සිර ගෙදරට සිනාවක් | දිනමිණ

සිර ගෙදරට සිනාවක්

බුද්ධිකා ඉඹුලාන

කඳුළු අතරින් සිනා රැන්දූ වැලිකඩ සිරගෙදර අරුමැසි මොහොත...

‘දුවේ! තාත්තා ඔයාව බලන්න ගෙදර එනවද? ...

ඔව්! තාත්තා තමයි අම්මා බලන්න එන්න සල්ලි දුන්නෙත්. තාත්තා මාව බලන්න එයිද දුවේ?

තාත්තට එන්න ඕනෑ වුණත් කුඩම්මා එන්න දෙන්නේ නෑ අම්මේ. දැන් තාත්තා හරියට දුක්වෙනවා අම්මා ගැන ....

එයාට කියන්න මම තරහා නෑ, මම හිතහදාගෙන ඉන්නේ කියලා. තාත්තටයි කුඩම්මාටයි සතුටින් ඉන්න කියන්න. මගේ හිතේ එයා ගැන වෛරයක් නෑ ... ඇය සුසුම්ලයි.

ජීවිතයේ කොතැනක හෝ වැරදීම නිසා අද ඇය වැලිකඩ සිපිරිගෙය සිරදඬුවම් විඳින්නීය. ඇගේ එකම දියණිය ඇය බලන්නට පැමිණ ඇත්තේ පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පැවැති රැඳවියන්ගේ පවුල් හමුව දිනයේදී රසමසවුළුවලින් සපිරි බත් වේලක්ද හදාගෙන.

ඒ අම්මාත් දුවත් තම දෑස අගින් රූරා වැටෙන කඳුළු වරින්වර සියතින් පිසදමමින් ආ-ගිය තොරතුරු කතා කරනවා. හරිම සංවේදියි. ජීවිතයේ කවදාවත් ඇයට තම දියණියත් එක්ක එකවහලක් යට ජීවත්වන්න වාසනාව නැතිවේවි? දැනටමත් සැමියා ඇය හැර ගිහින්.

මරණ දඬුවම නියම වුණ, ජීවිතාන්ත සිරදඬුවම් විඳින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 500ක් පමණ දෙනාට තමන්ගේ මව්පියන්, බිරිඳ - සැමියා, දරුවන්, ඥාතින් බැලීමට ඉඩකඩ ලැබෙන්නේ මාසයකට විනාඩි කිහිපයක් පමණයි. එහෙත් පසුගියදා උදාවුණු සිරකරු දිනයට සමගාමිව ‘සිරකරු පවුල් හමුවක්’ පැවැත්වීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා කටයුතු යෙදුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ මහතාගේ විශේෂ අවසරයක් මතයි.

යදම් රහිතව සිරමැදිරිවලින් පිටතට ආ මෙම සිරකරුවන් තමන්ගේ බිරිඳ - සැමියා, දූදරුවන්, ඥාතින් සිප වැලඳගෙන සතුටු කඳුලු වගුරන අවස්ථාව කාකි නිල ඇඳුමින් සැරසුණු බන්ධනාගාර නිලධාරීන්ගේද නෙතට එක් කළේ කඳුලක්.

තම පවුලේ සාමාජිකයන් සමඟ එකම මේසයක වාඩිවී කෑමවේලක රසවිඳින රැඳවියන්ගේ මුහුණේ හසරැලිය. ඔවුන් තම දූදරුවන්ට බත් පිඩක් කවන්නේ උතුරා යන සෙනෙහෙසිනි. ඒ සෙනෙහස ඉක්මවා දෝරෙ ගලන ඔහු තම උස්මහත්වූ දරුවනට මෙන්ම ආදරණිය බිරිඳගේද මුවෙහි බත්පිඩක් තබමින් මහත්වූ සෙනෙහසින් ඈ දෙස බලා සිටියි. ඔහු වසර 18ක් තිස්සේ වැලිකඩ සිපිරිගෙයි යකඩ කූරු අතර ඇය මේ සියලු දුක් දරාගෙන දරුවන් යහමග යවන්නට වෙරදනවා.

මගේ මහත්තයා බන්ධනාගාරගත ‍වෙනකොට අපේ එක් දරුවෙකුට අවුරුදු 03 අනෙක් දරුවට 07යි. දැන් එයාල කසාද බඳින වයස . එයාලා බලන් ඉන්නේ තාත්තා නිදහස් වෙනකම් ඒ කටයුතු කරන්න. මහත්තයා ඉක්මනට නිදහස් වෙලා අපි අතරට එයි කියලා විශ්වාස කරනවා. අපි ජීවිතේ පටන්ගන්න කොටම වුණ ඒ අවාසනාවන්ත සිද්ධියට දැන් එයා හුඟක් කල් දුක්වින්දා. මම දුක්මහන්සියෙන් හම්බ කරල දරුවන්ට ඉගැන්නුවා. අද එයලා කරදරයක් නැතිව ඉන්නවා. ඒත් මහත්තයා නැති අඩුව අපේ හිත්වලින් ඈත්වෙන්නේ නෑ. ජීවිතේ අවසාන කාලයේ හරි අපිත් එක්ක එකවහලක් යටට මහත්තයා එවන්න කියලයි අපේ ප්‍රාර්ථනාව, ඇය දොඩමළු වන්නීය.

තවත් තැනෙක තම තරුණ පුතුට ළං ව මහත් සෙනෙහසින් බත් කවන වියපත් මවකි. සමාජයට ඔහු මිනීමරුවකු වුවද ඇයට නම් ඔහු තම ‘චූටිපුතා’ය. මේ තරුණයාගේ පියා යම් පුද්ගලයකු විසින් ‘සාහසික ලෙස ඝාතනය කර තිබිණි. ඔහුද එයට පලියට පලිය ගනිමින් එම ඝාතකයා මරා දැමීම නිසා මෙසේ මරණ දණ්ඩනය උරුම වී තිබේ.

තම පුතුට බත් කවන ඇය බන්ධනාගාර නිලදරුවාට කියන්නේ සිරබත් කන තම පුතු හදාවඩාගන්නට විඳි දුකයි. ‘මහත්තයෝ අපි අන්ත අසරණ දුප්පත් මිනිස්සු . මේ දරුවගේ තාත්තා එයාගේ තරහකාරයෝ මරා දැම්මේ මෙයා අතදරුවෙක් කාලේ. මේ දරුවා හදාගන්න මම පෝසත් ගෙවල්වල කුලි වැඩ කළා. එළවළු වික්කා. කීරකොටුවල වැඩ කළා. මේ ළමයා හොඳින් හදාගන්න ඕන නිසා මම ආයේ කසාද බැන්දෙත් නෑ. ඒත් මහත්තයෝ දුප්පත්කමයි, තාත්තෙකුගේ ආරක්ෂාවයි නැති නිසා මේ කොල්ලා නොමඟ ගියා. අන්තිමට එයා තාත්තාගේ මිනීමරුවව මරා දැම්මා. අද ඉතින් එල්ලුම්ගස්. ඇය කඳුළු සලයි. ඇය අද අසරණය. සැමියා නමින් ලද රන්කැටි පුතු අද වැලිකඩ බන්ධනාගාරයේ අඳුරු කුටියක හුදකලාව තැවෙයි.

දරුවන් - මාපියන් - සැමියන් - බිරින්දැවරුන් එක්ව වරෙක සිනහා සෙමින්, වරෙක කඳුළු සලමින් සිටින රැඳවියන් අතරේ අවුරුදු 40ක් පමණ ඉක්මවූ කාන්තාවක් රැඳවියකුගේ අතින් අල්ලාගෙන ප්‍රේමණීය හෝරා කිහිපයකට මුලපුරනු පෙනෙයි. ඇය අත කලාත්මක පෙම්පතකි. එය ඇය විසින්ම සිතුවම් කර ඇත. තුරුණු විය ඉක්මවා යමින් සිටියද ඇය රූමත් ලඳක්ව සිටි බවට නම් සාක්ෂි පෙනෙන්න ඇත්තේය.

ඇයගේ කතාව සිනමා සිත්තමක් වැන්න. සිව්වසරක ප්‍රේම සම්බන්ධයක් මල්ඵල ගන්වමින් ඔවුන් දෙදෙනා විවාපත්වන්නට තිබුණේ දෙමසකටත් අඩු කාලයකි. අවාසනාවන්ත ලෙස ඇයගේ පෙම්වතා අතින් මනුෂ්‍යයකු ඝාතනය වන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කරමිනි. ඒ සම්බන්ධ නඩු කටයුතු සිදුවන අතරදී විවාහ වුවද විවාහ දිවියේ සුන්දරත්වය අත්විඳින්නට ඔවුන්ට ලැබුණේ ඉතාම කෙටි කාලයක් නිසා ඇයට දරු සුරතල් බැලීමටද වරම් නොලැබුණි. බීමත්කමත් නරක මිතුරන් ඇසුරත් නිසා අවසානයේ තමන්ට එල්ලුම්ගස හිමිවුවද ඔහුට තම ප්‍රියාදර බිරිඳ නම් අහිමි වී නැත්තේය.

වසර 19ක් තිස්සේ සෑම මසකම වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙන ඇය, අවංක ස්ථිර ආදරය කුමක්දැයි පසක් කර දෙන්නීය. තම ජීවන ගමන ගෙනයන්නට ඇවැසි වියදම් පෞද්ගලික ආයතනයක පවිත්‍රතා රැකියාවක නිරතව උපයා ගන්නා ඇය පතිදම් සුරකිමින් තම සැමියා කෙවදා හෝ නිදහස ලබා එතැයි විශ්වාසයෙන් සිටින්නීය.

ඇයට අපි හිමාෂි යැයි කියමු. ඇය තම මව්කුස සිටියදි සිය පියාණන් සිපිරිගෙට නියමවන්නේ අවාසනාවකටය. ගෙවී ගිය 16 වසර පුරාවටම ඇය තම පියාණන් ‘ජම්පරය’ හැඳ සිටිනවා මිස වෙනත් ඇඳුමකින් සිටිනවා දැක නැත. අකුරු කරන්නට මුලින්ම පාසල් ගියදා ඇයගේ පන්තියේ අනෙක් දරුවන් අම්මාගේත් තාත්තාගේත් අතේ එල්ලි පාසල් ගියද ඇයට ඒ වරම අහිමි වන්නේ තාත්තා සිපිරිගෙයි රඳවා සිටි නිසයි. ආර්ථික වශයෙන් හිමාෂිට දුෂ්කරතා රැසකට මුහුණදෙන්නට සිදුවූ නිසා අඩාල වන්නට ගිය අධ්‍යාපන කටයුතු වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන හා පරිපාලන අංශයේ ඉමැකසුලේට් කන්‍යා සොයුරිය සමඟ එක්වී ශිෂ්‍යත්වයක් ලබාදීමෙන් ඵල ගන්වා ඇති අතර ඇය මෙම වසරේදී සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින්නිය.

මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බන්ධනාගාර නිලධාරීන් බලා සිටින්නේ මෙවන් ඉරණමක් කිසිදින සතුරකුට හෝ අත්විඳින්නට සිදු නොවේවායි පතමිනි. තම ආදරිය, ප්‍රිය බිරිඳ, සැමියා, දූදරුවන් සමඟ ගත කළ ඒ සුන්දර ‍හෝරා කිහිපය හිරු බැස යමින් තිබියදී අවසන් වන විට එකිනෙකා වැලඳගෙන සමුගන්නට ඔවුන් සැරසෙයි. එය සෝබර අවස්ථාවකි. දරුවන් සිපිරිගෙදර සිටින අම්මාගේ - තාත්තාගේ ඇ‍ඟේ එල්ලීගෙනය. බිරිඳ සැමියාගේ දෑත් අල්ලාගෙන සමුගැනීමට සූදානමින්ය. සිහින් ඉකියක් සමඟ සැමදෙනාම සමුගන්නට අකමැත්තෙන් හෝ පෙළගැසෙන්නේය. ජීවිතයේ කොතැනක හෝ ඔවුන්ට වැරැදී ඇත. එහෙත් මේ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’. ඔවුන්ද ලතෙත් වූ හැඟීම්බර වූ මිනිසුන්ය. දරු දුක ඔවුනටද දැනෙන්නේය. වරද කරන විට නොසිතු බොහෝ දේ සිපිරිගෙයි අඳුරු මුල්ලක තනිව කල්ගෙවන ඔවුනට මතක් වන්නේය.

ඒ අඳුරු බර සිතිවිලිවලින් ඔවුන් හෙම්බත් නොවන්නට වැලිකඩ බන්ධනාගාරය මේ සිරකරුවන්ට පුනරුත්ථපනයට යොමු කිරීම මෙන්ම මෙවැනි පවුල් හමුවක් සූදානම් කර ඔවුන්ට දවසකට හෝ සතුට උරුමකර දෙන්නට කටයුතු කිරීම ප්‍රශංසනීයය. යම් දිනෙක සමාජගත වන්නට මේ රැඳවියන්ට වාසනාව ලද්දේ නම් තමන් සිපිරිගෙය තුළ විඳි අනේක මානසික පීඩාව ඔවුන් ලෝකයට හඬගා කියනු ඇත.

දුක සතුට මුසුවුණු ඒ හෝරා කිහිපයෙන් ඈත්වී යන තම නෑ හිතමිතුරන් දෙස දුක්බරව බලා සිටින රැඳවියකු වෙනුවෙන් මුවඟින් ගී පද කොටසක් මුමුණන්නට හැකි නම්, සුනිල් එදිරිසිංහයන් ගයන ගීයක පදවැල් කොටසක් මෙසේ කියමි.

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දූදනන් නිසා විය සෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

විශේෂ ස්තූතිය - වැලිකඩ බන්ධනාගාර
අධිකාරි චන්දන ඒකනායක මහතාට


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...