සිංහල කොත්තු ෆේස් බුක් බේගල් | දිනමිණ

සිංහල කොත්තු ෆේස් බුක් බේගල්

වෛරී මිනිසුන් ඕපාදූප හෙවත් දූෂමාන අරාංචි ගෙනයන අතර මෝඩයන් විසින් එවා පතුරුවා අමනයන් විසින් ඒවා වැළදගනු ලැබේ. යනු ඉංග්‍රීසි උපහැරණයකින් කියවෙන අදහසකි.

ගාල්ල ප්‍රදේශයේ මෙන්ම ඉන් ඔබ්බටත් ලැව්ගින්නක් සේ පැතුරුණු 'සිංහල කොත්තු' හා “මුස්ලිම් ආපනශාලවල වඳ බෙහෙත් ආහාර” සම්බන්ධ ඕපාදූපයද වෛරී ජාතිවාදීන් විසින් නිර්මාණය කොට වර්ගවාදී මෝඩයන් විසින් පතුරුවන ලදුව අවිචාරී අමනයන් විසින් මහ ඉහළින් පිළිගත් සිතාමතා නිර්මාණය කළා වූ මුසාවකි.

සිංහල කොත්තු ප්‍රවාදය

සති කිහිපයකට පෙරදී අන්තර්ජාලයේ එක්තරා මුහුණු පොත් ගිණුමක වූ සටහනිකින් කියවුණේ එම්.ජේ.එමි හා තලාල් ‍යන හොටෙල්වලට වඳ බෙහෙත් මුසු අහාර පාන තීබී ඒ ආපනශාලා දෙකම මුද්‍රා තබා වසා දැමූ බවය. ඒ සමගම සිංහල අයට එම හෝටල්වලට නොයන ලෙසත් එම පෝස්ටුවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි. එම්.ජේ.එම්. හෝටලය පිහිටා ඇත්තේ ගාල්ල හිරඹුර පාර ගලගෙඩිය හන්දියේ වන අතර තලාල් හෝටලය ඇත්තේ ගාල්ල තනිපොල්ගහ හංදියේ ය.

ඒ සමගම පළවූ තවත් මුහුණු පොත් පොස්ටුවකින් කියවුණේ වඳ බෙහෙත් මිශ්‍රිත ආහාර විකිණීම නිසා ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ රිස්ලාට් හෝටලය ද මුද්‍රාතබා ඇති බවය. මේ සියලු ප්‍රවෘත්තින්ට පියාපත් ලැබුණි. බොහො දෙනා ඉහත හෝටල් දෙක පමණක් නොව ගාල්ලෙ වෙනත් මුස්ලිම් ආපනාශාලා ද වර්ජනය කිරීමට පෙලඹුණි. මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අපට දැනගන්නට ලැබුනේ අපූරු කථාවකි. දිනක් ඉහත සදහන් වූ තලාල් හෝටලයට රාත්‍රී කාලයේ බීමත් පුද්ගලයෙක් පැමිණ කොත්තුවක් ඇණවුම් කොට ඇත. හෝටල් සේවකයා හයියෙන් කැගසා 'ෂිංගල්' කොත්තුවක් කියා කොත්තු බාස් ට එම ඇණවුම සන්නිවේදනය කොට ඇත. ( තනි පුද්ගලයෙක් කොත්තුවක් ඉල්ලු විට හොටෙල් සේවකයන් කියන්නේ සිංගල් (Single) කොත්තුවක් යනුවෙනි) මුස්ලිම් සේවකයා සිංගල් යන්න නුහුරු ලෙස උච්චාරණය කිරීම නිසා එය කොත්තු ගන්න පැමිණි බීමත් පුද්ගලයාට ඇසුණේ සිංහල කොත්තුවක් යනුවෙනි.

ඉන් උරණ වූ බීමත් පුද්ගලයා උබලා සිංහලයට වෙනම කොත්තුවකුයි උඹලගේ අයට වෙනම කොත්තුයි දෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කරමින් හෝටලේ අයට පරිභවකරමින් යන්න ගොස් ඇත්තේ ඒ සමිබන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව පවසමිනි.

ඔහු ගත් පසු ක්‍රියාමාර්ගයක් නැති වුණත් එම පුවතට වඳබෙහෙත් කතාවත් එකතු කොට ප්‍රචාරය කොට ඇති අතර එම ප්‍රවෘත්තිය වර්ගවාදීන් අතින් හොදට පෝෂණය විය.

ඉහත සිද්ධිවලට අදාළ ප්‍රදේශවල අප කළ සංචාරයන්හි දි ගාල්ල පොලීසියෙන් හෝ රජයේ ආයතනයකින් හෝ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව විසින් මුද්‍රාතබා වසා දමන ලද කිසිදු ආපන ශාලාවක් දක්නට හෝ දැනගන්නට නොලැබුණි. අදාළ අංශවලින් කළ විමසුම්වලින් දැන ගන්නට ලැබුණේ එවැනි කිසිඳු සිදුවිමක් වාර්තා නොවුණ බවකි.

වෙළද කුමන්ත්‍රණයක් ද?

අනතුරුව අපි එම්.ජේ.එම් හොටෙල් හා චයිනිස් රෙස්ටූරන්ට් හිමිකරු වන එම්.ජේ.එම්. ෆයිසාල් මහතා හමුවීමු. මේ ඔහු අප සමග පැවසූ කථාවයි.

මේ හෝටලය මට හිමි වුණේ මියගිය මගේ පියා මොහමඩ් ජසායිල් මහතාගෙන්. තාත්ත අව්රුදු 35 ක් මේ හෝටලය කරල තමයි මට භාර දුන්නේ. මේවන කොට මම කරන්න පටන්ගෙනත් වසර 30 ක් වෙනවා. මේ හෝටලය දැන් අවුරුදු 65 ක් වනවා. ඒ කාලය තුළ අඩුම තරමේ නගගර සභාවෙ සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් වත් සුළු හෝ චෝදනාවක් අපි ලබල නෑ. මගේ හෝටලයේ කෝකියෝ හය දෙනෙක් ඉන්නවා.

දෙන්නෙක් ම සිංහල . ඒ හැරෙන්නට කඩින් කඩ වැඩට තවත් සේවකයින් හතරක් විතර ඉන්නවා. ඒ අය අතර සිංහල හා දෙමළ අයත් ඉන්නවා. මගේ කඩේට එන ගොඩක් අය සිංහල. ගාල්ලේ ඉතා දුර බැහැර ගම්වල ඉදල පවා කෑම කන්න මගේ හෝටලයට එනවා.

පසුගිය සැප්තැම්බර් මාසේ 2,3.හා 4 දවස් වල අපේ අවුරුද්දට (හජ්ජි උත්සවය) බෝඩ් එකක් දාල කඩේ වැහුව. ඒක අල්ලගෙන තමයි මේ අය අර බොරු කතාව ප්‍රචාරය කළේ.

ඉස්සර ඔය සරන්තුකඩේ හංදියේ සිට බෙලි ගහ හන්දිය පහුකරල අපේ ගලගෙඩිය හන්දියට එනකොට තේ කඩ හතරයි නැත්නම් පහයි තිබුණේ. දැන් සීමාවේ අලුතින් තේ කඩ 15 ක් විතර තියෙනව. නමුත් මගේ බිස්නස් අඩුවුණේ නෑ. මට නම් හිතෙන්නෙ මේක බිස්නස් නැති අයගේ යටිකූට්ටු වැඩක් කියලයි. මම මේ ගැන ගාල්ල පොලීසියට පැමිණිලි කළා. පොලීසිය දැන් පරීක්ෂණ අරඹලා තියෙනවා . ළඟදීම බොරු කාරයෝ අහුවේවි, ෆයිසාල් මහතා සිය විශ්වාසය පළකොට සිටියා.

හෝටලයේ අරක්කැමියකු ලෙස සේවය කරන යූ.එම්.ජී. ජගත් කුමාර මහතා. මම මේ හෝටලයේ අවුරුදු 15 ක් තිස්සේ වැඩ කරනවා. මේ වඳ බෙහෙත් කථාව අමූලික බොරුවක්. මම කන්නේ බොන්නෙත් ගෙදර අයට ගෙන යන්නෙත් මේ හෝටලයේ කෑම. මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. බිරිදට තව ළමයෙක් ලැබෙන්නත් ඉන්නව. එහෙනම් මමත් වඳවෙන්න එපාද. මගේ ගම නාගොඩ. අපේ ගම්වලින් පවා කන්න එන්නේ මේ හෝටලයට.

අරක්කැමි ටී.එල්. කරුණාතිලක මහතා - මමත් මේ හෝටලයේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වැඩකරනවා. මේ හෝටලයට වැඩිපුරම එන්නේ සිංහල අය. මේ කඩේ කැම ඉතාම පිරිසිදුවට තමයි පිළියෙල කරන්නෙ. අඩුම තරමින් මේ හෝටලයේ අජිනමොටෝවත් පාවිචිචිකරන්නේ නෑ.

මේක හරිම අසාධාරණ ප්‍රචාරයක්. මගේ දරුව යන්නේ නාගොඩ රෝයල් එකට. ඉස්කෝලේ මිස් අපේ ළමයා පන්තිය ඉස්සරහට ගෙනල්ල මම වැඩකරන්නේ මේ හෝටලයේ බව කියල ළමයට ලජ්ජ කරල තියෙනව. මේව හරි වැරදි වැඩ. හෝටල් සේවක ජී.පියසේන මහතා. මම මේ හෝටලයේ අවුරුදු 21 ක් වැඩකරනවා. මම කරන්නෙ වේටර් වැඩ. කරාපිටිය රෝහලේ දොස්තර මහත්වරු බොහෝ දෙනෙක් කෑම කන්නේ ගෙනියන්නේ මේ හෝටලයෙන්. එහෙම මොනව හරි බෙහෙත් දානව නම් ඒ දොස්තර මහත්වරුන්ට අහුවෙන්න එපායැ!. දොස්තර මහත්තුරු මේ හෝටලයට එන්නේ මෙහි තියෙන පිරිසිදුකම නිසයි.

හොටෙල් සේවක මුත්තුසාමි බාලචන්ද්‍රන් - මම අවුරුදු 13 ක් තිස්සේ මෙහෙ තමයි වැඩ කරන්නේ. කෑම පාර්සල් බෙදල ඔතල දෙන එක තමයි මම කරන්නේ. මම එන්නේ වඳුරඹ කටඹුරාවේ ඉදල. දැන් කැම කන්න එන අය ගොඩක් අඩුයි. භාගෙට භාගයක් අඩුයි. අපේ රස්සාත් නැතිවෙයිද කියල බයයි. අදත් දෙන්නෙක් රස්සාව දාල ගියා බයේ.

එම්.ජේ.එම්.චයිනිස් රෙස්ටූරන්ට් හි ප්‍රධාන සේවක සමීර සමීර සම්පත් මහතා - මම චියිනීස් කෑල්ලේ ස්ටුවර්ඩ් ලෙස තමයි වැඩකරන්නේ.

අවුරුදු 5 ක් වෙනව වැඩට ඇවිල්ල. මේක අමූලික මඩ ප්‍රචාරයක්. මේ රෙස්ටූරන්ට් එකට මාපලගම, නාගොඩ, යක්කලමුල්ල, දුර ප්‍රදේශවලින් පවා එනව කෑම කන්න. මෙකෙ කෑම තරුණයන් අතර ඉතා ජනප්‍රියයි.

ඉහත සේවකයන්ට අමතරව එම හෝටලය ඉදිරිපිට විවිධ ව්‍යාපාරවල නියැළෙන කිහිප දෙනෙක් ද අප සමග සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ අතර ඒ සියලු දෙනාම පැවසුවේ එම වඳ බෙහෙත් කථාව ප්‍රබන්ධයක් බවත් දේශප්‍රේමයේ නාමයෙන් දියත් වූ ව්‍යාපාරික කුමන්ත්‍රණයක් බවත් ය.

ගාල්ල සරෙන්තුකඩේ හන්දියේ වසා මුද්‍රාතැබූ බවට ප්‍රචාරයවූ රිස්ලාට් හෝටලයේ අයිතිකරු එම්. නුවයිසර් මහතා- මම රිස්ලාට් හෝටලය කළේ එම ස්ථානය කුලියට අරගෙන. බද්ද ඉවර වුණා. ඒ වගේම ඒ පැත්තට බිස්නස් නෑ. මම ඊට ඉස්සරහ පැත්තෙන් අලුතෙන් කඩයක් බදු අරගෙන බාෂා නමින් අලුත් හෝටලයක් පටන් ගත්තා. එහෙම නැතිව මගේ හෝටලයට සීල් තිබ්බේ නෑ.

ප්‍රචාරයෙන් වූ විනාශය

මේ අය බොරු ප්‍රචාරය කළ නිසා ඒ පරණ හෝටලයත් මුළු දවසෙම ඇරල තමයි තියෙන්නේ. එතකොට ඕන කෙනකුට බලාගන්න පුළුවන් නේ සීල් තියලද නැද්ද කියල.

මේ වැරදි ප්‍රචාරය නිසා පසුගිය දවසක කටිටියක් අපේ පරණ කඩේට පැට්‍රල් බෝම්බයක් ගැහුව. මම ඒ ගැන ගාල්ල පොලීසියට පසුගිය 13 වෙනිද පැමිණිලි කළා. පැමිණිලි අංකය CIB – 253/418. ඒ වගේම තවත් පැමිණිල්ලක් කළා. කඩේ සීල් තියල කියල දාපු ෆේස් බුක් පෝස්ට් එක සම්බන්ධයෙන් . එකෙ අංකය CIB – 231/ 120 යි. මම හිතනව පොලීසිය මේ සම්බන්ධයෙන් ඉක්මනින් කටයුතු කරාවි කියල.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ගාල්ල පොලීසියෙන් කළ විමසීමේදී දැන ගන්නට ලැබුණේ එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ බවත් දැනටමත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයට අවශ්‍ය දැනුම් දීම්කර ඇති බවත්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය බද්දේගම සමිත හිමි සදහන් කළේ එම ප්‍රචාරය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින්ම විමර්ශනයක් කළ බවත් එම ප්‍රචාරය හිතාමතාම ඊනියා ව්‍යාජ දේශප්‍රේමීන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් කළ සියුම් වෙළද කුමන්ත්‍රණයක් බවයි.

සටහන හා ඡායාරූප මහින්ද පී.ලියනගේ
ගාල්ල මධ්‍යම විශේෂ

--------------------------------------------------------------

වඳභාවය ඇති කරන බෙහෙත් කොහෙවත් නැහැ

කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇතිකරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා ඇත්තේ නැහැ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාරවලට රැවටීමෙන් වැළකිය යුතුයි.

ආහාරයට විවිධ දේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන්, ජෙල් වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇති කළ නොහැකිය. වඳභාවයට හේතුව කෙනෙකුගේ ජානමය තත්ත්වයයි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

උපත් පාලනය හා පවුල් සැලසුමත් වදභාවයට හේතුවන කාරණා නොවෙයි.

අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා. තමන්ට කැමැති ආකාරයට දරුවන් ලබාගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි. ඊට රජයේ අනුමැතියද තිබෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්, යුනිසෙෆ් සංවිධානයත් මේ සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යයක්ම ඒවා පිළිගෙන තිබෙනවා. ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් ති‍බෙනවා.

පවුල් සැලසුමකට යන්නේ අවශ්‍ය අයගේ අවශ්‍යතාව මත පමණයි. වඳභාවය හා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවක් නැහැ. ජනගහන වර්ධනය ගැන ජාතීවාදී පදනමින් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැලඳුම් අතර සබඳතාවක් නැහැ. ඒ වගේම වඳභාවය ඇතිකරන්න පුළුවන් කිසිදු බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.

 

දුමින්ද සම්පත්

නව අදහස දක්වන්න