වල් අඹ ගෙඩි 18ට අනුරපුර කතකට ලක්ෂයක ශරිර ඇප | දිනමිණ

වල් අඹ ගෙඩි 18ට අනුරපුර කතකට ලක්ෂයක ශරිර ඇප

අනුරාධපුර මධ්‍යම විශේෂ

අසල්වැසි වත්තක තිබූ වල් අඹ ගෙඩි දහ අටක ප්‍රමාණයක් හොර රහසේ කඩාගත් බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල වයෝවෘද්ධ කාන්තාවක් රුපියල් ලක්ෂයක ශරිර ඇපයක්මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී.ශානක හර්ෂන් මහතා (11) වනදා නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහැරුණේ ජයන්ති ග්‍රාමය සාලියපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටින 64 හැවිරදි කාන්තාවකි.

ඇගේ නිවස ආසන්නයේ පදිංචිව සිටින ව්‍යාපාරික කාන්තාවක් සිදුකල පැමිණිල්ලට අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබු අතර සැකකාර කාන්තාව අඹ ගෙඩි තුනක් ව්‍යංජනයක් සදහා අඹ ගසෙන් කඩාගත් බව අධිකරණය හමුවේ පිළිගෙන තිබුණි.

පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබුණේ තමන්ගේ ඉඩමේ පිහිටි අඹ ගසෙන් හොර රහසේ අඹ ගෙඩි 18 ක ප්‍රමාණයක් සැකකාර කාන්තාව කඩාගෙන ගොස් ඇති බවයි.නමුත් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට නම් තමන්ගේ හා ඇයගේ වැට මායිමට තිබෙන කොහොඹ ගස හා අඹ ගස කපා ඉවත්කර ගන්නා ලෙසයි.

ඊට සැකකාර කාන්තාව එකගතාවයක් දක්වා නැති අතර අඹ මාළු ව්‍යංජනයක් සදහා අඹ ගෙඩි තුනක් පමණක් කඩා ගත්බව පොලිසියට ප්‍රකාශකර තිබුණි.

ඇපමත මුදාහැරි කාන්තාවට ලබන වසරේ මාර්තු මස හය වනදා නඩු විභාගය සදහා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කලේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශය සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

නව අදහස දක්වන්න