වර්ජනයේ පසු විපරම! | දිනමිණ

වර්ජනයේ පසු විපරම!

දුම්රිය වර්ජනය පිළුණු මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ යළිත් පෙර පරිදි දුම්රිය ධාවනය වන බැවින් ය. එහෙත් මේ වර්ජනය විසින් ඇති කරන ලද තවත් අතුරු ප්‍රශ්න ගණනාවක් තිබේ. ඒවා එක තැන පල්වෙන බවක් පෙනෙන්නට තිබේ. ක්ෂණිකව ක්‍රියාත්මක වූ වැඩ වර්ජනය නිසා මගීන්ගේ මානුෂික අයිතීන් උල්ලංඝනය වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා කියා සිටී. ඒ හැරෙන්නට දුම්රිය රියදුරු සහායකයන්ගේ වැටුප් වැඩි කළහොත්; සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩ වැරීමට සූදානමින් සිටින බව ද දැනගන්නට ලැබේ.

මහජනයාගේ පැත්තෙන් ගතහොත් වර්ජනය නිසා ඔව්හු බලවත් අසීරුවකට පත් වූහ. සාමාන්‍යයෙන් දුම්රිය වර්ජන සිදුවන්නේ මධ්‍යම රාත්‍රියේ සිට ය. මෙවර ඒ වෙනුවට හැන්දෑවේ පහේ සිට වර්ජනය ක්‍රියාත්මක විය. මගීන් නිවෙස් බලායෑමට එන මොහොතේ වර්ජනය ක්‍රියාත්මක වූ නිසා තත්ත්වය තරමක් උණුසුම් විය. කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල කලහකාරී තත්ත්වයක් ද දැකගන්නට ලැබිණි. වර්ජනයට ජනතාව දැඩි විරෝධතාවක් දැක් වූ අතර ආරක්ෂක අංශවල මැදිහත්වීම නොවන්නට සැලකිය යුතු විනාශයක් සිදුවන්නට ද ඉඩ තිබිණි. මහජනයාගේ කෝපය සාධාරණ යැයි කියන්නට පුළුවන.

වෘත්තීය සමිති පැත්තෙන් බලන විට ඔවුනට ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ අයිතියක් තිබේ. එහෙත් එම අයිතිය භාවිතයට ගත් ආකාරය යුක්ති සහගත ද යනු ප්‍රශ්නයකි. රියදුරු සහායකයන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යාංශය ඇත්තේ එක ස්ථාවරයක ය. වෘත්තීය සමිති ඇත්තේ තවත් ස්ථාවරයක ය. මේ සම්බන්ධයෙන් නඩුවක් පවා විභාගවන බව ද දැනගන්නට ලැබේ. වෘත්තීය සමිති එක්කෝ එම නඩු තීන්දුව එනතුරු සිටිය යුතුය. නැතහොත් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකොට විසැඳුමකට යා යුතුය. කෙසේ වුව වර්ජනයක් සිදු කරන්නේ නම්; පූර්ව දැනුම්දීමක් කිරීම සදාචාරාත්මක පිළිවෙතය.

රාජ්‍ය සේවකයන් බඳවාගැනීම, විශ්‍රාම ගැන්වීම, උසස්වීම් ලබාදීම හා වැටුප් වැඩි කිරීමත් සම්බන්ධයෙන් පොදු පිළිවෙතක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ ඒ ආයතන විවිධ රෙගුලාසි හා චක්‍රලේඛ භාවිත කරමින් ඉහත සඳහන් කටයුතු සඳහා තීන්දු - තීරණ ගන්නා බව පෙනෙයි. නිරීක්ෂණයක් කළහොත් සෑම රාජ්‍ය ආයතනයකම පාහේ සේවක ප්‍රශ්න ඇති බව පෙනී යයි. ඒවා විසඳාගැනීම සඳහා වෘත්තීය සමිති වරින් - වර වර්ජනවලට පෙලඹෙන බව ද දකින්නට ලැබේ. වර්ජන රැල්ලක් දකින්නට ඇතැ’යි කීම නිවැරැදි ය. ඇතැම් ආයතනවල වෘත්තීය සමිති පරිපාලනය අතර ගැටුම් පවතී. තව ආයතනවල වෘත්තීය සමිති අතර ගැටුම් පවතී. තවත් ආයතනවල දේශපාලන ගැටුම් පවතී. මේවා පුපුරා යන්නේ ජනතාව අපහසුවට පත් කරමින් ය.

ප්‍රවාහනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවල වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් එය කෙළින් ම ජන ජීවිතය කඩා වැටීමට බලපායි. පසුගිය දා පැවැති දුම්රිය වර්ජනය නිසා රටේ නිෂ්පාදනය කෙතරම් පහළ ගියේ ද, වැඩ කරන මිනිස් පැය ගණන කෙතරම් පහළ ගියේ ද යන්න ගැන කිසිවකුත් විමසීම් කරන්නේ නැත. එහෙත් එය ආර්ථිකයට බරපතළ පාඩුවක් බව බැලූ බැල්මට ම පෙනෙයි. වර්ජනය පැවැති දා කොටුව දුම්රිය ස්ථානයට පැමිණි විදේශීය සංචාරකයෝ විමතිය පළ කරමින් ආපසු ගියහ. එය රටේ සංචාරක කර්මාන්තයට බලවත් පහරක් බව කිව යුතුය. ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග හොඳ තත්ත්වයක නැති රටවල් කෙරෙහි සංචාරකයන්ගේ කැමැත්තක් නැත. මෙබඳු රටවල් කෙරෙහි ආයෝජකයන්ගේ කැමැත්තක් ඇත්තේ ද නැත.

සාමාන්‍ය ලෙස ගත් කල අපේ රටේ වෘත්තීය සමිති නායකයන් රටේ අනාගතය, ආර්ථිකය, මහජනයාගේ අවශ්‍යතා ආදිය ගැන පුළුල් ලෙසින් කල්පනා කරන බවක් පෙනෙන්නට නැත. ඇතැම්හු වෘත්තීය සමිති සඳහා වූ ආචාරධර්ම පවා නොසලකා ක්‍රියාකරති. ඒ බව පසුගිය දා පැවැති දුම්රිය වර්ජනයෙන් ද පැහැදිලි වෙයි. මෙහි දී මහජනයාගේ පැත්ත ගෙන ක්‍රියා කිරීමට රජයකට සිදු වනු ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙන ලෙස ආරක්ෂක අංශවල සහාය ලබාගෙන හෝ මෙබඳු අවස්ථාවල දී දුම්රිය ධාවනය කළ යුතුය.

සේවක ගැටලු විසඳා ගැනීමේ දී වෘත්තීය සමිති ක්‍රියා කළ යුතු ආකාරය එක අතෙකින් පවතින අතර මෙබඳු අවස්ථාවක දී පරිපාලනය ක්‍රියා කළ යුතු අන්දම ද හොඳින් සොයා බැලිය යුතුය. දෙපාර්ශ්වය කැත්තට පොල්ල මෙන් සිටීමෙන් ගැටලු විසඳාගැනීම අමාරු ය. දෙපැත්ත ම නම්‍යශීලී වෙමින් ඇත්ත ගැටලු හඳුනාගත යුතු ය. ඔරොත්තු දෙන විසැඳුම් ක්‍රියාත්මක කළ යුතුය. මහජනයා තුළ පවත්නා එක් විශ්වාසයක් වන්නේ ගැටලුවක් විසැඳීමට නම්; ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඉදිරිපත් විය යුතු බව ය. මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. රටේ නායකයන් දෙදෙනාට සියලු ගැටලු සොයා බැලීමට වේලාවක් නැත. එහෙත් දුම්රිය වර්ජනය අවසන් වූයේ ද ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම නිසා යැයි කියන්නට පුළුවන.

රාජ්‍ය සේවයේ පවතින ඇතැම් ගැටලු පහසුවෙන් විසඳාගත හැකි බව සමහරු පෙන්වා දෙති. ඒ සඳහා අවංක මැදිහත්වීමක් කිරීමට ආයතන ප්‍රධානීන් ඉදිරිපත් විය යුතු අතර ඇත්ත ගැටලු හඳුනාගැනීමට වෘත්තීය සමිති සමත් විය යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල එකිනෙක වෘත්තිකයන් අතර එකඟතා නැත. එකිනෙකා තම - තමන්ගේ වෘත්තීය අභිමානය ගැන ම කල්පනාකොට ක්‍රියා කරන බවක් ද දැකගත හැකි ය. ඉහත වර්ජනයට ද රියැදුරු සංගම්වල අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් පවතින බවද හඳුනාගත හැකි ය. එකිනෙක ආයතනවල විවිධ වෘත්තිකයන් තම - තමන්ගේ අභිමානය පාදකකොට වැඩ වර්ජන පැවැත්වීමට ගියහොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

කෙසේ වුව වර්ජන නිසා මහජනයා කුපිත වීම හොඳ දෙයක් නොවේ. දිගින් - දිගටම පැවැති වර්ජන නිසා මහජනයා ලේ රත්වීමකින් සිටින බවක් පෙනෙන්නට තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ජන මීට මූලික ලෙස බලපා ඇතැ’යි කියන්නට පුළුවන. එක අතෙකින් බලනවිට වර්ජන හා උද්ඝෝෂණ නැති දවසක් බලාගැනීම අසීරු ය. නීතියෙන් වාරණ නියෝග ලබා දී තිබිය දී පවා අපේ සමහරු වර්ජන කරති. උද්ඝෝෂණ කරති. මේ අනුව ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක විය යුතුය. වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන රටක මෙලෙස වර්ජන හා උද්ඝෝෂණ පැවැත්වීම ඉදිරි ගමනට බාධාවකි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මෙන් ම එහි අයිතිය ද භුක්ති විඳිය යුත්තේ අනෙකාට හිරිහැරයක් හෝ බාධාවක් හෝ නොවන අයුරින් ය.

නව අදහස දක්වන්න