ගල්ගමුවේ පාසලක බෙදූ කිරි පැකට්වල පණුවෝ | දිනමිණ

ගල්ගමුවේ පාසලක බෙදූ කිරි පැකට්වල පණුවෝ

පාසල් සිසුන්ට නොමිලේ දියර කිරි පැකට් බෙදා දීමේ වැඩසටහනට යටතේ ගල්ගමුව ප්‍රදේශයේ පාසලකට ලබා දුන් කිරි පැකට්වල පණුවන් සිට ඇත.

වයඹ පළාතේ, මහව අධ්‍යාපන කලාපයට අයත්, පාසලක සිසුන්ට මේ ආකාරයෙන් පණුවන් කිරි පැකට් බෙදා දී ඇති අතර ඒවා පානය කළ සිසුන් බොහෝ දෙනකුට දැඩි උදරාබාධක් වැලඳී ඇති බව සඳහන් වේ.

පසුගිය 9 වැනිදා අදාළ කිරිපැකට් පාසල් පරිශ්‍රය තුලදීම සිසුන්ට බෙදා දී ඇති අතර එම කිරි පැකට් විවෘත කළ අවස්ථාවේ එයින් පණුවන් පිටතට පැමිණි බවට පාසලේ ගුරුවරුන්ටත් හා විදුහල්පතිවරයාටත් සිසුන් විසින් දැනුම් දී ඇත. එසේම පසුගිය 6 වැනිදා එම පාසලේම පළමු ශ්‍රේණියේ සිසුන්ට ලබා දුන් කිරි පැකට්වලද මේ ආකාරයෙන් පණුවන් සිටි බවට ඇතැම් දරුවන් විසින් මාපියන් දැනුවත් කර ඇති අතර මෙවැනි ක්‍රියා හේතුවෙන් තම දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල බියක් තමන්ට ඇති බවට මාපියෝ අප සමඟ කියා සිටියහ.

පාසලේ සිසුන් 298 දෙනෙකු මේ වන විට ඉගෙනුම ලබන අතර එම සියලුම දෙනාට ඉකුත් 9 වැනිදා උදරාබාධය වැලඳී තිබේ. කෙසේ වෙතත් මාපියන් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් අදාළ කිරි පැකට් නිෂ්පාදනය කරන ආයතනය සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ගැනීමට අදාළ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පාසලේ විදුහල්පතිවරයා කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දන්වා ඇති බවත්ය.

කෙසේ වෙතත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් තමන් වෙත ලැබී නැති බවත්, ඒ ගැන සොයා බලා පරීක්ෂණ කටයුතු පැවැත්වීමට කටයුතු කරන බවත්ය. 

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්


නව අදහස දක්වන්න

Or log in with...