දෙල්දෙණියේ රන් බඩු නිෂ්පාදන ගම අද බෝඩ් ලෑල්ලක් විතරයි | දිනමිණ

දෙල්දෙණියේ රන් බඩු නිෂ්පාදන ගම අද බෝඩ් ලෑල්ලක් විතරයි

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

කර්මාන්ත ගම්මාන දහසක් ඇති කිරිමේ අරමුණින් පසුගිය රජයෙන් ඇරැඹු “ගුරු පැහැයෙන් -රන් පැහැයට“වැඩ සටහන යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්දෙණිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ස්වර්ණාභරණ නිෂ්පාදන ගම්මාන වැඩ සටහන සම්පුර්ණයෙන්ම අසාර්ථක වීම හේතුවෙන් ඒ සඳහා ඉදිවු ගොඩනැඟිල්ලද විනාශවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුපියල් ලක්ෂ දහයක පමණ උපකරණ ස්ථාපිත කෙරුණද අද ඒ උපකරණ එහි නොමැත.ඇත්තේ දිරාපත්ව ඇති නාම පුවරුව හා ගොඩනැඟිල්ල පමණි.

දෙල්දෙණිය ස්වර්ණාභරණ නිෂ්පාදන ගම්මාන සමිතියේ භාණ්ඩාගාරික කේ.ගුණදාස මහතා :-

මේ ස්වර්ණාභරණ නිෂ්පාදන ගම්මානය ආරම්භ කරපු මුල් වකවානුවේ පවුල් 35ක් පමණ මේ කර්මාන්ත සඳහා එක්වෙලා සිටියා.මට මතක හැටියට අවුරුදු හතරක් පමණ කාලයක් හොදින් කරගෙන ගියා.එදා මෙහි නිෂ්පාදනය කරපු රන් භාණ්ඩ කෑගල්ල,කුරුණෑගල,මීගමුව වාගේ නගරවල ස්වර්ණාභරණ වෙළෙදසල්වලට දීලා හොද ආදායමක් ලබා ගත්තා.අද වනවිට මේ කර්මාන්තය මා ඇතුළු පවුල් හතරක් පමණයි.දැන් ඉන්න ළමයි මේ කර්මාන්තය ඉගෙන ගන්න කැමති නෑ.මට හිතෙන විදිහට නැවත මේ ගමේ කර්මාන්තය ගොඩ නගන්න අමාරුයි.ඒ නිසා තවම හොද තත්ත්වයේ තියෙන මේ ගොඩනැඟිල්ල විනාශ වෙන්න ඉඩ නොදී ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න කියලා ඉල්ලිමක් කරනවා.

දෙල්දෙණියේ පදිංචි කේ.එම්.ජයසුන්දර මහතා:-

ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩි.ලාල්කාන්ත මහතා කර්මාන්ත ඇමති ධුරය දරණ කාලයේ තමයි මේ කර්මාන්තය පටන් ගත්තේ.වසර කිපයක් ගිය පසු රන්භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය අසාර්ථක වුණාට පස්සේ මේ ගොඩනැඟිල්ලේ දොරවල් කැඩිලා වැසිකිළි අබලන් වෙලා කැලෑ වැදිලි තිබුණා. පසුගිය ඩෙංගු මර්දන වැඩ සටහනේදි අපේ මරණාධාර සමීතියෙන් ශ්‍රමදානයක් පවත්වා සූද්ධ පවිත්‍ර කළා.මේ ගොඩනැගිල්ල තවමත් හොද තත්ත්වයේ පවතින නිසා මොනවාහරි එලදායි වැඩකට යොදවන්න කියා ඉල්ලා සිටිනවා.

නව අදහස දක්වන්න