සමන් ආරියරත්නගේ බයෝ හයිබ්‍රිඩ් රථය | දිනමිණ

සමන් ආරියරත්නගේ බයෝ හයිබ්‍රිඩ් රථය

උදිත ගුණවර්ධන
නන්දික බැද්දේගම

පුංචි මිනිසකුගේ එක් උත්සාහයක් අනාගතයේ මහා පෙරළියක ඇරැඹුමක් විය හැකිය. අවුරුදු දහස් ගණනක් සතුන්ගේ කර මතින් තම ප්‍රවාහන කටයුතු සලසා ගත් මිනිසාගේ ප්‍රවාහන ක්‍රමවේදය වෙනස් කළ තීරණාත්මක කඩඉම වුයේ “ රෝදය “ සොයා ගැනීමය. ඒ සොයා ගැනීම මහා පෙරළියකට ආරම්භයක් වෙතැයි එදා කිසිවකු නොසිතුවද විදුලි මෝටර් රථය , විදුලි දුම්රිය ඇතුළු නූතන දියුණු ප්‍රවාහන ක්‍රමවලට ආරම්භය වූයේ මේ සොයා ගැනීමයැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ලෝකයේ පළමු එන්ජිමකින් ක්‍රියාත්මක වු වාහනය ධාවනය වූයේ 1885 අවුරුද්දේය. එදා මෙම රථය පරීක්ෂණ මට්ටමින් ධාවනය කෙරෙද්දී අද තරම් දියුණුවක් ප්‍රවාහනය තුළ සිදු වෙතැයි කිසිවකු සිහිනෙකින් හෝ නොසිතුවා විය හැකිය. එහෙත් අවුරුදු 130 ගත වූ තැන අද තත්ත්වය විශ්මය ජනකය. අපේ රටට පළමු වරට මෝටර් රථයක් පැමිණියේ 1906 වර්ෂයේදීය. මේ සියල්ල එසේ සිදු වුවද අවුරුදු සියයකටත් වැඩි කාලය තුළ අපේ යැයි කියා මෝටර් රථයක් නිෂ්පාදනය කරන්නට කළ උත්සාහයන් පවා සිදු වුයේ අතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. අසූව දශකයේ වානිජ මට්ටමින් උපාලි විජේවර්ධන මහතා මෙරට තාක්ෂණයෙන් සහ ශිල්ප දැනුමෙන් එකලස් කළ වාහනයක් හඳුන්වා දුන්නද ඔහුගේ අතුරුදහන් වීමත් සමඟ ක්‍රමයෙන් මේ උත්සාහයද වියැකි ගියේය.ඉන්පසුව මෙරට තුළ වාහන එකලස් කිරීම් සිදු කළද අපේම උත්සාහයෙන් මෙරටදීම මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමේ උත්සාහයක් නොවුණි.

දශක කිහිපයකට පසු නැවත මෙරටදීම මොටර් රථයක් නිෂ්පාදන කරන්නේ කලුතර ප්‍රදේශයේ උපන් මාතර ප්‍රදේශයේ වාසය කරන ඉංජිනේරුවරයකු විසිනි. ඔහු නමින් සමන් ආරියරත්නය. හේ මාතර ජලසම්පාදන මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන්නෙකි. ඔහු විසින් නිෂ්පාදනය කර ඇත්තේ “බයෝ හයිබ්‍රිඩ් “ ලෙස හඳුන්වනු ලබන රථයකි. මෙය පාපැදියක් පදින ආකාරයට පැඩලයක් භාවිතයෙන් සහ මෝටරයක් භාවිතයෙන් ධාවනය වන රථයකි. බැලු බැල්මට ප්‍රාථමික තත්ත්වයේ ඇති රථයක් ලෙස පෙනුනද මෙහි ඇති තාක්ෂණය දියුණු කිරිම මගින් වඩාත් ප්‍රතිපලදායක නිෂ්පාදනයක් බවට පත් කර ගත හැකිය. ඉංජිනේරු සමන් ආරියරත්න මහතා මෙයට පෙරද විවිධ නව නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ.ඔහුගේ එම නව නිපැයුම් සඳහාද ඉහළ ප්‍රතිචාර ඒ කාලයේදී ලැබී තිබේ.

“කොහොමද මේ විදිහේ නිෂ්පාදනයක් කරන්න ඕනැ කියන සංකල්පය ඇති වුණේ.“? අප සමන් මහතාගෙන් විමුසුවෙමු.

“ මම මේ දේ නිර්මාණය කළේ ලෝකයට නොවෙයි මගේ පරිහරණයටයි. අද මම මේක ව්‍යායාම උපකරණයක් විදිහටත් කෙටි ගමන් බිමන් සඳහාත් පාවිච්චි කරනවා.

“ ව්‍යායාම උපකරණයක් විදිහට.? අප මුවෙන් එම ප්‍රශ්නය මතු වුයේ අපටත් නොදැනීය

.“ නැහැ මේක අවශ්‍ය ඕනැම වෙලාවක බයිසිකලයක් වගේ පැදගෙන යන්න පුළුවන්..එහෙම වෙලාවට මේකෙන් ලොකු ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වගේම කඩපිලට යන්න පොළට යන්න කියාපු වාහනේ.වාහන තදබදයටත් විසැඳුමක්. අද කාර්යබහුල වෙලාවට කිලෝ මිටරයක් දෙකක් කාර් එකේ යන්න විනාඩි තිහක් යනවා නම් මේ වාහනේ යන්නේ විනාඩි පහළොවයි.

“ කොහොමද ලැබෙන ප්‍රතිචාර.? මිළඟ පැණයද අප ඉංජිනේරුවරයා වෙත යොමු කළෙමු. “ ගොඩක් අයට මේකෙ මම යද්දි විශ්මයක් කඩයක් ළඟ නවත්තන්න බැහැ සෙනග පිරෙනවා.. මම හැම වෙලාවෙම තරුණ දරුවන්ට කියන්නේ එක දෙයයි මේ වගේ අලුත් දේවල් හදන්න සිතට ගන්න අපි දන්නවා හොඳට හිතන්න පුළුවන් තරුණ පිරිසක් රටේ ඉන්නවා කියලා. ඒ අයට අවශ්‍ය සහාය රාජ්‍ය මට්ටමෙන් ලැබෙනවා නම් ගොඩක් හොඳයි.

ඉංජිනේරු සමන් ආරියරත්න මහතා විසින් නිෂ්පාදන කර ඇති බයෝ හයිබ්‍රිඩ් රථය මෙරට නිෂ්පාදනය කළ පළමු බයෝ හයිබ්‍රිඩ් රථය මෙන්ම මෙරට ධාවනය වන පළමු බයෝ හයිබ්‍රිඩ් රථය ලෙසද සඳහන් කිරීමේ වරදක් නැත.

“මේ රථය සියයට සියයක්ම දේශිය නිෂ්පාදනයක්ද.?“ අනිවාර්යෙන්ම ..මම නිතරම උත්සාහ කළේ ඉවත දමන දේවල් මගින් මේ රථය නිෂ්පාදනය කරන්න . මේක පරීක්ෂණයක් විතරයි පහසුකම් සහ අවධානය ලැබුණොත් අපට පුළුවන් මේ රථය තව දුරටත් දියුණු කරන්න. මෙහිදී මම විශේෂයෙන්ම මතක් කළ යුතුයි බොරැල්ල ඇල්ෆා විදුලි යතුරු පැදි ආයතනය ඒ අය මට මෝටරය නිෂ්පාදනය සඳහා විශාල සහායක් දුන්නා.

මෙම නව රථයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියකින් මෙම රථය ධාවනය වීමය. “වාහනේ මෝටරේටම තමයි ගියර් සිස්ටම් එක හයි කර තිබෙන්නේ“ ඔහු කියන කතාව සැබෑය නව රථය කඳු පල්ලම් පහසුවෙන් තරණය කරමින් ඉදිරියට යන අයුරු අපට දැක ගැනීමට පුළුවන් විය.

මෙම රථයේ අනෙක් සුවිශේෂත්වය වන්නේ බැටරිය වාහනයේ සවිකර ඇති ඩයිනමෝවකින් ස්වයංක්‍රියව ආරෝපණය වීම සහ ප්‍රධාන විදුලිය සම්බන්ධ කිරිමෙන් ආරෝපණය කිරීමට හැකියාව තිබෙනවා. මෙහි ස්වයංක්‍රීයව ආරෝපණය සිදු වන්නේ රථය පාපැදියක් ලෙස පැදගෙන යාමේදීය. මෙයට සම්බන්ධ කර ඇත්තේ වොට් 58 ක අයන් බැටරියකි. වෙළෙඳ පොළෙන් ගත්තානම් රුපියල් පනස් දහසක් පමණ වටිනා වාහනයේ බැටරිය ආරියරත්න මහතා හිතවතෙකු මාර්ගයෙන් සොයා ගෙන ඇත. රොද සඳහා අවශ්‍ය කරන රිම් තම පුතුගේ ඉවත දැමු පාපැදි දෙකකින් සොයා ගෙන තිබේ.

මේ වගේ වාහනයක් නිෂ්පාදනයට කොතරම් වියදමක් යනවාද.? අප මීළඟ ප්‍රශ්නය යොමු කළෙමු. “ම්... මට නම් ලොක් වියදමක් ගියේ නැහැ.ඒත් දළ වශයෙන් ලක්ෂයකට වැඩි මුදලක් මේ සඳහා වැය වෙනවා.

මෙවැනි රථයක් මෙරට නිපැදවූ පළමු අවස්ථාව වන නිසා එයට පේටන් බලපත්‍රයක් ලබා ගැනීමටද නියමිත අතර ඒ සඳහා වූ කටයුතු ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබේ.

මෙම රථයේ බාහිර අලංකාර කටයුතු සියල්ල ඉංජිනේරු සමන් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති අතර මේ සඳහා තහඩු නැවීම් මෙන්ම අලංකාර වීදුරු විශේෂ යොදා ගෙන තිබේ.

ඔබේ අනාගත අපේක්ෂා මොනවාද.? අප තවත් පැණයක් යොමු කළෙමු. මට නම් ලොකු බලාපොරොත්තු නැහැ. මම රජයේ රැකියාවක් කරන වෘත්තිකයෙක්.ඒත් මම මේ දේ කරන්නේ හිතේ ආශාවට. රටට අලුත් දෙයක් හඳුන්වා දීලා රටට ආදායමක් ගන්න නැතිනම් විදේශ විනිමය ඉතිරි කර ගන්න පුළුවන් නම් ඒක මට ඇති. අවශ්‍ය තැන්වලින් සහාය ලැබෙනවා නම් මට මේක දියුණු කරලා පුළුල් විදිහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

නිපදවා ඇති බයෝ හයිබ්‍රිඩ් රථයේ ගමන් වේගය හා ගමන් කළ හැකි දුරද තව දුරටත් වර්ධනය කළ හැකි අතර දැනට මේ රථය පැයට කිලෝ මීටර් 25 පමණ උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර දැනට මෙය එක් ආරෝපණයකින් කිලෝ 25 පමණ ධාවනය කළ හැකිය. මූලික වශයෙන් මෙය සාමාන්‍ය වර්ධනයක් වුවද මෙය ක්‍රමානුකුලව දියුණු කළ හැකි තත්ත්වයකි. සියල්ලන්ටම විදෙස් රටවලට දත නියවන රටක මේ ආකාරයක නව නිර්මාණයක් ගැන සිතීම පවා අගය කළ යුතුය. අපිට කිසිවක් බැරි යැයි අත පය හකුළා ගෙන සිටීමට වඩා අලුතින් ගමනක් ආරම්භ කිරීමට සිතීම පවා අගය කළ යුතුය. දැන් එළඹ ඇත්තේ ඉංජිනේරු සමන් ආරියරත්නයන් වැන්නන් තව තවත් අවශ්‍ය කරන කාලයකි.

නව අදහස දක්වන්න