ගෙවත්තේ සෙල්ලම් කළ දැරිය ළිඳට වැටී මරුට | දිනමිණ

ගෙවත්තේ සෙල්ලම් කළ දැරිය ළිඳට වැටී මරුට

ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටි සිව් හැවිරිදි දැරියක අනාරක්ෂිත ළිඳකට වැටී මරුමුවට පත්වීමේ ශෝචනීය පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණයෙන් ඊයේ (12) අනාවරණය විය.

කඳාන පොල්පිතිමූකලාන, කොස්පැලෑන ප්‍රදේශයේ පදිංචි රෙබෙකා ඒමානුවෙල් කොඩිතුවක්කු නැමැති සිව් හැවිරිදි දැරියක මෙලෙස මරුමුවට පත්ව ඇත.

කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්. පී.ඒ. හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මියගිය එම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) සිදු කිරීමට නියමිතය.

කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති මිය ගිය එම දැරියගේ හදිසි මරණ පරීක්ෂණයේදී එම දැරියගේ මව වන ඉන්දු සමරසිංහ (31) යන අය සාක්කි දෙමින් මෙසේ කීවාය.

මියගොස් ඇත්තේ මගේ දුව. මම විවාහවී දැනට දරුවන් තුන්දෙනෙකු සිටිනවා. මියගිය දුව බාල දරුවයි. ලොකු දුව කුරුණෑගල ඉන්නේ ළමා නිවසක. දරුවාගේ තාත්තා කරදර කරන නිසා දරුවාව පරිවාසක අංශයෙන් ළමා නිවසට යොමුකළා.

දැනට සැමියාගෙන් වෙන්වෙලා අවුරුදු එකහමාරක් වෙනවා. මමත් දරුවා සමඟ ළමා නිවාසයේ වසරක් පමණ සිටියා. මම පුද්ගලයකු සමඟ දැනට ජීවත් වෙනවා. ඔහු අවිවාහකයි. ඉහත ලිපිනයේ අපි ඉන්නේ කුලියටයි.

මෙම 9 වැනිදා උදේ 10. 25ට පමණ නැන්දලා ගෙදර යනවා කියා දුව ගියා. නැන්දලාගේ ගෙදර තිබෙන්නේ අපේ ගෙදරට මීටර් 10කට එහායින්. දුව නැති නිසා සොයන්න පටන්ගත්තා. පාරේ හැම තැනම දුවව සොයා බැලුවා. දුව සිටියේ නැහැ. පසුව ළිඳ ළඟට ගොස් බලද්දී දරුවා ළිඳට වැටී සිටියා.

දුව එම ළිඳ ළඟට කවමදාකවත් යන්නේ නැහැ. අපි නාන ළිඳ. ළි‍ඳේ බැම්මක් නැහැ. දුවව ගොඩට ගෙන රාගම රෝහලට ගෙන ගියා. එදාම කොළඹ ළමා රෝහලට මාරු කළා. දුවට කල්පනාව තිබුණාට සිහිය තිබුණේ නැහැ. ළි‍ඳේ ගැඹුර අඩි 7ක් පමණ වෙනවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (12) දහවල් දරුවා මිය ගියා.

මෙහිදී දරුවාගේ පියා වන සමන් කොඩිතුවක්කු (37) යන අය සාක්කි දෙමින් මෙසේ කීය.

මෙසේ මිය ගොස් ඇත්තේ මගේ දරුවා. අප විවාහවී දැනට අවුරුදු 10ක් පමණ වෙනවා. දරුවෝ තුන් දෙනෙකු සිටිනවා. දැනට අවුරුදු එකහමාරක පමණ කාලයක සිට අප වෙන්වී සිටිනවා. එසේ වෙන්වීමට ප්‍රධාන හේතුව බිරිය අනියම් සම්බන්ධයක් පැවැත්වීමයි.

දරුවාව පරිවාස නිවාසයකට යොමු කැර තිබෙනවා. එමනිසා මම බත්තරමුල්ල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් දාලා තියෙනවා. දරුවා ළි‍ඳේ වැටී ඇති සිද්ධිය දැනගෙන සිටියේ නැහැ. දරුවා මැරුණාට පස්සේ මට පොලිසියෙන් දැනුම් දුන්නා. දරුවාව ළිඳට තල්ලු කළාද කියා මට සැකයක් තිබෙනවා.

දරුවාගේ මරණ පරීක්ෂණයේ තීන්දුව අද (13) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කඳාන පොලිසියේ පොලිස් කොස්තාපල් ජයවර්ධන (41335) මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්කි මෙහෙය වූහ. 

හේමන්ත ඩෙප්


නව අදහස දක්වන්න

Or log in with...