රුපියල් මිලියන 65ක වියදමින් මට්ටක්කුලිය, ලංකා ධීවර සංස්ථා පරිශ්‍රයේ ඉදි කෙරෙන මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලාවේ නව ශීතාගාරය පෙරේදා (09) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
මීට අමතරව මසුන් පැකට් කිරීම හා ඒවා පුද්ගලික වෙළෙඳසැල් වෙත බෙදා හැරීමේ කටයුතු ද පෙරේදා (09) ඇමැතිවරයාගේප්රධානත්වයෙන් ආරම්භ විණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම වැඩ පිළිවෙලට සමගාමීව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.
මෙහි දී අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසුවේ රජයේ දේපළ විදේශවලට විකිණීමේ වැඩ පිළිවෙලට වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තිත තබා අවසන් බවයි.
අපේ රටේ දේපළ, ඉඩකඩම් විදේශ බහුජාතික සමාගම්වලට විකුණනවා යැයි ඇතැමුන් කියන්නේ පට්ටපල් බොරු. මේ රටේ දේපොළ විදේශ බහුජාතික සමාගම්වලට විකිණු අවසන් ව්‍යාපෘතිය වන්නේ ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියයි. එය පසුගිය රජය සමයේ සිදුවූවක්. මෙම ව්‍යාපෘතියත් බදු පදනම යටතට ගන්න අපි උත්සාහ කළා. ඒත් ඒක සමහරු විකුණලා අවසන්. නැවත කිසිදු විදේශ රටකට අපේ රටේ දේපොළ විකුණන්න අපි ඉඩ තබන්නේ නැහැ
ජනාධිපති මෛත්රිවපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්රාම වැඩ පිළිවෙල යටතේයි අද මෙම ශීතාගාරය විවෘත වන්නේ. අපි අද(10) ත්‍රිකුණාමලය කල්ලරාව ප්‍රදේශයේ දී තවත් වැඩ සටහන් හා ව්‍යාපෘති රැසක් ආරම්භ කරනවා.
පසුගිය කාලය තුළ අපි ලත් ජයග්‍රහණ රැසක් තිබෙනවා. ඉන් ප්‍රධාන එකක්වන්නේ යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමට හැකි වීම. එහි ප්‍රතිපලයක් වශයෙන් අපේ රටේ මත්ස්‍ය අපනයන ආදායම මෙම වසරේ දී සියයට 44කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ වගේම GSP+ තහනම ඉවත් කර ගැනීමට හැකිවීමත් නිසා එහි වාසිය ධීවර ප්‍රජාවට ලැබී තිබෙනවා. රට වටේම මුහුද තිබුනත් අපේ රටට තවමත් මසුන් හා මත්ස්‍ය ආශ්රිත නිෂ්පාදන වාර්ෂිකව මෙට්ට්‍රික් ටොන් 1,20,000ක් පමණ ආනයනය කරනවා. අපේ ඉළක්කය තමයි මසුන් ආනයනය කිරීම අවම කිරීම.
මසුන් ආනයනය කරන්නේ පාරිභෝජනය සඳහාම පමණක් නොවේ. ප්‍රතිඅපනයනය සඳහා ද අපේ රටට මසුන් ගෙන්වනවා. අපේ ධීවර සංස්ථාව පසුගිය කාලයේ පැවැතියේ පාඩු ලබන තත්ත්වයක්. සමහරු කිව්වා මේ සංස්ථාව වසා දමන්නට කියළා. තවත් සමහරු කිව්වා විකුණා දමන්නට කියළා. නමුත් අපි ඉතාමත් හොඳ කළමනාකරණයක් යටතේ දැන් ධීවර සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ සඳහා මේ ආයතනයේ සේවක මණ්ඩලවලිනුත් ඉහළ කැපකිරිමක් සිදු කර තිබෙනවා. රටක ආයතන දියුණු වෙන්නේ ඒවායේ සංවර්ධනය සඳහා කැප වෙන නිලධාරින් නිසයි. නැතිව කඩාකප්පල්කරුවන් නිසා නොවෙයි.
අපේ රජය යටතේ කිසි දිනෙක රජයේ දේපළ විකුණන්නේ නැහැ. චීනයට විකුණා තිබු වරාය නගර ව්‍යාපෘතිය බදු පදනමකට හරවා ගැනීමට අපිට හැකි වුනා. ඒ වගේම තමයි හම්බන්තොට වරායවත්, මත්තල ගුවන් තොටුපොළ වත් විදේශ රටවලට විකුණන්නේ නැහැ. ඒවා යහපත් කළමනාකරණයක් යටතේ ආදායම් ඉපයීම පිණිස බදු දෙනවා. එසේ නැතිව මේ දේපළ විකුණා දමනවා යැයි ඇතමුන් කියන ඒවා පට්ටපල් බොරු යැයි ද ඇමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතා ද සහභාගි විය.
නව අදහස දක්වන්න