අපකීර්තිමත් ලෙස හැසිරුණු සෞන්දර්ය සිසුන්ට විනය ක්‍රියා මාර්ග | දිනමිණ

අපකීර්තිමත් ලෙස හැසිරුණු සෞන්දර්ය සිසුන්ට විනය ක්‍රියා මාර්ග

සමන්මලී ප්‍රියශාන්ති

සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා දෙහිවල ඉදිකරන ලද නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවේ දී විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් වන ලෙස ක්‍රියාකළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

සියලුම පහසුකම්වලින් සමන්විත මෙම නේවාසිකාගාරය විවෘත කැරන අවස්ථාවේදී සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු නියෝජිතයින් පිරිසකගේ මෙම හැසිරීම හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනෙකුත් කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ (11) සියලු කටයුතු වලින් වැළැකි සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබිණි.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කටයුතු ඊයේ (11) පෙරවරුවේ අඩාල වී තිබුණි.

ආචාර්යවරුන්ගේ ගෞරවයට හානි සිදුවන අයුරින් ශිෂ්‍යයින් කටයුතු කිරීම, නිල උත්සවයක් අවස්ථාවේදී විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් වන ලෙස කටයුතු කිරීම හා සිසුන්ගේ අශෝභන හැසිරීම්වලට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව නර්තන හා නාට්‍ය කලා පීඨ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළාය.

සිසුන්ට යම් කරුණක් පිළිබඳව කරුණු දැක්වීමට හෝ විරෝධය පළ කිරීමට හැකියාව තිබෙන නමුත් මෙම සිසුන් රාජ්‍ය උත්සවයක් අවස්ථාවේ විශ්වවිද්‍යාල පරිපාලනයට බාධා කරමින් සිදු කළ මෙම අශෝභන ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි රැසක් ලැබී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ඉදිරියේදී පවත්වන බවත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා “දිනමිණ“ට පැවසීය. 

නව අදහස දක්වන්න