේ වුවද පළාත් සභා ක්‍රමයටත් යම් යම් විවේචන තිබෙන බව කිව යුතුය. නිදසුනක් වශයෙන් පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පිළිබඳ ඇතැමුන් සෑහීමකට පත්වන්නේ නැත. පළාත් සභා බලතල තවත් වැඩිකළ යුතුය යන ඉල්ලීම් ද තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත් සභා ගතහොත්,දේශපාලනමය වශයෙන් කිසියම් වූ ආකාරයකට බලය භුක්ති විඳීමට සුළු ජන කොටස්වලට අවස්ථාවක් එයින් උදා වී තිබේ. උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් ගත් කළ එය දේශපාලන පක්ෂවලට යම්කිසි ආකාරයකට තමන්ගේ බල ප්‍රදේශය තුළ බලය භුක්ති විඳීමේ හැකියාවක් පළාත් සභාව හේතුවෙන් ලැබී තිබේ.

පළාත් සභාවන්හි දැනට පවතින සීමානිර්ණය පිළිබඳ ගැටලු වැනි දේ හේතුවෙන් මැතිවරණය අර්බුදකාරී ලෙස ප්‍රමාද වන්නේ නම් එය දකුණුට එතරම් නොදැනිය හැකි නමුත් උතුරට එය බලවත් ලෙස දැනෙන්නට පුළුවන. මන්ද පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ඒ අයට සුවිශේෂී දෙයක් ලෙස හැගෙන නිසාය. ඔවුන්ට ප්‍රාදේශීය වශයෙන් බලය ක්‍රියාත්මක කළ හැකි එකම ආයතනය වන්නේ පළාත් සභාව බැවිනි. මේ අනුව ගත් කල අපට පළාත් සභා ක්‍රමය උතුරින් වෙන් කර ගත නොහැකිය. මේ කරුණු සලකා බලන කළ පළාත් සභා ක්‍රමය නිසි ආකාරව අඛණ්ඩව පවත්වාගෙනයාම රජයේ වගකීමක් වේ. එහි වැදගත්කම නැවත නැවතත් අවධාරණයකළ යුතුය.

පළාත් සභා පිහිටුවීමේ අරමුණු සලකා බලතොත් ලංකාවේ වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස 87 ඉන්දු ලංකා ගිවිසුම මගින් ලංකාවේ පළාත් සභා ක්‍රමය 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන එනු ලැබුණි. එහෙත් පළාත් සභාවලට ජනවාර්ගික අර්බුදය හැරුණුකොට මෙරට සංවර්ධනය සහ ජන ජීවිතය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කළ හැකිය. පළාත් සභාවලට පැවරී තිබෙන කාර්යයන් නිවැරදිව ඉටුකරන්නේ නම් එය රටේ සංවර්ධනයට විශාල රුකුලක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

යශෝදා ඉන්දීවරී 

නව අදහස දක්වන්න