විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය | දිනමිණ

විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය

දි නය ගෙවීගිය 2015 ජූලි මස 24 දාය. ස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය හෙවත් කවුරුත් අසන කියන පරිදි හතරවෙනි තට්ටුවය.

"සර්. මං එයාගෙ කරාබු දෙක ගත්තෙ නෑ. වෙනත් කිසිදෙයක් ගත්තෙත් නෑ. ඒත් කණ්ණාඩි කුට්ටම නම් ගත්තා"

" මොකක්. ඇයි ඒක ගත්තේ?

" මං එයාට ආදරය කරා. එයා පස්සෙන් ගියා. එයාව මතක් වෙන්න ඒක තියා ගත්තා"

සිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බි පාපොච්චාරණය කරමින් සිටියේය. සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නිශාන්ත (1259)ය. සැකකරුවන් අත්අඩංගුවට ගත් පමණින් ඔවුන් 'අපරාධකරුවන්' බවට පත්වෙන්නේ නැත. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් විධිමත් ලෙස ප්‍රශ්න කොට අනාවරණය කරගන්නා තොරතුරු අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීමත්, අධිකරණයට කරුණු දක්වා අධිකරණය හමුවේ වැරදිකරුවන් ලෙස තහවුරු කරවීමටත් කටයුතු කළ යුතුය.

රටම කම්පා කළ මෙම අපරාධය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබීමත්, මූලාරම්භයේ දී පොලීසිය විසින් මේ පිළිබඳ නිසි ලෙස පරීක්ෂණ සිදු නොකළ බවට චෝදනා එල්ලවී තිබීමත් සිද්ධියේ බරපතළකම තීව්‍ර කරයි. එබැවින් ඉතා සුළු අතපසුවීමකට හෝ ඉඩ නොතැබීමට තමන් වගබලා ගත යුතු බව පොලිස් සැරයන්වරයා කල්පනා කළේය. ඔහු වහාම තම ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හමුවිය.

"සර්. පෙරියම්බි කියනවා, කණ්නාඩි කුට්ටම එයා ළඟ කියලා."

"ඈහ්? පොලිස් පරීක්ෂකවරයාට එය වැදගත් ආරංචියකි.

තමාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නව දෙනකු අධිකරණ නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින්නේ දින ගණනාවක සිටය. එක් සැකකරුවෙකුට එක් රහස් පොලිස් නිලධාරියකු බැගින් යොදවා දෛනික ප්‍රකාශ සටහන් කරන ලෙස සිද්ධියේ බර කරට ගෙන සිටින සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව සිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බිගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට වගකීම බාර දී තිබුණේ පොලිස් සැරයන් නිශාන්තටය. පොලිස් පරීක්ෂකවරයා වහාම ගොස් සහකාර පොලිස් අධිකාරීවරයා හමුවිය.

" සර් වැදගත් තොරතුරක් ලැබුණා"

"මොකක්ද?"

"ඝාතනයට ලක්වූ දැරියගේ කණ්නාඩි කුට්ටම තමන් ළඟ තියෙනවා කියලා සැකකරුවෙක් පිළිඅරන් තියෙනවා"

"බොහොම හොඳයි. මේ දැන්ම කණ්ඩායමක් අරන් යාපනේ යමු"

එහෙම කීවද, තම ප්‍රධානීන්ට සිද්ධිය දන්වා උපදෙස් ලබාගැනීමට සහකාර පොලිස් අධිකාරීවරයා අමතක නොකළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එදිනම සවස යාපනය බලා පිටත්වූහ. මෙම පිරිස රැගත් ජීප් රථය ධාවනය කරන ලද්දේ ‍රියදුරු පොලිස් සැරයන් අධිකාරි (856) ය. පො. සැ. නිශාන්ත (1259), පො.සැ රයීම් (50041), පො.සැ සියාඩ් (54294), පො. කො රාජපක්ෂ (37611) යන අය මෙම පිරිසට අයත්වූහ.

පොලිස් පරීක්ෂකවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන් පිරිසගේ අරමුණ වූයේ හලාවත-පුත්තලම-අනුරාධපුරය-වව්නියාව හරහා යාපනයට ළඟාවීමයි. එහෙත් අනුරාධපුරයට ළඟාවන විට බොහෝ රෑ බෝවී තිබුණු අතර අධික වර්ෂාවක් ඇදහැලෙමින් පැවතිණි. ජීප් රථයේ ඉදිරිපස විදුලි ලාම්පු කෙරෙන් නිකුත්වූයේ දීප්තිමක් එළියක් නොව මළානික එළියකි. මාර්ගයද ලිස්සන සුළුවීම හේතුවෙන් වේගයෙන් ධාවනය කිරීමේ අපහසුව පිළිබඳ රියදුරු අධිකාරී මැසිවිලි නැඟුවේය. සියලුදෙනා තත්ත්වය වටහාගෙන සිටියද, තීරණයක් ගැනීමේ වගකීම පැවරී තිබුණේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාටය.

"කමක් නෑ. අද මෙහේ කොහේ හරි ඉඳලා හෙට උදෙන්ම පිටත් වෙමු"

අවසන හෙතෙම තම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අනුරාධපුරයේ රාත්‍රී නවාතැන් ගත් රහස් පොලිස් කණ්ඩායම පසුදිය උදයේ ආහාර ගැනීමෙන් පසුව යළි ගමන් ආරම්භ කළහ. ඒ අනුව ඔවුන් යාපනය, පුංකුඩතිව් 10 වෙනි කොටස ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ළඟාවන විට 25 වන දින දහවල් කාලය වී තිබුණි.

මෙම බිහිසුණු පාපතර සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා උතුරේ බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ, විරෝධතා පෙළපාලි පැවතුණා සේම තැනින් තැන කෝලාහල තත්ත්වයක්ද නිර්මාණය වී පැවතිණි. මේ හේතුව නිසාම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ නිවාස හා දේපළවලට ගිනි තබා හානි කිරීමට තරම් කෝපයට පත් ජනයා නීතිය අතට ගෙන තිබුණි. සිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බිටද, මෙම ඉරණමෙන් ගැලවීමට හැකියාවක් නොවිණි. කෝපයටත්, ශෝකයටත් පත් ජනයා විසින් මෙම සැකකරුගේ නිවසද, ගිනිබත් කර තිබුණි. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අතිශය වැදගත් සාක්ෂියක් ගින්නෙන් දැවී විනාශවී ඇත්දැයි යන කුතුහලය මොහොතකට හෝ ඇතිවීම වැළැක්විය නොහැකිය.

එහෙත් සැකකරු පාපොච්චාරණය කළ ආකාරය නිවැරදිනම්, නිවසේ පිටුපස කොන්ක්‍රීට් බීම් එක ගින්නට හසුවී නොමැති බැවින් සොයමින් සිටි සාක්ෂිය නිරුපද්‍රිතව පැවතිය යුතු බැව් පොලිස් පරීක්ෂකවරයා නිගමනය කළේය. එහෙත් කොන්ක්‍රීට් බීම් එක අසලට ළඟා විය නොහැකිය. අවට ආධාරකයක්, උළුවස්සක් හෝ නොමැත. ගින්නෙන් දැවී විනාශවී ඇති ලී දඬුවක අඩිය තැබීමෙන් අනතුරක්ද විය හැකිය. මේ මොහොතේ සැකකරුගේ නිවසට යාබද නිවසේ වෙසෙන මැදිවියේ පුද්ගලයා එබිකම් කර යන්නට ගියේය.

"සියාඩ්. ඒ මනුස්සයාට කතා කරන්න"

තම ප්‍රධානියාගේ නියෝග පරිදි පො.සැරයන් සියාඩ් ද්‍රවිඩ භාෂාවෙන් අසල්වැසියාට ආමන්ත්‍රණය කළේය. ද්‍රවිඩ භාෂා දැනුමක් නොතිබුණු පොලිස් පරීක්ෂකවරයා, තම ගමනට සියාඩ් මෙන්ම රයීම්ද ‍එකතු කරගනු ලැබුවේ මෙවන් අවස්ථාවන්හි දී මුහුණපෑ හැකි දුෂ්කරතාවන්ගෙන් ගැලවීමටය.

උත්සාහය සාර්ථක විය. ටික වේලාවකින් ගෙහිමියා යළි නිවසට රිංගූ අතර සියාඩ්, සිනාමුසුව ආපසු හැරුණේය.

"මොකද වුණේ? පොලිස් පරීක්ෂකවරයා විමසුවේය.

"හරි සර්. එයාගෙ නම අන්තෝනි පිල්ලෙයි. එයා ඉණිමගක් අරන් එයි" සියාඩ් කීවේය.

මොහොතකින් අන්තෝනි පිල්ලෙයි ඉණිමගක් උස්සාගෙන වැට ළඟට පැමිණියේය. පොලිස් නිලධාරීන් ඔහුට සහය වී සැකකරුගේ නිවසේ දැවී ගිය සුන්බුන් අතරින් වහලට ඉණිමග තබන ලදී. පොලිස් නිලධාරීන්ට සහය පිණිස අන්තෝනි පිල්ලෙයිද ඉණිමග අල්ලාගෙන සිටිය දී පොලිස් නිලධාරියෙක් ඉණිමග ඉහළට නැංගේය. කොන්ක්‍රීට් බීමය අත පත ගෑ ඔහු එහි තිබී අහුලාගත් යමක් පෙන්වා සිටියේය.

"මේකද?

පොලිස් පරීක්ෂකවරයා, ඒ වනවිටත් ජීප් රථයේ මාංචු සහිතව සිටි පෙරියම්බිගේ මුහුණ දෙස බැලුවේය. ඔහු හිස සොළවා එය අනුමත කළේය. පොලිස් නිලධාරියා වහාම ඉටි කොළයක ඔතා ලණුවකින් බැඳ තිබුණු කිසිවක් රැගෙන ඉණිමගෙන් බැස එය පොලිස් පරීක්ෂකවරයා අතට පත් කළේය. කළු සහ අළු මිශ්‍ර වර්ණයෙන් යුතු කණ්ණාඩියක් එහි විය.

එහෙත් සැකකරු පාපොච්චාරණය කළ පරිදි මෙම කණ්නාඩිය ඝාතනයට ලක්වූ දැරියගේ කණ්නාඩියම බැව් තහවුරු කරගත යුතුය. ඒ සඳහා සැකකරුගේ ප්‍රකාශය පමණක් ප්‍රමාණවත් නැත. අධිකරණයේ දී අසන හරස් ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබාදිය යුතුය. ඒ අනුව සැකකරු විසින් මෙම කණ්නාඩිය හඳුනා ගත් බවට සැකකරුගෙන්ද, කණ්නාඩිය ලබාගැනීම සඳහා සහය වූ බවට අන්තෝනි පිල්ලෙයිගෙන්ද, ප්‍රකාශයක් ලබාගෙන ඔවුන්ගේ අත්සන් ලබාගැනීමෙන් පසුව ‍රහස් පොලිස් කණ්ඩායම ඊළඟට ළඟාවූයේ ඝාතනයට ලක්වූ දැරියගේ නිවසටය.

එය පිහිටා තිබුණේ කයිට්ස්, පුංකුඩතිව් 10 වන කොටසේය.

දියණියගේ වියෝවෙන් ශෝකයට පත් මව, පියා, වැඩිමහල් සොයුරා ඇතුළු කිහිපදෙනෙකුම නිවසේ සිටියහ. තමන් කවුරුන්ද යන වගත්, ආවේ කුමකටද යන වගත් පැහැදිලි කළ පසු දැරියගේ මව වූ සිවලෝගනාදන් සරස්වතී තම හඬ අවදි කළාය.

" යුද්ධය හින්දා අනූව දශකයේ මුල් කාලයේ සමහරු යාපනයට ගියා. අපි මාන්කුලම්වලට ගියා. විද්‍යා දුව ඉපදුණේ එක්දාස් නවසිය අනූ හයේදී. නොවැම්බර් මාසයේදි මාංකුලම්වලදියි. එයාගේ අක්කා ඉපදුණේ අනූ එකේදී. එයාගෙ අයියා ඉපදුණේ එක්දහස් නවසිය අනූ තුනේදී.

විද්‍යා දුව මුලින් ගියේ තුනුක්කායි දෙමළ මිශ්‍ර පාසලට. එහෙදි ශිෂ්‍යත්ව විභාගය ලියලා එයා උඩින්ම පාස් වුණා. ඒත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු දවසේ ඒ ඉස්කෝලේ පිරිමි ළමයෙක් එයාට පංතියේ කළු ලෑල්ල මකන ඩස්ටරෙන් මූණට ගහලා තිබුණා. අපේ දුව, පිට ඉස්කෝලෙකින් ඇවිත් ඒ ළමයාට වැඩිය ලකුණු ගත්තා කියලයි ගහලා තිබුණේ. ඩස්ටරේ තිබුණු හුණු විද්‍යාගේ ඇස්වලට ගිහින්. දවස් දෙකක් විතර යද්දෘ විද්‍යාගේ පෙනීම අඩු වෙලා ඇස් අමාරුවක් ආවා. ඒ කාලේ යුද්දෙත් තිබ්බා. බොහොම අමාරුවෙන් මම විද්‍යාව කොළඹ අරගෙන ගියා. අපේ ඥාතියෙකුගේ ගෙදර තියාගෙන ඉඳලා ඉන් පස්සේ සුලෙයිමාන් ඉස්පිරිතාලෙට ඇතුළු කළා. එහෙදි ඇහැට ශල්‍යකර්මයක් කළා. ඒකට බේත් කරන්න එහෙම ඕන නිසා විද්‍යාව අපේ ඥාති ගෙදර නවත්වලා මම ආවා."

විද්‍යාගේ මව පවසන පරිදි දැරියගේ ඇස් රෝගීවීමට හේතුවී ඇත්තේ තුනුක්කායි දෙමළ මිශ්‍ර පාසලේ දී ඇයගේ ඇස්වලට එල්ලවූ ඩස්ටර් ප්‍රහාරයයි. එය පංතියේ කළු ලෑල්ලේ සුදු හුනු කූරුවලින් ලියන අකුරු මැකීමට උපයෝගී කරගන්නා කුඩා කොට්ටයකි. කළු ලෑල්ලේ 'කළු මැදීම' සිදුකරනු ලබන්නේ භූමි තෙල් ලාම්පුවේ දැල්ල, කෙසෙල් පිත්තක් හෝ වෙනයම් තහඩු කැබැල්ලක් ඉහළින් සිටින සේ සවිකොට ලබා ගන්නා දැලි සමඟ එඬරු ශාඛයේ කිරි මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවණයකිනි.

රට හුනු කූරුවලින් අකුරු ලියන අකුරු මැකීමේ දී හුනු අංශු එකී කුඩා කොට්ටයේ රෙදි ආවරණය විසින් උරාගනු ලබයි. එම අංශු ඇස්වලට යාමෙන් ඇස් රෝගී සිදුවිය හැකිය. විද්‍යාට ඇස් කණ්නාඩි පැලඳීමට හේතුවූ රෝගී තත්ත්වය එයම යයි නිශ්චිත වශයෙන් පැවසිය හැකි නොවුණද, සරස්වතී මව ඒ බැව් තරයේ විශ්වාස කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ මොහො‍තේ අවශ්‍යව ඇත්තේ මේවන විට සන්තකයේ පවත්නා කණ්නාඩි කුට්ටම ඇයගේද, යන්න තහවුරු කර ගැනීමට තවත් ප්‍රබල සාක්ෂියකි. එහෙත් මවගේ වේදනා බර මුහුණ දකින ඔවුන් ඇයගේ කතාව කියාගෙන යන්නට ඉඩ හැරියේය.

"යුද්ධය දරුණු වෙද්දි අපි ආයෙත් පුංකුඩුතිව් එන්න ආවා. එද්දි ෂෙල් එකක් වැදිලා විද්‍යාගේ තාත්තා අසනීප වුණා. එයා කුලී වැඩ කරලයි ජීවත් වුණේ. යුද්දෙට කලින් එයා කඩයක මුදල් අයකැමි විදියට හිටියා. ෂෙල් එක වැදුණට පස්සේ එයා එකතැන් වුණා. විද්‍යා කොළඹ ඉන්න කාලේ එහේ ඉස්කෝලවලට ඇතුළු කරන්න හැදුවත් අස්වීම් සහතිකයක් නැති නිසා බැරිවුණා. එහේ අවුරුදු හතරක් ඉඳලා ආයෙම පුංකුඩුතිව් ආවා. පුංකුඩුතිව් මහා විද්‍යාලයට දුව ඇතුළු කරන්න ගියා. ඒත් අවුරුදු හතරක් ඉස්කෝලේ ගිහින් නැති නිසා ගන්න බැහැ කිව්වා. කොහොම හරි අපි බලකරද් දී විදුහල්පතිතුමා විභායක් තිබ්බා. ඒ විභාගෙන් එයා හොඳට ලකුණු ගත්තා. ඒක නිසා විදුහල්පතිතුමා එයා 9 පංතියට ඇතුළත් කර ගත්තා.

දුව ඉන් පස්සේ විභාගවලට හොඳට ලකුණු ගත්තා.සාමාන්‍ය පෙළත් සමත් වුණා. එයා කැමැත්තෙන් හිටියේ කවදා හරි මාධ්‍යවේදිනියක් වෙන්න. ඉන්දියාවේ ගිහින් වැඩිදුර ඉගෙන ගන්න එයා කැමැත්තෙන් හිටියා. ඒ නිසා හින්දිත් ඉගෙන ගත්තා.”

ඇයට කියන්නට බොහො දේ ඇති මුත් පැමිණි රාජකාරිය නිසි ලෙස ඉටුකරන්නට ඔවුහු බැඳී සිටියහ. ඒ නිසාම ඇයගේ කතාවට බාධා කරන්නට පොලිස් නිලධාරීන්‍ට සිදුවිය.

"අම්මට පුළුවන්ද දැන් අපි අහන පුංචි දේවල් ටිකකට කල්පනා කරලා උත්තර දෙන්න? පොලිස් පරීක්ෂකවරයා ඇසුවේය.

"හා මහත්තයෝ අනේ කොහොම හරි මේ අපරාධය කරපු අයට දඬුවම් දෙන්න" සරස්වතී අම්මා අයැද සිටියාය.

"මේ දැරියට කණ්නාඩිය ගත්තෙ කොහෙන්ද?

"මහත්තයෝ මට ඒ කණ්නාඩි කඩේ නම නම් හරියට මතක නෑ. ඒත් ඒක තිබුණේ යාපනය, ඉස්පිරිතාලෙ ඉස්සරහ. ඒකෙ තරුණ ගෑනු ළමයි දෙන්නෙකුයි, ටිකක් මැදිවියේ පිරිමි කෙනෙකුයි හිටියා මතකයි" සරස්වතී මව, අතීතය සිහිපත් කරමින් කියා සිටියාය.

"කණ්නාඩියේ ගාණ කීයද?

"පන්දහස් දෙසීයක් තුන්සීයක් වගේ ගාණක්. ගාණ හරියටම මතක නෑ. ජර්මනියේ ඉන්න දුවගේ බාප්පා කෙනෙක් තමයි ඕක අරන් දුන්නේ" ඇය අවධාරණය කළාය.

"ඒ කණ්නාඩිය දැක්කොත් අම්මට අඳුරගන්න පුළුවන්ද?

"අනේ ඔව්"

ජීප් රථය වෙත ගිය පොලිස් නිලධාරියෙක් ආපහු පැමිණියේය. සිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බි‍ගේ දැවී ගිය නිවසේ නොදැවුණු කොටසක කොන්ක්‍රීට් බීම් එකක් මත තිබිය දී සොයාගනු ලැබූ කණ්නාඩිය ඔහු විසින් ගෙනවිත් පොලිස් පරීක්ෂකවරයා අත තැබුවේය. එය දුටු වහාම සරස්වතී මව මහ හයියෙන් විලාප තබා හඬන්නට වූවාය. මොහොතකින් ඇය ක්ලාන්තව ඇද වැටුණාය.

හෙට - කණ්නාඩි කුට්ටමෙන් තොරතුරු රැසක්

සටහන - රංජිත් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...