ගම්මන්පිලගේ ඉතාලි සංචාර ඉල්ලීමට නීතිපතිගේ විරෝධය | දිනමිණ

ගම්මන්පිලගේ ඉතාලි සංචාර ඉල්ලීමට නීතිපතිගේ විරෝධය

 කුමුදු හෙට්ටිආරච්චි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට අධිචෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉතාලියේ සංචාරයක් සඳහා විදේශගතවීමට කළ ඉල්ලීම සම්බන්ධව නීතිපතිවරයා ඊයේ (11) දැඩි සේ විරුද්ධ විය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ මෙම නඩුව විභාගය සඳහා  ඊයේ (11) කැඳවූ අවස්ථාවේ විත්තිකාර ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එසේ සිය විරුද්ධත්වය ඵල කර සිටියේය.

ඕස්ට්‍රේලියානු සමාගමේ හිමිකරු වන බ්‍රයන් ෂැඩික් මහතා විශාල මුදලක් වැය කර නඩු කටයුතු සඳහා ලංකාවට පැමිණ ඔහුගේ සාක්කි මෙ‍හෙයවමින් පවතින අතරතුර විත්තිකරුට විදේශගතවීමට අවසරදීමෙන් නඩු කටයුතු ප්‍රමාද වන බව පෙන්වා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එම ඉල්ලීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

මෙම මස 17 සිට නොවැම්බර් මස 04 දක්වා ඉතාලියේ පෞද්ගලික සංචාරයක් සඳහා යෑමට ජනාධිපති නීතිඥවරුන් වන ජයන්ත වීරසිංහ හා ශවේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් මගින් විත්තිකාර උදය ගම්මන්පිල මහතා ඊයේ (11) අධිකරණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාගෙන් විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ‍ඊයේ (11) දිනද සිදු කෙරුණු අතර වැඩිදුරටත් විභාගය ලබන 17 වැනිදාට කල් තැබුණි.

2000 ජුලි මස 27 වැනිදා හෝ ඊට‍ ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කර ඩිජිටල් නොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලට ගෙන තිබූ ව්‍යාපාර කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් වෙනත් පුද්ගලයකුට විකුණා රුපියල් මිලියන විස්සක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...