ගෝල් කෝස්ට් 2018 රැජින යෂ්ටියට ගාල්ලේදී හරසර | දිනමිණ

ගෝල් කෝස්ට් 2018 රැජින යෂ්ටියට ගාල්ලේදී හරසර

ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳ සාමාජික රටවල ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ රැජින නමින් නම් කරන ලද යෂ්ටිය (QUEEN'S BATON RELAY) පිළිගැනීමේ වැඩසටහන පසුගියදා ගාල්ලේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

යෂ්ටිය රැගෙන ‍කොළඹ සිට පැමිණි විශේෂ දුම්රිය පිළිගැනීමේ උත්සව අම්බලන්ගොඩ, හික්කඩුව දුම්රිය ස්ථානවලදී අදාළ නගරවල පෞඩත්වය විදහා දැක්වෙන අයුරින් සංවිධාන කර තිබිණි.

වයිස්රෝයි විශේෂ දුම්රියෙන් ගාල්ල බලා සපැමිණි රැජින යෂ්ටිය රැගත් ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලන දූත පිරිස හා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිත පිරිස පිළිගැනීමෙන් අනතුරුව දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යංශයන්හි සහ එම දෙපාර්තමේන්තුවල පූර්ණ දායකත්වයෙන් පැවැති මේ උත්සවය අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන්, අමාත්‍යංශයන්හි නිලධාරීන්, දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හොල් ඩි ගෝ ශාලාවේ පැවැති නිල උත්සවයෙන් අනතුරුව පැවැති ජන හමුව ඇමැතු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු ගොල්ඩ් කෝස්ට් රැජින යෂ්ටි හුවමාරු හරසර උත්සවය ඉතා ආකර්ෂණීය හා උත්කර්ෂවත්අයුරින් සංවිධාන කර තිබීම පිළිබද දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රධාන දකුණු පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අගැයීමට ලක් කළහ. මෙහි දී අදහස් දැක් වු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා, “හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද දැවැන්ත මලල ක්‍රීඩා පිටියක් ඉදිකරමින් දකුණේ ක්‍රීඩාවට අපි ශක්තිය දෙන්නට සුදානම්. ගාල්ල සහ මාතර මේ වන විට අපි මලල ක්‍රීඩා පිටි ඉදිකර තිබෙනවා.

අපි ලබන වසරේ පළමු වතාවට ලංකාවේ ගමේ දරු දැරියන් දෙමාපියන් ක්‍රීඩාවට සම්බන්ධ කරන වැඩ සටහන ආරම්භ කරනවා. මෙය ලංකාවේ ග්‍රාම සේවා වසම් 14000 දීම ස්වේච්ඡාවෙන් පුහුණුකරුවන් බඳවා ගනිමින් ක්‍රීඩාව ජනසතු කිරීමේ වැඩ සටහන අපි ආරම්භ කරනවා. එක් පැත්තකින් ක්‍රීඩාවේ පදක්කම් දිනා ගැනීම සහ ක්‍රීඩාවට අවශ්‍ය කරන ග්‍රාමීය ශක්තිය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

දකුණ කියන්නේ රටට විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරපු ප්‍රදේශයක්. ඒ අයට ගෞරවයක් ලෙස අද දකුණට මේ යෂ්ටිය රැගෙන ඇවිත් තියනවා. අපේ රට ලෝකයේ පදක්කම් ගන්නා විට දකුණේ ක්‍රීඩකයන් අපිට ශක්තියක් වෙනවා. ඉදිරි තරගවලදීත් මම බලාපොරොත්තු වෙනවා දකුණේ ක්‍රීඩකයන් අපිට පදක්කම් රැගෙන ඒවී කියලා.”

යෂ්ටිය රැගත් මේ පිරිස අද (16) මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

රැජිණ යෂ්ටි හුවමාරුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මගින් විදහා දැක්වෙන ජාතින් හා රටවල් අතර ඇති විවිධත්වය දැක්වෙන එකී ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලට පූර්වගාමිව දින ගණනය කෙරෙන නිළ ප්‍රචාරණ වැඩ සටහනකි. පසුගිය මාර්තු මස 13 දින ලන්ඩනයේ බකිංහැම් මාලිගා‍වෙන් දෙවැනි එළිසබත් මහ රැජිනගේ ක්‍රීඩා පණිවිඩය රුගත් ගොල්ඩ් කෝස්ට් රැජින යෂ්ටිය පොදු රාජ්‍ය මණ්ඩලීය කලාප හයම ආවරණය කරමින් පුරා දින 388 ක් තුළ කිලෝමීටර 230 000 ක දුරක දිගු සංචාරයක යෙදමින් එකී ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දිගම ගමන සනිටුහන් කරයි.

ලංකින්ද නානායක්කාර ඉමදූව සමූහ මහින්ද පී.ලියනගේ ගාල්ල මධ්‍යම විශේෂ 

 

නව අදහස දක්වන්න