මහ රුජින යෂ්ටි හුවමාරු නිල උත්සවය අද ගාල්ලේදී | දිනමිණ

මහ රුජින යෂ්ටි හුවමාරු නිල උත්සවය අද ගාල්ලේදී

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සංකේතය වන ‘මහ රැජන යෂ්ටිය’ ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. අද ගාල්ලේ පැවැත්වෙන ශ්‍රි ලාංකික නිල උත්සවය සඳහා රැගෙන එන ලද මේ යෂ්ටිය ගුවන්තොටුපලේදි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත සහ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වෙත පිරිනැමූ අයුරු. ඡායාරූප - කුමාරසිරි ප්‍රසාද් කටුනායක ගුවන්තොටුපල

ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පූර්වගාමීව සංවිධාන කෙරෙන ක්වීන්ස් බැටන් රිලේ (Queen’s Baton Relay), නමින් හැදින්වෙන බ්‍රිතාන්‍ය මහ රුජින නමින් පැවැත්වෙන යෂ්ටි හුවමාරු වැඩසටහනේ ප්‍රධාන නිල උත්සවය අද (13) ඓතිහාසික ගාලු කොටු පවුරු පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යංශය ඒකාබදව වැඩසටහනක් සංවිධාන කොට ඇත.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවමාලාව දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් අමාත්‍ය මණ්ඩලයේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ, දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන්, ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්, පළාත් ක්‍රීඩා අමාත්‍යංශ, අධ්‍යාපන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් ගේ සහභාගිත්වයෙන් පළාත් මහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදි පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන ඇමැති වන්දිම රාසපුත්‍ර මහතාද සහභාගි විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මහ රුජින යෂ්ටිය හා පරිවාර පිරිස ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟාවීමට නියමිතව තිබූ අතර එම පිරිස හා යෂ්ටිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අරලියගහ මැදුරේ දි පිළිගැනීමෙන් අනතුරුව අද ගාල්ල බලා රැගෙන ඒමට නියමිතය.

එය ගාල්ල බලාගෙන ඒම සඳහා වසර 75 ක දිගු ඉතිහාසයකට හිමිකම් කියන වාෂ්ප බලයෙන් දිවෙන ඉපැරණි වයිස්රෝයි විශේෂ (Viceroy Special) දුම්රිය යොදා ගැනීමට නියමිතය.

මේ මහ රුජින යෂ්ඨි හුවමාරුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ආරම්භයේ සිටම පැවැත්වෙන සම්ප්‍රදායික වැඩසටහනක් වන අතර එමගින් එම ජාත්‍යන්තර ක්‍රීඩා මහොත්සවය තුළින් විදහා දැක්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය රටවල විවිධත්වය විදහා දැක්වීමත් ජනතාවන් තුළ ක්‍රීඩා උළෙල පිළිබඳ ප්‍රමෝදය හා උද්‍යෝගය වඩවාලිමත් අපේක්ෂා කෙරේ.

ගාල්ල බලා එන ගාල්ල බලා එන අතරතුර අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව යන දුම්රිය ස්ථානවලදී කෙටි පිළිගැනීම් උත්සව පැවැත්වීමට නියමිතය.

අනතුරුව අවසානයේ එම පිරිස ගාල්ලට ලගාවීමේන් අනතුරුව ගාල්ල දුම්රිය ස්ථානයේදී පොදු රාජ්‍ය ක්‍රීඩා මහරුජින යෂ්ටිය හා පරිවාර පිරිස වෙනුවෙන් සුවිශේෂී හරසර පිදුමක් සිදු කෙරෙන අතර ඒ සදහා ගාල්ල නගරයේ විවිධ ජාතීන් නියොජනය කරමින් පාසල් ළමුන් 250 ක් පමණ සහභාගී විමට නියමිතය. පාසල් තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කොටගත් යෂ්ටිය හා පරිවාර පිරිස ගාල්ල නගරයේ වීථි සංචාරය කිරීමෙන් අනතුරුව ලෝක උරුමයක් වන ගාල්ල ඓතිහාසික කොටුපවුර තුළට ලගාවීමට නියමිතය.

අවසානයේ ලෝක උරුම පරිශ්‍රය තුළ ඇති හෝල් ඩි ගෝල් ශාලාවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සභාවකින් අනතුරුව පොදු රාජ්‍ය ක්‍රීඩා රුජින යෂ්ඨි හුවමාරුවේ හරසර උත්සව මාලාව අවසන් වන බව සංවිධායකයෝ පැවසූහ.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ 2018 අප්‍රේල් 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ගොල්ඩ් කෝස්ට් වල බැවින් එය පොදුවේ ගොල්ඩ් කෝස්ට් 2018 යනුවෙන්ද හැදින්වේ.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රුජින යෂ්ටි හුවමාරුව පසුගිය මාර්තු 13 දින එංගලන්තයේ බකින්හැම් මාලිගා පරිශ්‍රෙය්දි මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රුජින විසින් දියත් කරන ලදී. දිගු ලෝක සංචාරයකින් අනතුරුව එය ක්‍රීඩා උළෙල පැවත්වෙන ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්හි ගෝලඩ් කෝස්ට් වෙත ලගාවීමට නියමිතය.

මහින්ද පී ලියනගේ
ගාල්ල මධ්‍යම විශේෂ
හිනිදුම විශේෂ සහ ගාල්ල උතුර සමුහ

නව අදහස දක්වන්න