දඬු­ලේන් මහ­ත්ව­රුන්ගේ සහ රිලා මැති­තු­මා­ලාගේ හප­න්කම් | දිනමිණ

දඬු­ලේන් මහ­ත්ව­රුන්ගේ සහ රිලා මැති­තු­මා­ලාගේ හප­න්කම්

 මහානාම දුනුමාල

අතොරක් නැතිව මහ වැසි ඇද හැලෙයි. පීඩාකාරී මහ වැසි මැද්දේ පරිගණකය පණ ගන්වා ගෙන ‘සංහිඳ පාමුල’ තීරු ලිපිය ලියන්නට පටන් ගත්තා පමණි. වැස්සේ හඬ අතරින් ම ගස් දෙකකින් කලටි පොල් ගෙඩි දෙකක් බිම වැටෙන හඬ ඇසෙයි. හිත හෝස් ගා පත්තු වන්නේ වෙළඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් සියය දක්වා ඉහළ ගොස් ඇති බව මතක් වන විට ය. මේ අන් කිසිවකු ගේ හපන්කම් නො වේ. ජාතික සත්ත්වයා යයි නම්බු නාමයකින් පවා ඇගයුම් ලද සත්ගුණවත් දඬු ලේනාවරුන්ගේ හපන්කම් ය. පසුගිය දවස්වල අහල පහල ඇති තරම් පළතුරු තිබිණි. අඹවලින් පටන්ගෙන රඹුටන්, මැන්ගුස්, උගුරැස්ස, ලොවි ආදි බොහෝ පළතුරු තිබිණි. ඒ දවස්වලට දඬුලේනා මහත්වරුන්ගේ කලටි පොල් බිම දැමීමේ ව්‍යාපෘතිය ටිකක් දුරට හෝ අඩුවෙයි.

පොල් ගැන කල්පනා කරමින් තෝන්තු වන සිතට යම් තරමකින් හෝ සැනසීමක් දැනෙන්නේ රිලා මැතිතුමා තවමත් සිය පිරිවර සමඟ පැමිණ නැති බව සිහිපත් වන විට පමණි. රිලා ඇත්තෝ ලේසි පාසු ඇත්තේ නොවෙත්. කලටි ගෙඩියට සීමා නොවී පොල් ඇට්ටියේ පටන් කෑ හැකි සියලු දේ කා දැමීම උන්ගේ සිරිතයි. ඉදුණු හෝ පැසුණු කෙසෙල් කැන් මතු නොව යන්තම් මුහයෙන් එළියට ඇදුණු මැලැස්සක් හෝ ඉතිරි නොකොට කා දැමීම උන්ගේ සත් සිරිතයි.

පොල් හිඟ වන විට හේතු සොයා යන්නන්ට මෑතක් වන තුරු හමුවී තිබුණු ප්‍රබලතම හේතුව වූයේ මහපාර අද්දර තිබුණු පොල්වතු ‍අලෙවි වී, කැබලි වලට කැඩී, වෙන්දේසි වත්තක් බවට පත්ව විකිණෙමින් පොල් වගාවට අස්වාමික වීමේ ප්‍රවණතාවයි. එහෙත් නාගරීකරණය හමුවේ පොල්වතු ගෙවල් යායවල් බවට පත් වී පොල් නිෂ්පාදනය දිනෙන් දින සංකෝචනය වී යාමේ ප්‍රවණතාවය ගැන කතා කරමින් සිටින අතරතුර පොල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති වන්නට හේතු වන කරුණු තව තවත් පෙළ ගැසෙමින් තිබුණේ ය.

එක් පසෙකින් අපේ රටේ ආහාරපාන වෙළඳාම ප්‍රසාරණය විය. වාහන ගමන් කරන සියලු මාවත්වල විවිධ පන්නයේ ආහාර අලෙවි කරන ආපන ශාලා බිහිවිය. පවුල් පිටින් එක්වී පිටතට ගොස් සතියකට හෝ දෙකකට වරක් ආහාර ගැනීම සංස්කෘතියට ආවේණික අංගයක් බවට පත්විය. කාර්ය බහුල අය සේවය නිමවා නිවෙසට එන අතරතුර රාත්‍රි ආහාරය පිටතින් මිලට ගෙන නිවෙසට රැගෙන ඒම පුරුද්දක් බවට පත්විය. නිවෙසට හදිසියේ පැමිණෙන අමුත්තන් ආහාර වේලකට පිටතට කැඳවා ගෙන යාම හෝ නිවෙසට ආහාර ඇණවුම් කිරීම බෙහෙවින් දක්නට ලැබෙන පුරුද්දකි. ආහාරමය සේවා ඉක්මනින් සපයා ගත හැකි කේටරින් සර්විස් වැනි ආයතන මහනගරවල, කුඩා නගරවල මතු නොව ගම්බද පවා බෙහෙවින් සුලබ විය.

කුටුම්භයේ වියදම වැඩිවී ඇතැයි සිරිත් පරිදි කන්කෙඳිරිගාන බොහෝ අයට තමන් විසින් සමාජය අනුව යමින් එකතු කරගත් මෙවන් හුරු පුරුදු අමතක ය. එහෙත් එහි සුබදායක පක්ෂයක් ද ඇත්තේ ය. ස්වයංරැකියා ආහාර කර්මාන්තය ආශ්‍රිතව බෙහෙවින් බිහිවී තිබේ. එවන් ආයතන ආශ්‍රිතව සේවා නියුක්තියේ ඉහළ යාමක් ද දැකිය හැක. මෙසේ සුලබ වූ ආහාර කර්මාන්තය පොල් පරිභෝජනය ඉහළ දමන්නට හේතු වන්නට ඇත. පොල් මිල රොකට්ටුවක වේගයෙන් ඉහළ යන්නට මේ කාරණය ද හේතුවන්නට ඇත.

දඬු ලේනුන් හා රිලවුන් ශීඝ්‍ර ලෙස බෝවී යාමෙන් සිදුවන පොල් අස්වැන්නේ විනාශය ද පොල් මිල ඉහළ යාම කෙරෙහි බෙහෙවින් බලපායි. පොල් වගාකරුවෝ වායු තුවක්කු මිලදී ගැනීම කෙරෙහි උනන්දු වන්නේ ද සතුන් තම ආදායම් මාර්ග විනාශ කරනු ඉවසා දරා සිටිය නොහැකි හෙයිනි. මෑතක දී සතුන්ගේ පණ නැසීම හා උනට හානිකිරීම තබා මස් මාංශ අනුභව කිරීමටවත් අකැමැති ආගම දහමට බෙහෙවින් ලැදි උපාසක වර්ගයේ මහත්මයෙකු ද වායු තුවක්කු මිලට ගත හැකි තැන් පිළිබඳ දන්නේදැයි මගෙන් විමසා සිටියේ සිය පොල් ඉඩමේ අස්වැන්න විනාශ වන ආකාරය බලා සිටිය නොහැකි තැන ය.

සමහරු අහස් කූරු නම් රතිඤ්ඤ ගෙවල්වලට ගෙන ගියහ. එහෙත් අහස් කූරු එනවිට පොල් පිත්තේ දිගාවෙන දඬු ලේනා අහස් කූරු එවන්නාගේ අවධානය වෙනස් වූ සැනින් සිය ආහාරය සොයා යමින් ඉක්මනින් ම අහස් කූරට හුරු විය. ඕනෑම තත්ත්වයකට ඉක්මනින් අනුවර්තනය වීමේ හැකියාව සහිත රිලවු ඊට වඩා ඉක්මනින් අහස් කූරට බිය නොවිය යුතු බව වටහා ගත්හ.

වනසත්ත්ව ප්‍රජාව පිළිබඳ මෑත අවධියේ දී දැඩි අවධානයක් යොමු විය. වනසත්ත්ව ප්‍රජාව වඳ වී යාමෙන් වළක්වා ගත යුතු ය යන කාරණාව පිළිබඳව මෙන් ම මිහිතලය මිනිසාට මතු නොව වනසතුන්ට ද අයත් ය යන කාරණාව ද බොහෝ සෙයින් සමාජගත විය. සත්තකින් ම ඇත්ත ය. වනසතුන් දඩයම් කිරීම පාපකාරී ක්‍රියාවක් ය යන කාරණය මාධ්‍යය මගින් පවා අවධාරණය විය.

මිනිසුන් සතු නීත්‍යනුකූල තුවක්කු ද කලකට පෙර පැවති සමාජ කැරලි ආදියෙන් අවම විය. කලක් ගමට ආවේණික චරිතයක් වූ දඩයක්කාරයාගේ භූමිකාව අහෝසි ව ගියේය. ෆුඩ් සිටියෙන් බ්‍රොයිලර් කුකුළු මස් මිලට ගෙනැවිත් අනුභව කිරීම සමාජ පුරුද්දක් වුණු ගානය. මේ කාරණා හේතුවෙන් වනසතුන්ගේ බෝවීම ඉහළ ගියේ ය.

අපේ රටේ සියල්ල සමබරව පවත්වා ගෙන යන පුරුද්දක් නැත. වන සත්ත්ව ප්‍රජාව පැවතිය යුතුවා සේ ම රටේ ගොවිතැන, වැවිලි කර්මාන්ත ආදිය ද පැවතිය යුතු ය. අප කුඩා කාලයේ අපේ පළාතේ ගෙවත්තක වලි කුකුළුන් බහුලව දක්නට නොලැබිණි. අද එදා දුලබ වූ ජාතික පක්ෂියා සුලබව දක්නට ලැබේ. ගෙවතුවල ඇහැට දකින්නට නොලැබුණු වල් ඌරෝ, දඬු ලේන්නු, රිලව් අද බහුල ය. රෑට රංචු පිටින් සැරිසරන ඌරෝ ගෙවතු වගා වනසා දමති. වල් ඌරන්, ඉත්තෑවන් ගැවසෙන විට රබර් වවන්නන්ට රබර් වගා කිරීම අතිශයින් අසීරු ය. ඉත්තෑවෝ පැළ මතු නොව වැඩුණු රබර් ගස්වල ද පොතු කා දමති. අපේ පළාත්වල වනසතුන් බෝවී ඇති ආකාරය පුදුම සහගත ය. කිසිදා අපේ පළාත්වල නොසිටි මොනරුන් ආදීහු ද දැන් දක්නට ලැබෙත්.

මෙම තීරු ලිපිය කිසිසේත් වනසතුන් කෙරෙහි වෛරී හැඟීමකින් ලියුවක් නොවේ. මෑතක දී අපේ මිදුලේ උගුරැස්ස ගහේ දෙපයින් අත්තක එල්ලී හිස පහතට දමාගෙන ගෙඩි කන කුඩා දඬු ලේනකු දුටිමි.

එය ඉතා සුන්දර දසුනක් විය. එහෙත් මේ සුන්දර වනසතුන් පමණ ඉක්මවා බෝවෙන විට ගොවියන්, ගෙවතු වවන්නන්, රබර් හා පොල් වවන කුඩා වැවිලි කරුවන් ආදි මහපොළොව සරු කොට අස්වනු ලබන්නෝ දැඩි අසීරුවට පත්වෙති. වනසතුන් බෝවීමේ හෝ බෝකිරීමේ ද කිසියම් පාලනයක් තිබිය යුතු බව අවධාරණය කරන්නේ එහෙයිනි. 

නව අදහස දක්වන්න