පාසල් මහා ක්‍රීඩා උළෙලේ රගර් ශූරතාව ඉසිපතනයට | දිනමිණ

පාසල් මහා ක්‍රීඩා උළෙලේ රගර් ශූරතාව ඉසිපතනයට

 පාසල් මහා ක්‍රීඩා උළෙලේ රගර් ශූරතාව දිනාගැනීමට ඉසිපතන විදුහල් පිල සමත් විය. අවුරුදු 20න් පහළ බාලක තරග ඉසව්වක් ලෙස රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී විද්‍යා විද්‍යාලය ලකුණු 31-5කින් පරාජය කිරීමට ඉසිපතන විදුහලට හැකිවිය.

ඉසිපතන විදුහල් පිල ගෝල් 3ක් සහ දඬුවම් පහර 2ක් ලබාගත් අතර විද්‍යා විද්‍යාලයට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක් පමණි. තරගාවලියේ වීරයා සම්මානය ඉසිපතන විදුහලේ නදීෂ චාමින්දට හිමිවිය.

20න් පහළ බැඩ්මින්ටන් ශූරතාව ආනන්දයට

මේ අතර සමස්ත ලංකා පාසල් මහා ක්‍රීඩා උළෙලේ අවුරුදු 20න් පහළ බැඩ්මින්ටන් බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමත්විය. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ සහ ඩී.එස්.සේනානායක විදුහලේ පසුගියදා පැවැති අවසන් තරගවලදී අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ විශාකා විද්‍යලයීය කණ්ඩායම විසිනි.

අවුරුදු 17න් පහළ බාලක පිරිමි බැඩ්මින්ටන් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට හිමිවූ අතර එහි බාලිකා ශූරතාව හිමිවූයේ මියුසියස් විදුහලටය.

අවුරුදු 20න් පහළ බාලක බැඩ්මින්ටන් තරගාවලියේ දෙවැනි ස්ථානය නාලන්ද විදුහලටත්, තුන්වැනි ස්ථානය රාජකීය විදුහලටත් හිමිවිය. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල සහ මියුසියස් විදුහල අවුරුදු 20න් පහළ බාලිකා බැඩ්මින්ටන් තරගාවලියේ පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථාන දිනාගත්හ.

අවුරුදු 17න් පහළ බාලක බැඩ්මින්ටන් තරගාවලියේ දෙවැනි ස්ථානය රිච්මන්ඩ් විදුහලට හිමිවූ අතර තුන්වැනි ස්ථානය නාලන්දා විදුහලට හිමිවිය. එම වයස් කාණ්ඩයේ බාලිකා තරග ඉසව්වේ දෙවැනි ස්ථානය විශාඛා විදුහල දිනාගත් අතර අනුලා විදුහලට තුන්වැනි තැන හිමිවිය. තරගාවලියේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස රන්තුෂ්ක සසිඳු (නාලන්දා) සහ හෂිණි අම්බලන්ගොඩ (විශාකා) තේරී පත්වූහ. 

නව අදහස දක්වන්න