අපරාධ යුක්තිය පසිඳලීම කඩිනම් කිරීමේ වාර්තාව ජනපතිට | දිනමිණ

අපරාධ යුක්තිය පසිඳලීම කඩිනම් කිරීමේ වාර්තාව ජනපතිට

අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් ‍පී. පෙරේරා මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අධිකරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය යන අමාත්‍යාංශවල කටයුතු අධීක්ෂණය කිරීම, එහි සාධනීය මට්ටම ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඇගැයීම, අධීක්ෂණය හා සමාලෝචනය නිරතුරුව සිදු කිරීම සඳහා නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පත්කරන ලදී.

අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස නියෝජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සාර්ථකත්වය රඳා පැවතීමට නම් වඩා නිවැරදි හා සාධාරණ වූ අධිකරණ තීරණ මහජනතාවට ප්‍රමාදයකින් තොරව ලබාදීම කළ යුතුය. ඒ සඳහා නීත‍ියේ නියමුවන් ලෙස කටයුතු කරනු ලබන නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය පරිදි නීති රාමුව සකස් කරදීම රජයේ වගකීමකි. වර්තමාන සමාජයේ අවශ්‍යතාවට සරිලන ආකාරයට මෙම ආයතනයන්හි කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තුළින් එකී ආයතනයන්හි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමව හා යාවත්කාලීනව සිදු කළයුතු බැවින් ඒ සඳහා වන අවශ්‍යතාවන් හඳුනාගෙන සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේ අරමුණයි.

අධිකරණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු කිහිපයක් පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර අධිකරණ ක්ෂේත්‍රයේ මානව සම්පත මෙන්ම යටිතල පහසුකම් ද සංවර්ධනය කරමින් නවීන තාක්ෂණය සමඟ එය නවීකරණය සහ යාවත්කාලීන කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, අජිත් පී. පෙරේරා, දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, නීතිපති ජයන්ත ජයසූරිය, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


නව අදහස දක්වන්න

Or log in with...