මෙරට අධ්‍යාපනය දියුණු කරන්න ෆින්ලන්තය සමඟ ගිවිසුම් ඇති කරගත්තා | දිනමිණ

මෙරට අධ්‍යාපනය දියුණු කරන්න ෆින්ලන්තය සමඟ ගිවිසුම් ඇති කරගත්තා

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ක්ෂේත්‍ර ගණනාවක් ආවරණ්‍ය වන පරිදි ගිවිසුම්වලට එළැඹීමට හැකි වූ බවත් ඒ හරහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරගැනීමට හැකි වනු ඇති බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ෆින්ලන්ත සංචාරයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන ෆින්ලන්තය සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවේ පාසල් තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගමනයට මූලික අත්තිවාරම් දැමූ බව හෙතෙම කීය.

ෆින්ලන්ත සංචාරයෙන් පසු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ මෙසේද දැක්වේ.

ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන රට වන්නේ ‍ෆින්ලන්තයයි. අප එහි සිදු කළ සංචාරයේදී එරට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කළා. එමඟින් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගැනීමට අපට හැකි වුණා. වෙනත් රටවල් හා සැසඳීමේදී ෆින්ලන්තයේ පාසල් තුළ දරුවන් ඉගෙන ගන්නා කාලය සීමිත කර ඇති බව අපට දැකගැනීමට හැකි වුණා.

පාසල් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ‍ෆින්ලන්ත අධ්‍යාපන විශේෂඥයින්ගේ දැනුම අප රටට ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියේදී සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකා‍වේ අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවන්ට විශාල පීඩනයක් එල්ල වී තිබෙන බව හඳුනා ගැනීමට පුළුවන්. එක් එක් ව ිෂයයන්ට අදාළව වසරක් තුළ හදාරන විෂය කරුණු ප්‍රමාණය අධික බව පෙනී යනවා. නමුත් ෆින්ලන්තයේ අඩු අධ්‍යයන කාලය, ප්‍රායෝගික අධ්‍යයනයට මුල්තැන ලබාදීම, විභාග අවම කිරීම, ගුරුවරුන්ගේ විශේෂඥභාවය, එනම් සෑම ගුරුවරයකුටම අවම වශයෙන් උපාධියක් සහ පශ්චාත් උපාධියක් අනිවාර්ය වීම, එක් පන්තියක අඩු සිසුන් සංඛ්‍යාවක් සිටීම නිසා එක් එක් දරුවන්ට පෞද්ගලිකව අවධානය යොමු කිරීම ආදී විශේෂ ලක්ෂණ ගණනාවක් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව අවුරුදු 15- 20ක ඉදිරි දැක්මක් අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම ආදී ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන සාධනීය කරුණු ගණනාවක් පිළිබඳව අපි අවධානය යොමු කළා.

ෆින්ලන්තයේ ඉගැන්වීම් ක්‍රමවේදය ඉතාම දියුණු මට්ටමක පවතින අතර මෙහිදී ප්‍රායෝගික අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙන බව දැකිය හැකියි. ෆින්ලන්තයේ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන අධ්‍යාපන පීඨයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට අපට අවස්ථාව ලැබුණා. ප්‍රායෝගිකත්වය මුල් කර ගනිමින් බොහෝ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රමවේද සකස් කර තිබෙන ආකාරය අපට එහිදී දැකගැනීමට හැකි වුණා.

දශක ගණනාවකින් අපේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනස්කම් සිදු වී නැහැ. විශේෂයෙන්ම විෂය මාලා සංශෝධනය කිරීම, නව ලෝකයට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ලබාදීමට අපට හැකි වී නැහැ. එම නිසා අප ආරම්භ කළ වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ හඳුන්වාදීමට නියමිත නව විෂයයන් 26 තුළින් ඉදිරියේදී අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය පෙරළියක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අප දැනට ආරම්භ කර තිබෙන නියාමක වැඩසටහන අනුව සාමාන්‍ය කලා විෂයයන් හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මෙම වෘත්තීය විෂයයන් 26 තුළින් තමන්ගේ දක්ෂතාවය අනුව ඊට නැඹුරු වන ආකාරය දැකිය හැකියි.

ෆින්ලන්තයේ විභාග පාදක ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන අතර කුඩා අවධියේ සිටම දරුවන්ගේ දක්ෂතාවය හා හැකියාව අනුව යා යුතු මාර්ගය පෙන්වා දෙන ක්‍රමවේදයක් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය විසින් ඇති කර ගෙන තිබෙනවා.

ෆින්ලන්තයේ පාසල් පාදක වෘත්තීය අධ්‍යාපන ක්‍රමය මීට වසර 20කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන අතර ඒ තුළින් සාර්ථකත්වය කරා ළඟාවීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. එම නිසා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ආශ්‍රය කරගෙන ලෝකය දිනාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවේ මුද්ල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා සහ ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සතු සන්තලා (Satu Santala) මහත්මිය අතර අත්සන් තැබුණු ගිවිසුම හරහා අපේ රටේ අධ්‍යාපනයට ඉතා සුබදායි වෙනසක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය නිරීක්ෂණය කර ඇති කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාදීම සඳහා ෆින්ලන්තයේ අධ්‍යාපන විශේෂඥයන් කණ්ඩායමකට අපේ රටට පැමිණෙන්නැයි ආරාධනය කළා.

මෙම සංචාරය තුළදී අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිදු කළ සාකච්ඡා හරහා මෙන්ම අත්සන් කළ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ගැනීමට අපට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම පාසල් වෘත්තීය අධ්‍යාපනය හා විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් අගමැති ඇතුළු දුත පිරිස සාකච්ඡා සිදු කළා. පාසල් තුළ වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම සම්බන්ධයෙන් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට මෙම සංචාරයේදී හැකි වූ බව සිහිපත් කළ යුතුයි. 

නව අදහස දක්වන්න