රොදර්හැම් මාණ්ඩලික ධාවන තරගාවලිය | දිනමිණ

රොදර්හැම් මාණ්ඩලික ධාවන තරගාවලිය

ගීෂා මුණසිංහ

තරගකරුවන් 230ක් 15 දා කටුකුරුන්දට

සියැට් - ස්ලඩා ශූරතා තරගමාලාවේ අවසන් ධාවන තරගාවලිය වන රොදර්හැම් මාණ්ඩලීක මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 15 වැනි දා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත් වෙයි.

සියැට් කැලණි අන්තර්ජාතික ටයර් පුද්ගලික සමාගමේ (කැලණි ටයර්) පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (ස්ලඩා) වාර්ෂික සංවිධාන කරන සියැට් - ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි ශූරතා තරගමාලාවේ අවසන් හා පස්වන අදියර රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය වෙයි.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් හා සීගිරිය රැළි ක්‍රොස් මේ වනවිට නිමාවට පත්වූ සෙසු තරගාවලි වෙයි.

මෝටර් රථ තරග ඉසව් 16 කින් හා යතුරුපැදි තරග ඉසව් 06කින් මෙවර රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය සමන්විතව ඇති අතර මෝටර් රථ තරග ඉසව් වෙනුවෙන් තරගකරුවන් 140 ක් ද යතුරුපැදි තරග ඉසව්වෙනුවෙන් තරගකරුවන් 90 කට අධික පිරිසක් මේ වන විටත් අයැදුම් පත් යොමු කොට ඇතැයි ශ්‍රීලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ එස්.එල්. /ජී.ටී. 3500 සී.සී ශූරතා මෝටර් රථ තරග ඉසව්ව වෙනුවෙන් මෝටෝ ජී.ටී. (Moto GT) මෝටර් රථ තරග ඉසව්වක් ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන තරග ඉතිහාසයේ පළමු වරට හඳුන්වා දීමට කටයුතු සංවිධාන කිරීමය. පසුගිය වසරේදී රොදර්හැම් තරගාවලියට හඳුන්වා දුන් මෝටෝ ජී.පී. (Moto GP) යතරුපැදි තරග ඉසව්ව ද මෙවර තරගාවලියට ඇතුළත්ය.

ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලි වෙනුවෙන් මෙරට මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩකයන් පුරුදු පුහුණු කිරී‍මේ හා ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීම ශ්‍රී ලංකාවේදීම ලබාදීමේ අරමුණ ඇතිව මෙතෙක් පැවැති එස්.එල්. /ජී.ටී. තරග ඉසව්ව වැඩිදියුණු කළ බවත්, තම සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (ස්ලඩා) විසින් මේ තරග ඉසව්ව හඳුන්වා දෙමින් ජාත්‍යන්තර දස්කම් සපිරි ශ්‍රී ලාංකීය ධාවකයන් ඒ තුළින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පවසා සිටියේය.

සියැට් - ස්ලඩා ශූරතා තරගමාලාවේ සිවුවැනි අදියර ලෙස පසුගියදා සීගිරිය රැළික්‍රොස් තරගාවලිය අවසන් වන විට එස්.එල්. /ජී.ටී. 3500 සි.සී. මෝටර් රථ ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ධාවන ශූර අශාන් සිල්වා සමත් විය. යතුරුපැදි “එම්. එක්ස්.” කාණ්ඩයේ 175-250 සී.සී. (4ටී.) / 100-125 සී.සී. (2ටී.) ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉෂාන් දසනායක සමත්ව ඇත. 

 

නව අදහස දක්වන්න