රිටිගල රක්ෂිතයේ භාවනා මධ්‍යස්ථානයක් මුවාවෙන් සංචාරක හෝටල් සංකීර්ණයක් | දිනමිණ

රිටිගල රක්ෂිතයේ භාවනා මධ්‍යස්ථානයක් මුවාවෙන් සංචාරක හෝටල් සංකීර්ණයක්

අනුරාධපුර මධ්‍යම විශේෂ

ස්වභාවික රක්ෂිතයක් වන රිටිගල කන්දට යාබදව පිහිටා ඇති ලබුනනෝරුව කන්ද රිටිගල තරම්ම පාරිසරික වශයෙන් වැදගත්වූ කන්දකි. පාරිසරික නීති රීති හා අණ පනත් පමණක් නොව වගකිව යුතු නිලධාරීන්ගේ නියෝග පවා නොතකමින් සිදුකරනු ලබන ඉදිකිරීම් ගැන වගකිව යුත්තන්ගේ අවධානය ප්‍රමාණවත් පරිදි යොමු නොවීම නිසා මනරම්වූ ලැබුනෝරුව කන්ද කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත්වෙන බව ප්‍රදේශවාසීහු කියති.

භාවනානුයෝගී භික්ෂුන් වහන්සේට භාවනා කුටි ඉදිකරන මුවාවෙන් ලබුනෝරුව කන්ද විනාශ කරමින් නවීන අයුරින් ඉදිකෙරෙන ගොඩනැගිලි කිසිසේත් භාවනානුයෝගීව වැඩ වසන භික්ෂුන් වහන්සේට නොවන බව ඉදුරාම පැහැදිලි බව ඔවුන් පෙන්වා දේ.

කදුවැටියේ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භවී ඇත්තේ 2000 වසරට පෙර වන අතර 2001 වර්ෂයේදී එහි හිමිකාර නායක ස්වාමීන්වහන්සේ නමක් විසින් මෙම ආරණ්‍යයේ ඉදිරි පැවැත්ම සදහා ඉඩම් බල පත්‍රයක් ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

බලධාරීන්ගේ නිර්දේශ මත ගොඩනැගිලි පවතින ප්‍රදේශය සදහා පමණක් අවසර පත්‍රයක් ලබාදීමට අදාළ අංශ කටයුතු කර තිබේ. පසුව ආරණ්‍ය සේනාසන සංවර්ධන සමිතිය නමින් සංවිධානයක් දිස්ත්‍රික් ඉඩම් කමිටුවේ නිර්දේශය ලබා ගැනීමට ඉල්ලීම් කර තිබේ. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු නිර්දේශය මත 2003 වසරේදී ඒ සදහා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටු බලපත්‍රයක් පමණක් ලබා දීමට නිර්දේශකර ඇති අතර එම නිර්දේශ මත සේවා කොන්දේසි යටතේ ඉදිකිරීම් සිදුකර ඇති ප්‍රදේශයේ අක්කර දෙකක ප්‍රමාණයක් තුළ පමණක් කුටි 15 ක් සදාගැනීම සදහා අවසර ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එහෙත් 2017 වසර වන බලපත්‍ර ලබාදීමේදී සියලු අණපනත් උල්ලංඝනය කරමින් අක්කර දෙක ප්‍රමාණය ඉක්මවා ස්තිර ඉදිකිරීම් කර ඇතිබව ගම්වැසියෝ පවසති. නිලධාරීන් ද ඒ බව අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධිව ස්වභාවික දිය පහරවල් හරස් කරමින් අනවසර ඉදිකිරීම් සිදුකරන බව පවසා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිල්ලක් කළ ප්‍රදේශවාසීහු කියති. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරයා කැකිරාව අඩවි වන නිලධාරී සමඟ ඒ ස්ථානයට ගිය විට මේ සත්‍ය අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. අනවසර ඉදිකිරීම් දුටු ඔවුහු නිත්‍යානුකුලව අවසරයක් ලබාගන්නා තුරු දැනට කරන ඉදිකිරීම් නවතා දැමීමටත් නව ඉදිකිරීම් ආරම්භ නොකිරීමටත් ආරණ්‍යවාසී නායක ස්වාමි වහන්සේට දැනුම් දී තිබේ. එහෙත් එම නීති නියෝග නොසලකා මොවුහු දිගටම අනවසර ඉදිකිරීම් සිදුකරයි.

අල්පේච්ච  භික්ෂුවකට නොව අධි සුඛෝපභෝගී ජීවිත සඳහා කුටි ඉදිවන බව පැහැදිලිව තිබේ. අලංකාරව වටිනා දැව යොදා දොර ජනෙල් සවිකර මාබල් අල්ලා ඇති අතර ඒවා සංචාරක කබානා ලෙස ඉදිකර ඇත.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝග නොතකා ඉදිකිරීම් සිදුවෙමින් පවතින මෙහි දැනට කුටි 13කි. අනවසර සියලු ඉදිකිරීම් 48කට අධිකව වේ.

නව අදහස දක්වන්න