කුෂාන්-ඉෂාන් රැලික්‍රොස් ජයගනිති | දිනමිණ

කුෂාන්-ඉෂාන් රැලික්‍රොස් ජයගනිති

 යතුරුපැදි ශූරතා තරග ඉසව් ද්විත්වයම ජයගෙන දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක සීගිරිය රැලික්‍රොස් යතුරුපැදි කිරුළ හිමිකරගත් අතර කුෂාන් පීරිස් ශූරතා මෝටර් රථ පළමු තරගයෙන් දෙවැන්නා වෙමින් දෙවැනි තරගයෙන් ප්‍රථමයා වෙමින් දක්ෂතම මෝටර් රථ රියදුරුට හිමි කිරුළ ප්‍රථම වරට හිමිකරගත්තේය.

සියැට් - ස්ලඩා ශූරතා තරගාවලියේ අවසන් බොරළු සහිත දුෂ්කර මාර්ග (Gravel) ධාවන තරගාවලිය ලෙස මෙය පසුගියදා සීගිරිය, කිඹිස්ස ගුවන් හමුදා ධාවන පථයේදී නිමාවට විය. එහිදී ‘එම්.එක්ස්.’ කාණ්ඩයේ 175-250 සී.සී. (4ටී.)/100-125 සී.සී. (2ටී.) ශූරතා යතුරුපැදි තරග ඉසව් ද්විත්වයම ජයගැනීමට ඉෂාන් දසනායක සමත් වූ අතර එස්.එල්. /ජී.ටී. 3500 සී.සී. ශූරතා පළමු තරගයෙන් දෙවැන්නාද, දෙවැනි තරගයෙන් ප්‍රථමයාද වීමට කුෂාන් පීරිස්ට හැකි විය.

සියැට් කැලණි ටයර් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (ස්ලඩා) සංවිධාන කරන සියැට්-ස්ලඩා 2017 ශූරතා තරගමාලාවේ සිවුවැනි අදියර ලෙස පැවැති මේ තරගාවාලියට මෝටර් රථ තරග ඉසව් 9ක් හා යතුරුපැදි තරග ඉසව් 11 ක් ඇතුළත් විය.

සියැට් - ස්ලඩා ශූරතා තරග මාලා ඉතිහාසයේ ශූරතා මෝටර් රථ තරග ඉසව් වලින් ජයගෙන සියැට් - ස්ලඩා මෝටර් රථ කිරුළ හිමිකරගත් මෙරට මෝටර් රථ ධාවන පථය තුළ කැපීපෙනෙ ධාවකයන් සියළු දෙනාම එකම ධාවන තරග ඉසව්වක එකට තරග කළ දුර්ලභ අවස්ථාවක් මෙවර සීගිරිය රැලික්‍රොස් තරගාවලියේදී දැක ගත හැකි විය.

අරවින්ද ප්‍රේමදාස, ජනක ඩයස්, පසිඳු පීරිස්, අශාන් සිල්වා හා උෂාන් පෙරේරා, කරට කර තරග කරමින් සීගිරිය ධාවන පථයේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

මේ අතරින් නවක ක්‍රීඩකයකු වන කුෂාන් ඉදිරියෙන් සිටි අතර අශාන්, පසිඳු, ජනක හා අරවින්ද සෙසු තරගකරුවන් ලෙස පෙළ ගැසිණි. පළමු එස්.එල්. /ජී.ටී. 3500 සී.සී. ශූරතා තරගයේදී අශාන් සිල්වා, කුෂාන් අබිබවා යමින් පළමු වටයේ අවසන් හැරවුමේදී පෙරමුණට පිවිසියේය. එතැන් සිට වට අටකින් සමන්විත තරගය අවසන් වන තෙක්ම පෙරමුණේ පසුවූ අශාන් සිල්වා තරගය අවසන් කළේ ප්‍රථමයා ලෙසිනි. දෙවැනි ස්ථානය වෙනුවෙන් සටන් කළ අරවින්ද, පසිඳු හා කුෂාන් එකිනෙකා පරයමින් තරග කළහ. එහෙත් නවකයකු ලෙස තම මෝටර් රථය මනාලෙස හසුරුවමින් දෙවැන්නා ලෙස තරගය නිමා කිරීමට කුෂාන් සමත් විය. ප්‍රවීණ ධාවක අරවින්ද ප්‍රේමදාස තෙවැන්නා වූ අතර පසිඳු පීරිස් සිවුවැන්නා විය. පසුගිය වසරේ සියැට් - ස්ලඩා මෝටර් රථ කිරුළ හිමිකරගත් උෂාන් පෙරේරාට හිමිවූයේ පස්වැනි ස්ථානයයි. ජනක ඩයස් හයවැන්නා ලෙස තරගය නිමා කළේය.

එස්.එල්. /ජී.ටී. 3500 සී.සී. ශූරතා දෙවැනි තරගය ආරම්භ වූයේ පළමු තරගයේ ජයග්‍රාහී ස්ථාන පෙළගැස්ම අනුවයි. එහි පළමු හැරවුමේදීම මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටීමේන් තරග ආරම්භක ස්ථානයන් වෙනස් වූ අතර කුෂාන් පීරිස් පළමු තැනට පත්විය. ජනක, පසිඳු හා අරවින්ද පසුපසින් පැමිණියහ. ආරම්භයේදී පෙරමුණේ පසුවූ අශාන්ට නැවත ධාවන පථයට පිවිසීමට සිදුවුයේ අවසන් තරගකරුත් ඔහු පසුකර ගිය පසුවය. අවස්ථානුකූලව පෙරමුණට පැමිණි කුෂාන් තරගය අවසන් වන තුරුම පෙරමුණේ පසුවෙමින් ජය වාර්තා කළේ අනාගත අභියෝගය තමා යැයි පසක් කරමිනි.

අවසන් තරගකරු ලෙස නැවතත් ධාවන පථයට පිවිසි අශාන් සිල්වා සෑම වටයකදීම එක් එක් තරගකරුවන් අබිබවා යමින් පෙරමුණට‍ පැමිණ දෙවැන්නා ලෙස තරගය නිමා කළේය. පසිඳු, ජනක හා උෂාන් තෙවැනි, සිවුවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගත්හ. තෙවැන්නා ලෙස ධාවන පථයේ වට හතරක් තරග කළ අරවින්ද ප්‍රේමදාස මෝටර් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවන පථයෙන් ඉවත් විය.

පළමු තරගයෙන් දෙවැන්නා වෙමින් දෙවැනි තරගයේ පළමු වැන්නා වූ කුෂාන් හා පළමු තරගයෙන් පළමු වැන්නා වෙමින් දෙවැනි තරගයෙන් දෙවැන්නා වූ අශාන් අතර ප්‍රසාද ලකුණු සම වූවත් තරග නිතිරීති අනුව දෙවැනි තරගයෙන් ජයගත් තර‍ගකරුට සීගිරිය මෝටර් රථ කිරුළ හිමිවිය.

එහෙත් සමස්ත සියැට් - ස්ලඩා 2017 ශූරතා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අශාන් සමත්ව සිටී.

දිනයේ දෙවැනි වේගවත්ම මෝටර් රථ තරග ඉසව්ව වූ එස්.එල්./එච්. 1618 සී.සී. තරග ඉසව්වෙන් ජයගැනීමට ද කුෂාන් පීරිස් සමත් විය. සකීර් වහාබ් දෙවැන්නා වූ අතර උපුල්වන් සේරසිංහ තෙවැන්නා විය.

මෝටර් රථ තරග කාණ්ඩයේ තියුණුම තරගයක් දැක ගත හැකි වූයේ දිනයේ වැඩිම තරගකරුවන් එක් වූ 1300සී.සී. හා 1500 සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා ඉසව් දෙකෙනි. එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්ව නියෝජනය කරමින් තරගකරුවන් 12ක් එක්ව සිටි අතර එස්.එල්./එන්. 1500 සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්ව නියෝජනය කරමින් තරගකරුවන් 15 දෙනෙකු තරග කළහ.

ප්‍රවීණ මෝටර් රථ රියදුරු උපුල්‍වන් අබිබවායමින් කුෂාන් පීරිස් එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා ඉසව්වෙන් ද ජයගැනීමට සමත් විය. එස්.එල්./එන්. 1500 සී.සී. ෆෝඩ් ලේසර් මැස්ඩා තරග ඉසව්ව උපුල්වන් සේරසිංහ ජයගත් අතර දෙවියන් සේරසිංහ එස්.එල්./ඊ. 1000 සී.සී. නිසාන් මාච් ඉසව්වද, එස්.එල්. /එච් 2200 සී.සී. සුභාරු ලෙගසී තරගයෙන් මිලින්ද ගුණසේකර ද ජය ගත්හ.

නවීකරණය කළ එස්.එල්. /ඒ. 1050 සී.සී. ඉසව්වෙන් දුමින්ද අමරසිංහ ජයගත් අතර විවෘත ට්‍රක් හා ජීප් රථ තරගයෙන් ඉෂාක් වහාබ් ජයගත්තේය.

ඉෂාන් දසනායක ජයගත් ‘එම්.එක්ස්.’ කාණ්ඩයේ 175-250 සී.සී. (4ටී.)/100-125 සී.සී. (2ටී.) යතුරු පැදි ශූරතා පළමු තරග ඉසව්වේදී ඉෂාන්ට ගයාන්ගෙන් අභියෝගයක් එල්ල වූ අතර දෙවැනි තරගයෙන් ඉෂාන්ට, ඉවෝන්ගෙන් අභියෝගයක් එල්ල විය.

ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයේදී සිදුවූ අනතුර හේතුවෙන් තරගාවලි ගණනාවක් මඟ හැර නැවත ධාවන පථයට පිවිසි ඉෂාන් අබිබවා යැමට ගයාන්ටත්, ඉවෝන්ටත් නොහැකි විය. ඉෂාන් දසනායක තරග දෙකම ජයගත් අතර පළමු තරගයෙන් ගයාන් සඳරුවන් දෙවැන්නාද, දෙවැනි තරගයෙන් ඉවෝන් බියාජී ගුරුසිංහ දෙවැන්නාද වුහ.

සීගිරිය තරගාවලියේ ජයග්‍රහණයත් සමග සියැට් - ස්ලඩා 2017 ශූරතාවලියේ යතුරුපැදි කාණ්ඩයේ සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ජාක් ගුණවර්ධන පසුකර යැමට ඉෂාන් දසනායක සමත් විය. පසුගිය වසරේදී දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සියැට් - ස්ලඩා කුසලානය හිමිකරගත්තේ ද ඉෂාන් දසනායකයි.

‘එම්.එක්ස්.’ රේසිං කාණ්ඩයේ 100-125 සී.සී. ඉසව්වේ විවෘත තරගයෙන්ද ඉෂාන් දසනායක ජයගත් අතර එම කාණ්ඩයේම සන්නද්ධ සේවා තරගයෙන් බුද්ධික කසුන් සිල්වා ජයගත්තේය. ‘ජේ.’ කාණ්ඩයේ එම්.එක්ස්. මෝටර්ක්‍රොස් 65 සී.සී.(2ටී.) 13 න් පහළ තරගයෙන් කේසර ගොඩගේ ජයගත් අතර එම කාණ්ඩයේම 65 - 85 සී.සී.(2ටී.) 16 න් පහළ තරගයෙන් විනුෂ්ක සිල්වාද, ‘ජේ’ කාණ්ඩයේම 50 සී.සී. අවුරුදු 7 -10 අතර වයස් කාණ්ඩායේ තරගයෙන් මිනුක රත්නායකද ජය ගත්හ.

‘එස්.එම්.’ කාණ්ඩයේ 250-750 සී.සී.(4ටී.) හා 125-500 සී.සී. (2ටී.) සුපර් මෝටාඩ් ඉසව් ද්විත්වයම ඉමල් මංචනායක ජයගත් අතර ඉවෝන් බියාජී ගුරුසිංහ ‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175-250 සී.සී. (4ටී.) 100-125 සී.සී.(4ටී.) තරග ඉසව් ද්විත්වය ජයගත්තේය.

මේ වසර පුරාවටම පැවැති සැම තරගාවලියකදීම ජයග්‍රාහී කුසලාන තුනක් හෝ හතරක් හිමිකර ගත් එකම ක්‍රීඩකයා වීමේ ගෞරවය දිනා ගැනීමට ද ඉවෝන් සමත්ව සිටී. දිනයේ වැඩිම යතුරුපැදි තරගකරුවන් සහභාගි වූ ‘එම්.’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 125 සී.සී.(2ටී.) තරගයෙන් නිහාල් විජේරත්න ජයගත්තේය.

මෝටර් රථ කණ්ඩායම් ශූරතාව අශාන් සිල්වා හා මිස්සක නවීන් නියෝජනය කළ ‘මැන්ගී’ කණ්ඩායම විසින් දිනාගත් අතර යතුරුපැදි කණ්ඩායම් ශූරතාව ඉවෝන් බියාජී ගුරුසිංහ හා ළහිරු ජීවන්ත නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම විසින් දිනාගත්තේය.

සියැට් - ස්ලඩා තරගාවලියේ අවසන් අදියර මේ මස 14 වැනි දා කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වෙන ‘රොතන්හැම් මාණ්ඩලික තරගාවලිය’ වෙයි.

සටහන සහ ඡායාරූප
ගීෂා මුණසිංහ 

නව අදහස දක්වන්න