කළුබෝවිල “ඇස්” අඳුරේ | දිනමිණ

කළුබෝවිල “ඇස්” අඳුරේ

දකුණු කොළඹ මහ රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලකි. මනුෂ්‍යයන්ට වැලඳෙන සියලුම රෝගවලටත් හදිසි අනතුරුවලටත් ප්‍රතිකාර කරන මේ මහ ‍රෝහලේ දැනට නේවාසික වාට්ටු ප්‍රමාණය තිහකට වැඩිය. බස්නාහිර පළාතේ කොළඹ අවට අසරණ රෝගීන් මෙන්ම හොරණ - කළුතර - පානදුර ප්‍රදේශවල රෝගීන් ද තම තමන්ගේ විවිධ රෝගවලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ දකුණු කොළඹ මහ රෝහලට ය. මෙම රෝහල ශික්ෂණ රෝහලකි. දිනකට විසිපන්දහක් පමණ පිරිස් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන අතර සතියේ දවස් හතම විවිධ රෝග සඳහා සායන විශේෂඥ වෛද්‍යවරු විසින් පවත්වන අතර අලුයම තුනේ සිට එම සායනවලට රෝගීන් පැමිණේ. දකුණු කොළඹ රෝහලේ වෙනම ම අංශයක් ඇස් රෝගීන් සඳහා ඇත. දවසේ උදේ අටේ සිට හවස් වනතුරු ඇස් රෝගීන් ට ප්‍රතිකාර කරන මෙම ඒකකය පිහිටා ඇත්තේ මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක දෙවන මහලේය. ඇස් රෝගීන් සඳහා ගැහැනු - පිරිමි වාට්ටු දෙක ද පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේය. මෙම වාට්ටු පිරිසුදුවට පියකරුව තිබෙන අතර එහි අඩුපාඩු නොමැත. නමුත් ඉතා කනගාටු දෙයක් සිදුවී ඇත. දැනට මාස කීපයක සිට ඇස් රෝගීන්ගේ ඇස් පරීක්ෂා කරන ලේසර් මැසිම, යාන්ත්‍රික දෝෂයක් නිසා ක්‍රියාවිරහිතව ඇත. ලේසර් යන්ත්‍රය නොමැතිව ඇස්වල බොහෝ ආබාධයන් පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන්ට අපහසුය. ඇසේ ඇති සියුම් කොටස් හා නහර පහසුවෙන් සොයා බැලීමට මෙන්ම ඇස් නොපෙනෙන රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාවට ද ඉතා වැදගත් කාර්යයක් මෙම යන්ත්‍රය මඟින් කිරීමට හැකියාව ඇත. නමුත් මේ ලේසර් කිරණ යන්ත්‍රය අබලන්ව කැඩී ඇති නිසා ඇස් පරීක්ෂාවට එන බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අපහසු තත්ත්වයක් කළුබෝවිල රෝහලේ පවතී. මේ නිසා දුප්පත් අහිංසක රෝගීන් අසරණ වී ඇත.

ඇස් පරීක්ෂා කරන වෛද්‍යවරුන් රෝගීන්ට ඇස් පරීක්ෂා කිරීමට වෙනත් පෞද්ගලික රෝහල්වලට යැවීමට කටයුතු කර ඇත. මේ නිසා කබලෙන් ලිපට වැටෙන්නේ අහිංසක රෝගීන්ය. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ගෙවන්න මුදල් නැති අසරණ රෝගීන් ලේසර් මැසිම හදනතුරු තව දිගු කලක් ඇස වසාගෙන සිටිය යුතුය. ඇසේ සුද, ක්‍රමක්‍රමයෙන් අන්ධ භාවයට පත්වීම, පෙනීම අඩුභාවය, ඇස් දෙකට ඉහළින් ඇති නළල් තලය ‍වේදනා ඇති කිරීම, ඇසට සම්බන්ධ සියුම් ලේ නහර ක්‍රියාත්මක නොවීම මහලු වයසේ වැලඳෙන රෝග විනිශ්චය කිරීම පහසු කරන ලේසර් කිරණ යන්ත්‍රය මෙසේ අබලන්වීමෙන් වඩාත්ම අසරණ භාවයට පත් වී ඇත්තේ වයෝවෘද්ධ වැඩිහිටි ඇත්තන්ය. කනවැල අල්ලගෙන යන්න හව්හරණක් නැති අසරණයන්ට එකම බලාපොරොත්තුව රෝහලයි. ඒත් රෝහලද මෙලෙස අඩපණ වන්නේ නම් ඇස් රෝගීන්ට කාගේ පිහිටක් ද? අනවශ්‍ය වියදම් අඩුකර ජනතාවගේ නිරෝග සුවය වෙනුවෙන් වැඩ කරන මිනිසුන් අද නැතිවීම ජාතියේම අවාසනාවකි.

චන්ද්‍රසිරි ගොමිස්
කළුබෝවිල

නව අදහස දක්වන්න