සියලු රට වැසි­යන්ට රක්ෂ­ණයේ ප්‍රති­ලාභ අත්කර දීම අපේ අර­මු­ණයි | දිනමිණ

සියලු රට වැසි­යන්ට රක්ෂ­ණයේ ප්‍රති­ලාභ අත්කර දීම අපේ අර­මු­ණයි

බුද්ධිකා බ්‍රාහ්මණගේ 

ජාතික රක්ෂණ භාර අර­මු­දලේ අර­මු­දල් ප්‍රධානී සනත් සී. ද. සිල්වා

 

රක්ෂණය සාමාජ ආරක්ෂණය, සුරක්ෂාව, සමාජයේ යහ පැවැත්ම සඳහා ඉවහල් වන ප්‍රමුඛතම කරුණකි. මෙය ජාතික වගකීමක් ලෙස සලකා වගකීම ඉටු කරන ප්‍රමුඛතම ආයතනය වන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයයි. මෙරට ප්‍රතිරක්ෂකයකු ලෙස ක්‍රියාත්මක වන එකම ආයතනය වන්නේත් ජාතික රක්ෂණ භාර අරමුදලයි. ජාතික රක්ෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳ කතිකාව බොහෝ කලෙක සිටම ඉස්මතුවී, නැවතත් වියැකී ගොස් තිබූවකි.

එය නැවතත් කරලියට පැමිණ‍ තිබෙන්නේ මේ වකවානුවේ දීයි. ජාතික රක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම ජනතාවගේත්, රජයේත් සුරක්ෂාව තහවුරු වන කරුණකි. එය විදෙස් ආයෝජන කැඳවා ගැනීමට ද රුකුලකි. ඒ බව හඳුනා ගැනීමට පසුගිය වකවානුව පමණක් වුව සෑහෙයි. පසු ගිය මාස කීපය තුළ ඇති වූ ගංවතුර, නායායෑම්, නියඟය ආදී ආපදා හේතුවෙන් ඇති වූ උවදුරු සමනය කිරීමට ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය විය. ඒ සඳහා කටයුතු කරන ප්‍රමුඛතම ආයතනය වන්නේ ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයයි. ඒ පිළිබඳත් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනය වන්නේත් ජාතික රක්ෂණ භාර මුදල් මණ්ඩලයයි. මේ එහි ප්‍රධානී සනත් සී ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

s ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ මෙහෙවර කුමක්ද?

ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් ස්වභාවික ආපදාවන්ගෙන් රැක බලා ගැනීම. එසේම ස්වභාවික හේතු නිසාවෙන් සිදුවන සම්පත් හා ධන හානි හේතුවෙන් සිදුවන පාඩු අවම කිරීමට කටයුතු කිරීම. දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඔවුන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවක දී ආරක්ෂා කිරීම සඳහා රක්ෂණය පදනම් කරගත් ක්‍රම සම්පාදනය කිරීම, අප ආයතනයේ මූලික අරමුණයි. උපායශීලී ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් භාණ්ඩාගාරයට බරක් නොවී ජනතාව වෙනුවෙන් උපරිම අයුරින් සේවය කිරීම සඳහා අපි කැපවීමෙන් කටයුතු කරන්නේ.

 

s අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ වැඩි කිරීමට පියවර ගත් බව ජනමාධ්‍යයන් හි සඳහන් කර තිබුණා.?

රා‍ජ්‍ය සේවයේ මෙන්ම පළාත් රාජ්‍ය සේවයේ නිරත රාජ්‍ය සේවකයන්ගේ, මෙන්ම ඔවු‍න්ගේ ‍පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂණය වෙනුවෙන් මේ රක්ෂණ යෝජනා ක්‍රමය‍ හඳුන්වා දී තිබෙන්නේ 2006 වර්ෂයේ දී, නමුත් මුල් යුගයේ මාසික දායකත්වය රුපියල් 125ක් ලෙසයි පැවැතියේ. 2016 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අග්‍රහාර රක්ෂණය සඳහා රිදී යෝජනා ක්‍රමය, රන් යෝජනා ක්‍රමය වශයෙන් වැඩි ප්‍රතිලාභ සහිත නව යෝජනා ක්‍රම දෙකක් හඳුන්වා දී තිබෙනවා. රාජ්‍ය සේවකයාගේ කැමැත්තට අනුව මේ යෝජනා ක්‍රමය සඳහා දායක විය හැකියි. රිදී යෝජනා ක්‍රමය සඳහා මාසිකව අය නරනුයේ රුපියල් 400ක මුදලක්. රන් යෝජනා ක්‍රමය සඳහා රැපියල් 600ක මුදලකින් දායක විය යුතුයි. ඒ අනුව වත්මන් වෙළෙඳ ‍පොළ සෞඛ්‍ය වියදම්වලට සාපේක්ෂව පරීක්ෂා කර බලා ‍සෞඛ්‍ය ආවරණයේ ප්‍රතිලාභ වඩාත් පුළුල් කිරීමට කටයුතු කළා. මේ අනුව අග්‍රහාර රක්ෂණ ක්‍රමය නිසාම රාජ්‍ය සේවකයන් තුළ පැවැති රෝග බිය යම් ප්‍රමාණයකට දුරු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

 

s මේ රන් හා රිදී යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය සතුටු දායකද?

රන් රිදී යෝජනා හඳුන්වා දෙන අවස්ථාවේ අපගේ උපකල්පනය වූයේ මේ යෝජනාවන් සඳහා විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ දායකත්වය උපරිම මට්ටමක පැවැතිය හැකි බවයි. නමුත් ඔවුන්ගේ දායකත්වය අවම මට්ටමක පවතිද් දී මේ සඳහා දායක වී තිබෙන්නේ සාමාන්‍ය සේවකයන් වීම විශේෂත්වයක්, කෙසේ වෙතත් දිනෙන් දිනම මේ සඳහා ඇති වන උනන්දුව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව නම් පැහැදිළියි.’

 

s විශ්‍රාමික රාජ්‍ය සේවකයන් සඳහාත් අග්‍රහාර රැකවරණ නමින් නව රක්ෂණ යෝජනාවක් ක්‍රියාත්මක වෙනවා ද?

ඒ යෝජනාවත් අප විසින් ක්‍රියාවට නැන් වූයේ 2016 ජනවාරි පළමු වැනි දා සිටයි. ඒ අනුව විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වසර 75 ක් ගත වන තුරු මේ යෝජනාව යටතේ රක්ෂණය විය හැකියි. රෝහල් ගතවීම්, හදිසි අනතුරු, සැත්කම් ආදී ඕනෑම අවස්ථාවක දී ප්‍රතිලාභ හිමිවේ. මෙවැනි ක්‍රමයක් හඳුන්වාදීමේ දී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වූයේ වසර ගණනාවක් රාජ්‍ය සේවයේ නිරතවීමෙන් අනතුරුව විශ්‍රාම දිවියේ දී ඇති වන ලෙඩ දුක් ආදියේ දී විශ්‍රාමිකයා අසරණ නොවිය යුතු බවයි.

 

s පසු ගිය වකවානුවේ ඇති වූ ගංවතුර, නායා යෑම්, වගා හානි ආදිය සඳහා රජයේ ප්‍රමුඛතම රක්ෂණ නියෝජිතයා ලෙස ඔබ හානි පූර්ණය සඳහා දායකවී තිබුණා.

ප්‍රතිරක්ෂණය මඟින් වඩාත් විශ්වාසවන්ත සේවාවක් ලබාදීමට කැපවී‍ සිටින එකම ආයතනය අප ආයතනයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් රක්ෂණය කිරීමට අපිට හැකිවී තිබෙනවා. ජාතික ස්වභාවික විපත් රක්ෂණාවරණය, නමින් අප පිරිනමා ඇති රක්ෂණය නිසා එසේ ආපදා අවස්ථාවන් හී විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට හැකි වූයේ.

මේ රක්ෂණාවරණය අප ආයතනය වෙතින් ලබාගෙන තිබෙන්නේ රජයයි. එලෙස රජය මුදල් වෙන් කිරීමේ දී අපේක්ෂා කරන කරුණු කීපයක්ම වෙයි. රටේ සිටිත ප්‍රමුඛතම සම්පත් හිමියා වන්නේ රජයයි. රටෙහි ඇති මංමාවත්, ඇළ වේලි, රෝහල්, පාසල් ආදී වූ බහුතර සම්පත් රාජ්‍ය දේපලයි.

ස්වභාවික උවදුරු හේතුවෙන් මේ දේපළවලට හානි සිදුවීමේ දී ඒ වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබාගෙන තිබීම වඩාත් වැදගත්, එසේම ස්වභාවික ආපදා හේතුවෙන් අවදානම් ආර්ථික කලාපවල ජීවත් වන ජනතාවගේ ජීවිත අර්බුදයට යා‍ නොදී රැක ගැනීම සඳහා මේ රක්ෂණය ක්‍රියාත්මක වන්නේ වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් ‍ලෙසයි. මේ මඟින් උපරිමය රුපියල් මිලියන 2.5 දක්වා වන්දි ලබා ගත හැකි අතර, සමස්ත ආවරණය බිලියන 1.5 ක මුදලක්. පසුගිය දා සිදු වූ ගංවතුර උවදුරේ දී අපගේ නිලධාරීන් ඒ ප්‍රදේශවලට ගොස් විපතට පත්වූවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා විශාල සේවයක් සිදු කළා .

විනාශ වී ගොස් තිබුණේ මාළු ලෑල්ලක් නම්, බඩු විකුණූ ලෑලි තට්ටුවක් නම් අපි ඒකට වන්දි ගෙවුවා . එතැන දී බැලුවේ ග්‍රාම නිලධාරියාගේ සහතික කිරීම පමණයි. මේ අයුරින් ලක්වාසීන් සැවොම රක්ෂණය කර තිබෙනවා. මෙවැනි ක්‍රමයක් දකුණු ආසියාවේ වෙනත් රටක තවමත් ඇතිවී නෑ, තම පුරවැසියන් හදිසි අවස්ථාවක දී ආරක්ෂා කිරීමට රජය බැඳී තිබෙනවා. ඒ බැඳීමට අනුවයි අප රජයේ ප්‍රධාන රක්ෂණ නියෝජිතයා බවට පත්වී සිටින්නේ. ඒ අනුව රජය විසින් ශ්‍රී ලංකික ප්‍රජාව රක්ෂණය කර තිබෙනවා. අප විසින් ආරක්ෂාව සඳහා එම මුදල් විදෙස් සමාගමක ප්‍රතිරක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ආපදා අවස්ථාවක දී අපගේ නිර්දේශයට අනුව ප්‍රතිරක්ෂණ සමාගම අවශ්‍ය ගෙවීම් සිදු කරනවා.

 

s ගොවියා සුරැකීම සඳහා විශේෂයෙන් සැකසුණු රක්ෂණ විධි පිළිබඳ සඳහන් වුණා?

ශ්‍රී ලංකාවේ සියලු වගා බිම් මේ ක්‍රමය යටතේ රක්ෂණය කොට තිබෙනවා. වී වගාබිම් මෙන්ම අනෙකුත් වගා බිම් හා කුඩා තේ වතු මේ සඳහා මූලික‍ වෙනවා, වගාවන් සඳහා වන්දි ලබාදීමේ දී, යෙදවුම් පිරිවැය වශයෙන් රුපියල් 10000 වන්දි මුදලක් ලබාදෙනවා. මූලික බිම් සකස් කිරීමේ අවදිය හා පැළ අවස්ථාව, අස්වනු නෙළිමට ආසන්න අවස්ථාව, මෙන්ම අස්වනු නෙළන අවස්ථාවේ දී සිදුවන හානි, ආදී වූ අවස්ථාවන් සඳහා වන්දි ලබාදීමට අවධානය යොමු කරනවා. ගොවියා විසින් ලබාගත් ණය ගෙවීම සඳහාත් වන්දි ලබාදීමේ ක්‍රමයන් හඳුන්වා දී තිබෙනවා. අවිධිමත් ආකාරයෙන් ගොවියා ණය උගුලක සිරවීම වැළැක්වීම මෙමඟින් අ‍පේක්ෂා කෙරේ, විධිමත් ආකාරයට රාජ්‍ය ආයතන වෙතින් ණය ලබා ගැනීම ණය උගුලින් මිදීමේ මඟයි. මේ අයුරින් නියඟය, ගංවතුර, නායායෑම් ආදී හේතු නිසාවෙන් වගාවන්ට සිදුවෙන හානි පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වී වන්දි ලබා දී ගොවියා ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සැකසී‍ තිබේ.

 

s මෙවැනි හානි පූර්ණය කිරීම්වල දී ගෙවීම් කඩිනම් කිරීම අත්‍යාවශ්‍යයි නේද?

අප ආයතනය ඉතාමත් කඩිනමින් සේවය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කරන ආයතනයක්. මෙහි පැය විසිහතරම සේවය සපයනවා. ඊට හේතුව අග්‍රහාර රක්ෂිතයන්ට ඇති වන හදිසි සැත්කම් ආදිය සඳහා අත්‍යවශ්‍ය වන ලියකියවිලි කඩිනමින් ලබාදීම සඳහායි. මීට අමතරව තක්සේරු කිරීම් ආදිය සඳහා අදාළ ලියකියවිලි නිවැරැදි නම් ඉතා කඩිනමින් නිම කිරීම සඳහා ආයතනික ක්‍රියා පටිපාටිය විඳිමත් කොට තිබෙනවා.

s ජාතික රක්ෂණ භාර අරමුදලේ ඉදිරි අපේක්ෂා මොනවාද?

 

මේ රටේ සෑම පුර වැසියකුම රක්ෂණ ආවරණ‍යකින් ආරක්ෂණය කිරීමයි අපගේ අරමුණ. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහාත් සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අපේක්ෂිතයි. විශ්‍රාම වැටුප් නොලබන අර්ථ සාධක හිමි සියලු දෙනාටම රජ්‍ය සේවකයන්ට ලබා දෙන රන් ආවරණය මට්ටමේ ආවරණයක් ලබා දීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා ආයතනික මට්මින් ගිවිසුම් ගතවීම වැදගත්, මීට අමතරව අර්ථ සාධක අරමුදලට හිමිකම් ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ටත් රක්ෂණ ආවරණයක් ලබාගත හැකියි.

රෝගී විම සෑම මිනිසකුටම පොදු කරුණක්, නමුත් රෝගී‍වීමෙන් අනතුරුව සුවපත් වීම සඳහා දුප්පත් පොහොසත් බව බලපායි නම් එය මිනිස්කමට නිඟාවක්, කෙනකුට වෛද්‍ය ප්‍රතිකාර හිම්වීමේ දී දුප්පත් පොහොසත් බව ඉක්ම විය යුතු බව මගේ අදහසයි. මේ රටේ සෑම පුර වැසියකුටම සෞඛ්‍ය රක්ෂණයක් තිබිය යුතුයි. එපමණක් නොවේ ඕනෑම රෝගයකට ප්‍රතිකාර ලබාගත හැකි මට්ටමේ රක්ෂණ ආවරණයක් ලබා ගත හැකි විය යුතුයි.

 

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...