මම සම්මතයෙන් මිදුණ නිර්මාණකරුවෙක් | දිනමිණ

මම සම්මතයෙන් මිදුණ නිර්මාණකරුවෙක්

චාමර පීරිස්

මා හිතවත් සහෘද මාධ්‍යවේදියා, ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයාගේ කලා ජීවිතයේ තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන ඒමේ අදහසින් ඔහු සමඟ දොඩමළු වීමි. චාමර පීරිස් නම් වූ කෘතහස්ත නිර්මාණ ශිල්පියාගේ ටෙලි අධ්‍යක්ෂණ ආගමනය සිදු වූ ආකාරයත් නිර්මාණශීලී යැයි මට සිතුනි. ඒ නිසා ඔහු අතීතයට රැගෙන යාමට මා වෑයම් කළෙමි. සුපුරුදු සරල බවින් යුතුව ඔහු මෙසේ අතීතාවර්ජනයේ යෙදුනි. මම උපාධිය කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ. එහිදී මගේ ‘උපාධිය’ සම්පූර්ණ කරන්න ව්‍යාපෘතියක් විදියට කළේ අනුරාධපුර නගර නිර්මාණයට පිටසක්වළ ජීවීන්ගේ දායකත්වය ලැබුණද කියන මාතෘකාව. ඒකට කරුණු සොයද්දි විශාල ප්‍රමාණයක් ලැබුණ. ඒ නිසා මගේ ව්‍යාපෘතිය ඉතා සාර්ථක වුණා. ඊට පස්සෙ මට හිතුනා මේ කරුණු ටික ටෙලි නාට්‍යයක් වශයෙන් ජනතාව අතරට පත් කළා නම් හොඳයි කියලා.

ඒ නිසා මමම ඒක පිටපතක් විදියට සකස් කළා. ඊළඟට අපේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හමු වෙලා ඔහුට මගේ යෝජනාව කළා. ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ මම ඇහුවා මම මේක නිර්මාණය කරන්නම් මට උදව් කරනවද කියලා. එතකොට කියනවා පිස්සුද මල්ලි උඹ මේ ෆීල්ඩ් එකට එන්න හිතන්නවත් එපා. උඹල කරන පත්තර රස්සාව වගේ නෙවෙයි මේක කියලා. අන්න ඒ එපා කිව්ව එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම ‘අයාල්’ ටෙලි නාට්‍ය හැදුවේ’

චාමරගෙ කතාව හරි අපූරුයි! අපේ ඇතැම් බලාපොරොත්තු සුන් වුණාම අපි පසු බැසීමකට ලක් වෙනවා.නැත්නම් සියල්ල අහිමි වෙනවා. නමුත් ඔහුගෙ සුන් වූ බලාපොරොත්තු තුළින්ම ඔහු සියල්ල ලබා ගත් පුද්ගලයෙක් වුණා. එතනින් එහාට චාමරගෙ කලා ජීවිතය ගලා ගිය ආකාරය අපි ඔහුගේ වචනවලින්ම අහල බලමු. ‘අයාල්’ ටෙලි නාට්‍ය ඉතා ජනප්‍රිය වුණා. 2011 පැවැති රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී අයාල් වෙනුවෙන් මට හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලැබුණා.

ඊට අමතරව ‘සුමති ටෙලි සම්මාන’ උළෙලේදී පළමු ටෙලි නිර්මාණය වෙනුවෙන් විශිෂ්ට සම්මාන ලැබුණ. ඊට අමතරව මේ සම්මාන උළෙල දෙකෙන්ම අයාල් ටෙලි නාට්‍යයට සම්මාන 18ක් විතර ලැබුණ. එදා සම්මානය අතේ තියාගෙන ඉන්න අවස්ථාවෙ ස්වර්ණවාහිනී නාලිකාවෙ එදිරිසිංහ මහතා මම ළඟට ඇවිත් කිව්වා අපිටත් ටෙලි නාට්‍යයක් කරන්න කියල.

ඒ අනුව තමයි ‘පියවි’ ටෙලි නාට්‍ය නිර්මාණය වුණේ. ‘පියවි’ නාට්‍යය ඉතාම සාර්ථක වුණා. ඒ සඳහාත් හොඳම අධ්‍යක්ෂකට හිමි තෙවන අදියරේ සම්මානය ලැබුණා. එහි පළමු එක ලැබුනෙ ක්‍රිෂ්ටි අයියට. දෙවෙනි එක ලැබුණෙ ආනන්ද අබේනායකට. තුන්වෙනි එක මට ලැබුණා. පියවි ටෙලි නාට්‍යයටත් හොඳම නැගී එන නළුවා ඇතුළු තවත් සම්මාන කීපයක්ම ලැබුණා. ඒත් එක්කම ස්වර්ණවාහිනියෙ ‘යාය හතර’ ටෙලි වෘතාන්තය කරන්න අවස්ථාව ලැබුණ. ඊට පස්සෙ මම පොඩි විරාමයක් ගත්තා යැයි චාමර සිනාසෙමින් පවසන්නට වුණා,

ඔහු කෙටි විරාමයක් ගන්න උත්සාහ කළද ඔහුට ඒ සඳහා අවස්ථාව උදාවුණේ නැහැ. ඔහුගේ නිර්මාණ ඉල්ලා විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ලැබුණ ඉල්ලීම්වලට අනුව ලංකාවේ වෘත්තිකයන් වෙනුවෙන් නිර්මාණයක් කිරීමට ඔහුට සිත් පහළ වූ නිසාම වැඩිම වාර ගණනක් ගුවන්ගත වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ‘A ත්‍රී 30’ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය මූලික කරගෙන ‘A ත්‍රී 30’ නමින් ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ඒ පිළිබඳ චාමර පැවසුවේ මේ ආකාරයටයි.

‘ජාත්‍යන්තරයේ බිහි වෙනවා විවිධ වෘත්තිකයන්ගෙ වෘත්තීන් ප්‍රධානකොට නිර්මාණ. ‘ඩොක්ට හවුස්’ රහස් පරීක්ෂක කතා, නැව් හා කාර්ය මණ්ඩලය මුල් කර‍ගෙන අභ්‍යාවකාශ ගැන මුල්කරගෙන තැනෙන වෘතාන්ත ඉතා ජනප්‍රිය වෙනවා. ඒවා ලංකාව තුළත් පෙන්වන අවස්ථා තිබෙනවා. ඉතිං මමත් එවැනි නිර්මාණයක් කළා. ඒක තමයි ‘A ත්‍රී 30’ කියන ටෙලි නාට්‍ය ගුවන් යානයක් හා කාර්ය මණ්ඩලය වටා ගෙතුන කතාවක් තමයි එහි තිබුණෙ.

ඒත් ඒ නිර්මාණය ප්‍රදර්ශනය කරන්න ලැබුනෙ නැහැ. ගුවන් සමාගමේ අය බය වෙලා මේ නිර්මාණය විකාශය කිරීම තහනම් කළා. ඒක තමයි ලංකාවේ තහනම් වුණ දෙවැනි ටෙලි නාට්‍ය.

චාමර එසේ ප්‍රකාශ කරද්දී මට හිතුනේ අපේ රටේ දක්ෂ නිර්මාණකරුවන්ට තම නිර්මාණ ජාත්‍යන්තර තලයට රැගෙන යාමට කොතෙක් බාධා තිබේදැයි කියාය. එදා ‘A ත්‍රී 30’ ප්‍රදර්ශනයට ඉඩ දුන්නානම් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට උසස් තත්ත්වයේ නිර්මාණයක රසය විඳ ගන්නට ඉඩ ලැබෙනු නොඅනුමානයි. ඒ සිදුවීමත් සමග චාමර ඔහුගේ නිර්මාණකරණය එතනින් ඉදිරියට ගෙන ගිය ආකාරය විස්තර කළේ මෙහෙමයි.

‘A ත්‍රී 30’ තහනම් කළා කියල මම පසුබට වුණේ නැහැ. ඒත් එක්කම මට දෙරණ රූපවාහිනි නාලිකාවේ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනාවකට අනුව තමයි ‘ඇසිඩ්’ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ. එය කොටස් එකසිය ගණනක් විකාශය වුණා. මහා පරිමාණ වකුගඩු ජාවාරමක් පසුපස හඹා යන පොලිස් නිලධාරීන් පිරිසක් වටා තමයි ‘ඇසිඩ්’ නිර්මාණය වුණේ. ඒකත් ඉතාම ජනප්‍රිය වුණා.

ඊට පස්සෙ කැපිටල් මහරාජා ආයතනයෙන් මට ආරාධනයක් ලැබුණ ඔවුන්ගේ අලුත්ම නාලිකාවේ (TVI) දේශපාලනයට සම්බන්ධ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට ඒ අනුව ‘VVIP’ නාට්‍ය නිර්මාණය කළා. ඊට පස්සෙ කැපිටල් මහරාජා ආයතනයේ ‘ස්ටයින් ස්ටූඩියෝ’ එකේ වැඩසටහන් අධ්‍යක්ෂ වශයෙන් වසරක පමණ කාලයක් කටයුතු කළා. ඊට අමතරව ‘TV1’එකෙත් වැඩ කළා. ඒ තත්ත්වය මට ඔරොත්තු දුන්නෙ නැහැ.

මොකද මම නිදහසේ නිර්මාණ කටයුතු කළ කෙනෙක්. එක තැනක හිරවෙලා ටයි දාගෙන නිතරම බෝඩ් මීටින්. මේ ක්‍රමය මගේ ක්‍රමය නෙමෙයි කියල මට වැටහුනා. ඒ නිසා මම එතනින් ඉවත් වුණා’ එහෙම කියල චාමර මද වේලාවක් නිහඬ වුණා. ඒ අවස්ථාවෙදි මට හිතුනා ඔහු කළ ක්‍රියාව නිවැරදියි කියා. මොකද සැබෑ කලාකරුවෙක් එක් කාර්යයකට හිර කර තැබීම මහා අපරාධයක් කියල මටත් හිතුණා. කොහොම වුණත් දැන් චාමර එතැනින් නිදහස් වුණානෙ. බලමු ඊළඟට මොකද වුණේ කියල. මම යළිත් චාමරගෙ හඬට සවන් යොමු කළා.

‘එතනින් අයින් වුණාට පස්සෙ ‘හිරු’ රූපවාහිනිය ආරාධනාවක් කළා ඒ අයටත් නිර්මාණයක් කරන්න කියලා. ඒ අනුව මම හිරු රූපවාහිනියට ‘බටහිර අහස’ ටෙලි වෘතාන්තය නිර්මාණය කළා. මේ දිනවල එය රූගත කිරීම් කරමින් පවතිනවා. කසාද බැඳල කැන්දන් නොගිය තරුණියක් ඉන්නවා. ඒත් මේ තරුණිය තමන්ගෙ විවාහ පුරුෂයා සමග එකට වාසය කරන්නෙ නැහැ. ඔවුන්ට අපල තිබෙනවා කියන විශ්වාසය නිසා වෙන් වෙලා ඉන්නවා. ඒ අතරතුර තරුණියට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන්න අවස්ථාව ලැබෙනවා.

එහිදී බටහිරි පන්නයට හැඩ ගැසුන තරුණයකු ඇයට මුණ ගැසෙනවා.නුවර ගැමි සංස්කෘතියට හැදුන වැඩුන තරුණිය කොළඹ සංකර තරුණයා සමඟ ක්‍රියාකරන ආකාරය තමයි ‘බටහිර අහස’ කතාවේ කියැවෙන්නේ.”

චාමර පීරිස් මෙතෙක් නිර්මාණය කළ වෘතාන්ත දෙස හැරී බලනවිට ‘බටහිර අහසත් මහා පෙරළියක් කරාවි යැයි සිතේ. ගැමිකමට හැදී වැඩුන තරුණිය නගරයේ සංකර තරුණයා සමග සිදු කරන ගනුදෙනුව මොන වගේද? විවාහ වූ තවමත් තරුණියක්ව සිටින ඇයට කුමන ඉරණමක් අත්වේවිද? සංස්කෘතීන් දෙකක හිඳින ඔවුන්ට අත්විඳීමට සිදුවන දේ මොන වගේද? තරුණියගෙ විවාහ දිවියට කුමක් වේවිද යන්න ‘බටහිර අහස’ ටෙලි නාට්‍ය නරඹාම දැන ගැනීමට සිදු වේවි. සාරංග දිසාසේකර හා ශලනි ජයවර්ධන, රංග ජීවන්ත ප්‍රධාන චරිත පණපොවන ‘බටහිර අහස’ ටෙලි නාට්‍යයේ ජනක කුඹුකගේ, මනෝහරී විමලතුංග, මොරින් චාරුනි, මැණික් විජේවර්ධන (ඇගේ ප්‍රථම ටෙලි රංගනය) ෂෙහානි කහඳවල, සුලක්ඛනා හේරත් (ප්‍රථම රංගනය) බුද්ධික සේමසිංහ (ප්‍රථම රංගනය) සුදර්ශන බණ්ඩාර, අංජන ප්‍රේමරත්න, අසේල සපුආරච්චි ඇතුළු ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන ‘බටහිර අහස’ කලා අධ්‍යක්ෂණය කෝසලගෙනි. කැමරා අධ්‍යක්ෂණය රුවන් කුමානායක, සංගීතය විශ්ව සංකල්ප, පිටපත බුද්ධික සේමසිංහ, ගීත රචනය තුෂනි දුණුමුල්ල, සංස්කරණය ජගත් බේරතුංග, ගායනය ලක්මිනි උඩවත්ත, නිෂ්පාදනය picx and wordsආයතනය සිදු කරයි.

ඊට අමතරව ඩයලොග් ආයතනය මගින් පවත්වාගෙන යන ඩයලොග් ටී.වී සඳහා ‘ත්‍රිමාණ’ නමින් ටෙලි නාට්‍යයක් ද චාමර පීරිස්ගේ නිර්මාණයක් ලෙසින් සිදු කර ඇති අතර ළඟදීම එය ද විකාශය වීමට නියමිතය. ඔහු සමඟ පවත්වන සුහද පිළිසඳරට සමුදීමට අවස්ථාව එළඹ ඇති නිසා මම ඔහුගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ප්‍රශ්නයක් මතු කළෙමි.

‘මගේ අනාගත බලාපොරොත්තුව ජාත්‍යන්තර චිත්‍රපටයක් නිර්මාණය කිරීම’ යැයි ඔහු ඉතා නිහතමානීව පිළිතුරු දුන්නේය. ඔහුට එය නිසැකවම සිදු කළ හැකිය. මක්නිසාදයත් චාමර පීරිස් අධිෂ්ඨාන පූර්වක තරුණයකු බැවිනි.

සටහන
නිශාන් මෙන්ඩිස්

අදහස් 2ක් ඇත

Wish we could get him and his wife who equally talented to do more creative films and teledrama for srilanka. They both can write songs scripts and film script and make films and teledrama . And very nice stories of entertainment too .

Wish we could get him and his wife who is equally talented to do more creative films and teledrama for srilanka. They both can write songs scripts and film script and make films and teledrama . And very nice stories of entertainment too .

නව අදහස දක්වන්න