ගම්මන්පිල අයථා ලෙස ඉපැයු මිලියන 781ක් ආයෝජනය කළේදැයි සොයන්න | දිනමිණ

ගම්මන්පිල අයථා ලෙස ඉපැයු මිලියන 781ක් ආයෝජනය කළේදැයි සොයන්න

සමන්මලී ප්‍රියශාන්ති

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අයථා ලෙස ඉපැයු මුදල් රුපියල් මිලියන 781 ක මුදලක් ඕස්ට්‍රේලියාවේ ආයෝජනය කර ඇති බවට සැකයක් මතු වන බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියාවේ පදිංචි වෘත්තියෙන් වෛද්‍යවරුන් වන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඕස්ට්‍රේලියානු ඩොලර් 65,00,000 මුදලක් වැය කර සමාගමක් ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අයථා ලෙස උපයන ලද මුදලින් දැයි සොයා බලන ලෙස තමා පොලිස් විශේෂ විමර්ශන ඒකකට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කළ බව ද ඒ මහතා කීවේය. හෙතෙම මේ අදහස් පළ කළේ කොළඹ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදීය.

මොවුන් දෙදෙනාට ඕස්ට්‍රේලියාවට ගොස් වසර කිහිපයක් ඇතුළත මෙපමණ මුදලක් උපයා ගැනීමට නොහැකි බවත් මොවුන් දෙදෙනා උදය ගම්මන්පිල මහතාගේ අතිසමීප මිතුරන් බවත් උදය ගම්මන්පිල මහතාගේ බිරිය වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙම වෛද්‍යවරුන් විසින් මිලට ගත් නිවසක බවත් පවසන නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මේ නිසා මෙම මුදල් උදය ගම්මන්පිල මහතා අයථා ලෙස උපයන ලද මුදල් බවට සැකයක් මතු වන බවත් පැවැසීය.

රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසක් ගම්මන්පිල මහතාට එරෙහිව තිබෙන බවත් අයථා මුදල් ඉපැයීමේ චෝදනාද තිබෙන බවත් පැවසු ඒ මහතා, මේ නිසා මෙම සැකය මතු ව තිබෙන බවත් සඳහන් කළේය.


නව අදහස දක්වන්න

Or log in with...