රට වෙනුවෙන් දුවන්න ඕනෑ වේලාවක සුදානම් | දිනමිණ

රට වෙනුවෙන් දුවන්න ඕනෑ වේලාවක සුදානම්

 හිරුණි විජේරත්න මිලේනියම් වසරේ අමෙරිකාවේ පදිංචියට යන විට වයස අවුරුදු නවයකි. වසර 17කට පසුව යළි මව්බිමට පැමිණි විසි හය හැවිරිදි ඇයගේ ආගමනය සංකේතවත් කළේ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයක ජයග්‍රහණයකිනි.

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනයේ බෞතීස්මය ලැබූ හිරුණි ඉක්බිති උසස් පෙළ හදාරා කෙන්ටකි සරසවියට ඇතුළු වී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබුවාය.

අධ්‍යාපනයට අමතරව මලල ක්‍රීඩාවට ද ඇලුම් කරන හිරුණි කෙන්ටකි සරසවියේ මලල ක්‍රීඩා කණ්ඩායමට බැඳෙයි. අනාගතයේ ඇයගේ ආදරණීය සැමියා බවට පත්වන වෙනිසියුලාවේ ලුවිස් ඕර්ටා හිරුණි ට මුණගැසෙන්නේ මේ ධාවන පථයේ දී ය.

“අපි දෙන්නම ඒ මලල ක්‍රීඩා කණ්ඩායමේ හිටියා. ඒ, 2009දීයි. එයා මීටර 3000 ස්ටේප්ල් චේස් (බාධක දිවීම) හා මීටර 5000 ඉසව් කරද්දී මම මීටර 5000 හා මීටර 10,000 ඉසව් දිව්වා.”

එකිනෙකා සමඟ පෙමින් වෙළෙන මේ යුවළ විවාහ ගිවිස ගන්නේ මීට දෙවසරකට පෙරය.

වෙනිසියුලාව නියෝජනය කරමින් දුර දුවන හිරුණිගේ සැමියා 2016 රියෝ ඔලිම්පික් උළෙලට ගොස් මැරතන් ඉසව්ව 51 වැනියට අවසන් කරයි.

“ඔලිම්පික් යන්නට පෙර ඉන්ද්‍රජිත් කුරේ හා මම කෙන්යාවේ දී පුහුණු වුණේ එකටයි“ 27 හැවිරිදි ලුවිස් ඕර්ටා කියයි. මැරතන් ඉසව්වලට හපන් මේ යුවළ දැන් ජීවත් වන්නේ අමෙරිකාවේ කොලරාඩෝ පෙදෙසෙයි. හිරුණි ලොකු ආයතනයක ගබඩා කළමනාකාරිනියකි. ඕර්ටා වෙනිසියුලාවේ වෘත්තීය මැරතන් ක්‍රීඩකයෙකි.

අමෙරිකාවේ ඉන්ඩියානිහිදී 2015 වසරේ පැවැති ඉන්ඩියානා අර්ධ මැරතන් තරගය පැයයි මිනිත්තු 17ක කාලයක් සටහන් කරමින් හිරුණි විජේරත්න ජය ගන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි. ශ්‍රී ලංකා අර්ධ මැරතන් වාර්තාව බවට පත්වන එය අදටත් එසේම පවතී.

හිරුණි ලන්ඩන් යන්නේ මේ වසරේ අගෝස්තුවේදීය. ඒ, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මැරතන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටය. තරගය අතරවාරයේ හටගන්නා පාදයේ වේදනාවක් හේතුවෙන් තරගය නිම කිරීමට ඇයට නොහැකි වෙයි.

ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ මෙහෙයවීමෙන් 17 වැනි වතාවටත් පසුගිය ඉරිදා පැවැති කළම්බො මැරතන් ජාත්‍යන්තර තරගයේ අර්ධ මැරතන් ඉසව්ව හිරුණි ජයග්‍රහණය කරද්දී ඇගේ සැමියා ලුවිස් ඕර්ටා එහි පිරිමි තරගය ජයගනියි.

“අපි ලංකාවට ආවේ මේ තරගය වෙනුවෙන්මයි. මෙහෙට එන්න අපට දවස් තුනක් ගත වුණා. ඒ වගේම ලොකු මුදලකුත් වැය වුණා.”

“අපි දෙන්නගෙ ම ලොකු ම ඉලක්කය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලයි“ හිරුණි කියයි. මගේ ඉදිරි සැලැස්ම ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. මාව තෝරා ගත්තොත් මම ශ්‍රී ලංකාව නියෝජනය කරනවා” හිරුණි කියයි.

මේ ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට තමන්ට කල් තියා දැනුම් දුන්නොත් පැමිණිය හැකි බව හිරුණි කියන්නීය. “ප්ලේන් ටිකට් එකක් දුන්නොත් එනවාමයි. මොකද ඒ ටිකට් හරිම මිල අධිකයි.”

එංගලන්තයේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය අරබයා ශ්‍රී ලංකාවේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට හිරුණි සහභාගි වූයේ නැත. එහෙත්, ඇය පැය 2යි මිනිත්තු 43ක දක්ෂතාවක් පෙන්නුම් කර තිබූ නිසා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හිරුණි ට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලැබිණි. එහි පරිසාධක මට්ටම ලෙස ප්‍රකාශයට පත්කර තිබුනේ පැය 2යි මිනිත්තු 45කි.

“ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබන්න මම ලංකාවට නෑවිත් සිටියදීත් ඒකට සහභාගි වෙන්න ඔවුන් මට අවසර දුන්නා. ඒ අවසරයට මම ශ්‍රී ලංකාවට මගේ ස්තූතිය පළ කරන්නේ කළම්බො අර්ධ මැරතන් තරගය රට වෙනුවෙන් ජයග්‍රහණය කරලායි!”

ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න හා වෙනිසියුලාවේ ලුවිස් ඕර්ටාගේ ආදර අන්දරය ජගත් දුර දිවීමේ කෙළිබිමේ තව බොහෝ කලක් යන තුරු කියැවෙනු ඇත.

වර්නන් ගුණසේකර
ඡායාරූපය - රංජිත් අසංක 

නව අදහස දක්වන්න