පාකිස්තාන නායකයාගෙන් පිතිකරුවන්ට විවේචන | දිනමිණ

පාකිස්තාන නායකයාගෙන් පිතිකරුවන්ට විවේචන

ප්‍රින්ස් ගුණසේකර

පාකිස්තාන ක්‍රිකට් පිලේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජයට බලපෑ ප්‍රධාන සාධකයක් බව නායක සෆ්රාම් අහමඩ් පවසයි. පසුගිය කාලය පුරා පාකිස්තාන ක්‍රිකට් පිලට නායකත්වය ලබාදුන් මිසිබා උල් හක් හා ජ්‍යෙෂ්ඨ පිතිකරු යූනුස් ඛාන් සමුගැනීමෙන් පසුව නායකත්වයට පත්වූ සෆ්රාස් පවසන්නේ ටෙස්ට් තරගයක ජයග්‍රහණයට කාසියේ වාසිය ඉතා වැදගත්වන බවයි.

අබුඩාබි හා ඩුබායි ටෙස්ට් තරග දෙකේදීම කාසියේ වාසිය නොලැබූ පාකිස්තාන ක්‍රිකට් නායකයා පරාජය පිළිබඳ බොහෝ සිත් තැවුලින් මාධ්‍ය අැමැතූවේය.

“මේ ටෙස්ට් තරගමාලාවෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙනවා. බොහෝ අත් වැරදීම් සිදු වූවා. මේ මගේ පළමු නායකත්වයේ තරගය හේතුවෙන් යම් දුෂ්කරතා ඇති වුණා. මේ සිදුවූ වැරදි නැවැත සිදුවෙන්න දෙන්නේ නෑ. ශ්‍රී ලංකා පන්දු යැවීම විශිෂ්ටයි.

එවැනි පසුබිමක කාසියේ වාසිය වැදගත්. අපට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව නොලැබීම කනගාටුවට කරුණක්” සෆ්රාස් පැවැසීය.

මේ තරගයේදී පාකිස්තානය දෙවැනි ඉනිමේදී ලකුණු 55කට කඩුලු 5ක් බිඳ වැටී අසීරු තත්ත්වයක සිටියදී සෆ්රාස් හා අෂාඩ් ලකුණු 173ක සම්බන්ධතාවක් ගොඩනැගීම ශ්‍රී ලංකාවට යම් හිසරදයක්වී තිබුණි.

එහිදී අෂාඩ් සෆීක් ලකුණු 112ක් හා සෆ්රාස් අහමඩ් ලකුණු 68ක් ලබා ගත්තේය. තරගයේ අවසන් දිනයේදී සෆ්රාස් දැවී ගියේ දිල්රුවන්ගේ පන්දුවකට ‘ස්වීප්’ පහරක් එල්ල කොට ‘ස්කෙවයාර් ලෙග්’ හී සිටි නුවන් ප්‍රදීප් අතට උඩ පන්දුවක් ලබාදීමෙනි.

පාකිස්තාන ක්‍රිකට් නායකයා පවසන්නේ තමාගේ අතපසුවීමකින් එල්ල වූ පහරකින් කඩුල්ල අහිමිවී කණ්ඩායමට බලපෑමක් ඇතිවීම පිළිබඳ කනගාටුවට පත්වන බවයි.

“මා සෑම වේලාවේම පන්දුවට පහර දුන්නේ යම් සැලසුමකින්. විශාල පහරවල් වලට ගියේ නෑ. නමුත් අවසානයේ අපරීක්ෂාකාරී පහරකින් දැවී යෑම පිළිබඳ කනගාටු වෙනවා” මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෆ්රාස් පැවැසීය. 

නව අදහස දක්වන්න