පාකිස්තාන-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද ඩුබායිහිදී | දිනමිණ

පාකිස්තාන-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද ඩුබායිහිදී

ප්‍රින්ස් ගුණසේකර
පාකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක උපුල් තරංග එක්දින තරගාවලියේ කුසලානය ඩුබායි ක්‍රීඩාංගණයේදී ඊයේ ප්‍රදර්ශනය කළ අයුරු.

සියල්ල සිදුවී අවසන්... දැන් යන්නේ අලුත් ගමනක
- උපුල් තරංග කියයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා - රාත්‍රී තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කළ දිවා - රාත්‍රී ටෙස්ට් තරගයද ඇතුළත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෑම අතින්ම ස්ථාවරව එක්දින තරගාවලියට මුහුණදීමේ සූදානමකින් සිටිති. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් පසුව ලෝක ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 7වැනි තැන සිට 6වැනි ස්ථානය දක්වා ඉහළට ගොස් ඇති පසුබිමක එක්දින තරගාවලිය ආරම්භවීම සැනසිල්ලක්වී ඇත.

පළමු එක්දින තරගය පමණක් අද ඩුබායි හී පැවැත්වෙන අතර දෙවැනි හා තෙවැනි එක්දින තරග මේ 16 හා 18 දිනවල අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී, සිවුවැනි හා පස්වැනි එක්දින තරග 20 හා 23 දිනවල සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

දෙරට අතර එක්දින තරගාවලි ඉතිහාසයේදී එක්දින තරග 148ක් පවත්වා ඇති අතර එයින් 58ක ජය ශ්‍රී ලංකාව සතුකර ගෙන ඇත. තරග 85කින් පාකිස්තානය ජය ගෙන ඉදිරියෙන් සිටී. දෙරට අතර පැවැති එක්දින තරගයක් සමානවී ඇති අතර තරග 4ක් විසදුමකින් තොරව නිමාවට පත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය එක්දින ජාත්‍යන්තර තරග 4කට සහභාගීවී එයින් දෙපිලම තරග දෙක බැගින් ජයග්‍රහණය කොට සම තත්ත්වයේ සිටිති. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඩුබායි හීදී අවසන් එක්දින තරගය පැවැත්වූයේ 2013 දෙසැම්බරයේ වූ අතර එහිදී ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක් අත්විය. එම තරගයට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා හා සීකුගේ ප්‍රසන්න වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ අද තරගයේ ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති. ‍

ටෙස්ට් සංචිතයේ සිටි රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා හා ළහිරු ගමගේ ශ්‍රී ලංකාවට පිටත්වන අතර එක්දින තරගාවලිය උදෙසා උපුල් තරංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, මිලින්ද සිරිවර්ධන හා ජෙෆ්රී වැන්ඩර්සී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ සිටිති.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසූවේ ටෙස්ට් තරග ජයගෙන හොඳ මානසික තත්ත්වයක සිටින ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලිය සාර්ථකව නිම කරන බවට තමන් තුළ විශ්වාසයක් ඇති බවය. පසුගිය ඉන්දීය සංචාරයේදී සිදුවූ සියලු සිදුවීම් අමතක කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ගමනක් ආරම්භ කිරීමට තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව තරංග පැවැසීය.

“ඉන්දියාව සමග තරගාවලියේදී අපේ පිතිකරුවන් අසාර්ථක වුණා. ඒ ගැන අප අවධානය යොමු කොට තිබෙනවා. ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවක් තිබුණා. ඒ වාගේම එක්දින තරගාවලියේදී ඔවුන් සාර්ථකව ඒ දේ ඉටු කරාවී” උපුල් තරංග පැවැසීය.

දිගින් දිගටම අසාර්ථකවූ චාමර කපුගෙදර කණ්ඩායමට එක්වූයේ කෙසේද? යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු දුන් තරංග පැවැසූවේ චාමර අංක 6 හෝ 7 ස්ථානයේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට අවශ්‍ය දේ ඉටුකරනු ඇති බවට තමා තුළ විශ්වාසයක් ඇති බවයි.

පාකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් ටෙස්ට් තරගාවලියේ දී සිදුවූ අවමානය මකා ගන්නට විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බව ඊයේ මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශවලින් පෙනීයයි. පාකිස්තානය සෑම අතින්ම එක්දින තරගවලදී ඉදිරියෙන් සිටින බව සිහිපත් කළ පාකිස්තාන ක්‍රිකට් නායකයා ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ වැඩි වාසි ගන්නා බව අවධාරණය කළේය.

පසුගිය වසරේ මැයි මාසයේ එංගලන්තයේදී චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ ආඩම්බරය තවමත් පාකිස්තානුවන් තුළ ඇත. එහෙත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ටෙස්ට් තරගාවලියකදී ලද පරාජය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් නායකයා තුළ යම් සෙලවීමක් ඇති බවද නොරහසකි.

“අපේ එක්දින කණ්ඩායමට දැන් පළපුරුදු ක්‍රීඩකයන් කිහිපදෙනකුම එක්ව සිටිනවා. ඒ නිසා හොඳ තරගාවලියකට අවතීරණවීමට අපට හැකියාව තිබෙනවා” සෆ්රාස් අහමඩ් පැවැසීය. එක්දින තරගාවලිය වෙනුවෙන් සෑම අංශයකින්ම දස්කම් දක්වන ෂොහිබ් මලික් හා මොහොමඩ් හෆීස්, ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු අහමඩ් ෂේශාඩ් පාකිස්තාන පිලට එක්ව සිටිති. ඩුබායි ටෙස්ට් තරගයේදී ඕවරයක් තුළදී කඩුලු තුනක් ලබා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 96කට සීමා කිරීමට කිරීමට දායකවූ හැරිස් සොහේල් කෙරෙහිද පාකිස්තාන ක්‍රිකට් නායකයා වැඩි විශ්වාසයක් තබා ඇත.

දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය හා දෙවැනි තරග මේ 26, 27 දිනවල අබුඩාබි හීදී පැවත්වීමට කටයුතු යොදා ඇති අතර, ආරක්ෂක තත්ත්ව වාර්තා අනුව අවසන් විස්සයි 20 තරගය මේ 29වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල්මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, චාමර කපුගෙදර, විශ්ව ප්‍රනාන්දු, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සි, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර.

පාකිස්තාන එක්දින සංචිතය: සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂීසාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොහෙබ් මලීක්, ඉමාඩ් වසීම්, ෂාඩාබ් ඛාන්, ෆාහීම් අෂ්රාෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමන් රායීස්, ජුනයිඩ් ඛාන්, හැරිස් ෂෙහේල්, ඉමාම් උල් හක්.

නව අදහස දක්වන්න