ජීවිතය එපා වන ළමයි | දිනමිණ

ජීවිතය එපා වන ළමයි

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර

අද සමාජයේ පාසල් දරු දැරියන් මෙන්ම තරුණ තරුණියන් සිය දිවි නසා ගැනීමේ ඉහළ අගයක් පෙන්නුම් කෙරේ.

ප්‍රශ්නයක් උද්ගත වූ විට එය විසඳා ගන්නා ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් නොතිබීම මෙයට මුල්වන පළමු හේතුව ලෙස පෙන්වා දිය හැකිය. උද්ගතවන ප්‍රශ්නයක් වෙතොත් ඒ පිළිබඳව කතිකා කිරීමට දරුවනට විශ්වාසනීය කෙනෙකු නොමැතිවීම ඊට බලපාන තවත් හේතුවක් ලෙස දැක්විය හැකිය.

පවතින අධ්‍යාපන රටාව අනුව පාසල් යන දරුවා සහ ගුරුවරයා සිටින්නේ විශාල පරතරයකය. එම නිසා සමහර අවස්ථාවලදී දරුවා ගුරුවරයා කෙරෙහි තබන විශ්වාසය අඩුවීමක් දක්නට ලැබේ.

පාසල් අධ්‍යාපනය තුළින් ඈත් වී යන ගුරු ගෝල සම්බන්ධතාවය මෙන්ම මවුපියන් අධික කාර්යබහුල ජීවිත සමඟ පොරබඳින බැවින් ඔවුන් වෙතින් දරුවා වෙතට යාමට ඇති මාර්ගය ඇහිරී යාම තවත් එක් හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.

පවතින සමාජීය තත්ත්වයන් හමුවේ දරු දැරියනට තබා වැඩිහිටියකුටවත් මානසික ගැටලුවකදී එය විසඳා ගැනීමට හැකි ආයතනයක් මෙන්ම සුදුසු පරිසරයක් නිර්මාණ වී නැත. ‍එම තත්ත්වයන් හමුවේ පැමිණෙන කුඩා ගැටලුකාරී තත්ත්වයකදී පවා සිය දිවි නැති කර ගැනීම විසඳුමක් කරගන්නා අවස්ථා සුලභව දක්නට ලැබේ. මෙම තත්ත්වය යටතේ සුවිශාල වගකීමක් දැරීමට මාධ්‍යයට සිදුව තිබුණත් මාධ්‍ය බොහෝ අවස්ථාවන්හිදී සිය දිවි නසා ගැනීම් සරල කොට විග්‍රහ කෙරුණු අවස්ථා දක්නට ලැබේ.

එපමණකුදු නොව සිය දිවි නසා ගැනීම කිසිදු චකිතයකින් තොරව ඉතා ඉහළින් කළ හැකි දෙයක් ලෙස මාධ්‍ය හරහා ප්‍රචලිත වීමට ඉඩ හැර තිබේ. සිය දිවි නැතිකර ගන්නා ආකාරය පවා නොපැකිළිව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරනු අවස්ථාද දක්නට ලැබේ. මෙවැනි කාරණා හේතුවෙන් පාසල් දරු දැරියන් මෙන්ම තරුණ තරුණියන් ඉතා පහසුවෙන් එම ක්‍රම උපයෝගී කැරගෙන දිවි නසා ගැනීමෙන් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ ගැනීමට පෙළඹී ඇත.

ආගම දහමෙන් ඈත්වීම සිය දිවි නසා ගැනීම්වලට බලපාන තවත් හේතුවකි. ගැටලුවකට ධර්මානුකූලව විසඳුම් සෙවිය යුතු ආකාරය නිසියාකාරව කියාදීම වැඩිහිටි මාපිය වගකීමක් ලෙස පැවතියද එය නිසියාකාරව ඉටුකිරීමට ඔවුහු අපොහොසත්ව සිටිති.

පන්සල, පල්ලිය, කෝවිල වෙත තම දරුවාව කැටුව ගියද එහිදී ධර්මය පිළිබඳ අවබෝධය ලබා දීම වෙනුවට වන්දනාමාන කිරීම මෝස්තරයක් බවට පරිවර්තනය වී ඇති බව පැහැදිලිය.

හිමිදිරියේ සිට රෑ නින්දට යනතෙක් නිවසේ හිතවතා යැයි කියා ගනු ලබන රූපවාහිනි යන්ත්‍රයට කොටු වන වැඩිහිටියන් මෙන්ම තරුණ තරුණියන්ද මෙගා ටෙලි නාට්‍ය තුළ සිරවී සිටිති. කිසිදු හරයක් නොමැති මෙකී ටෙලිනාට්‍යවල සිද්ධීන් පෙළ දිග හැරෙද්දී පාවෙන ලෝකයක සුන්දර අත්දැකීම් මෙන්ම වෛරය, ක්‍රෝධය වැනි සිද්ධීන් සිත් තුළට පොදි බැඳ ගන්නා තරුණ තරුණියෝ මුලාවට පත්ව සිටිති. එයින් අත්විඳින්නට සිදුව ඇති අසහනකාරී තත්ත්වය බෙහෙවින් බරපතළය.

තව කෙනෙකුගේ හද කම්පා කරන වියෝවන් දෙස අප බලන්නේ කිසි දිනෙක අපට ළඟා වන දේවල් නොවන ලෙස සිතාය. මොන මොහොතක හෝ අපටද එය පොදු ධර්මතාවයක් බව දකින්නේ නම් මෙම තරඟකාරී ජීවන රටාවෙන් මිදී මොහොතක් හෝ ජීවිතයේ යථාර්ථයට සිත යොමු කිරීමට හැකි වනු ඇත.

පොළොවට පය තබා ජීවත්වන මිනිසකු ලෙස තම දරුවන් කෙරෙහි වගකීමකින් බැලීමටද එමඟින් හැකිවනු ඇත.

උපතින් ගෙන එන දුප්පත්කම ඉවසීමෙන් පිළිගැනීමට නොහැකිවීමද සිය දිවි නසා ගැනීමට තවත් එක් හේතුවක් ලෙස විද්‍යමාන වේ.

ශිෂ්‍යත්ව කඩඉම් ඉතා ඉහළින් පසු කොට නගරබද ජනප්‍රිය පාසල්වලට ඇතුළු වන දරිද්‍රතාවයෙන් පෙළෙන දක්ෂ දරුවන් පාසල් තුළ ඔවුන්ගේ දුප්පත්කම හා අනෙක් දරුවන් විඳින ඉහළ සැප සම්පත් සසඳා බැලීමට උත්සාහ දරති. එසේම තමා ගෙවන ජීවිත පිළිබඳ අඩු තක්සේරුවක් තැබීමට ද එවැනි දරු දැරියෝ පෙළඹෙති.

මවුපියන් සමඟ අඬ දබර ඇති කැර ගනිමින් උරණ වන දරුවෝ ඉක්මනින් තම ජීවිතය ගැන කළකිරීමේ ස්වභාවයක් පෙන්නුම් කරති.

සුළු ප්‍රශ්නයක් වුවද මුල්කැරගෙන එවැනි දරුවෝ තම ජීවිතයෙන් සමුගැනීමට කුමන හෝ ක්‍රමයක් යොදා ගැනීමට කටයුතු කරනු ලබති.

මානසික ප්‍රශ්න ගැන රහසිගතව හා පුද්ගලිකව සාකච්ඡා කිරීමට ආයතනයක් හෝ තැනැත්තෙකු නොමැති වීම මේ සියලුම කාරණා වලට හේතුව බව පෙන්වා දිය හැකිය.

තාරුණ්‍යයේ ශාරීරික වෙනස්කම් මානසික ගැටලු නිරාකරණය කරගැනීමට අත හිත දෙන සමාජ සංස්ථාවක් පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් ගොඩනැගිය යුතු බව මගේ හැඟීමයි.

බටහිර රටවල් බහුතරයකට දරුවන්ගේ මානසික වර්ධනය උදෙසා භාවනාව උපයෝගී කර ගැනේ. සිත සමාධිගත කෙරෙන භාවනාව පිළිබඳ දැනුම අප ශිෂ්‍ය ප්‍රජාව තුළ මෙන්ම තරුණ තරුණියෝ තුළද ඇති කළ යුතුය.

වෛරය, ක්‍රෝධය හිතේ දරාගෙන වස බෝතලයෙන් පිහියෙන් හා ලණුවෙන් ප්‍රශ්න විසඳීම වෙනුවට කරුණාව මෛත්‍රීය පෙරටු කැරගත් සමාජයක් ගොඩනැගීමට වගකිවයුතු සියල්ලෝම අත්වැල් බැඳ ගැනීම කාලෝචිතය.

සටහන
වැලැන්සි හේමන්ත ඩෙප් 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...