සිනමාව හරිම චිත්තාකර්ෂණීය වෘත්තියක් | දිනමිණ

සිනමාව හරිම චිත්තාකර්ෂණීය වෘත්තියක්

ඩොනල්ඩ් ජයන්ත

උත්සාහය, කැපවීම වගේ ම ඉවසීම තියෙන තැන හීන, හීන ම විතරක් වෙලා නවතින්නේ නෑ. නොවරදවා ම ඒ හීන යථාර්ථයන් බවට පත්වෙනවා. ඉතින් රසමංජරියෙන් අද කතාබහ හිතක මැවුණු හීන යථාර්ථයන් බවට පත්කරගත් අපූරු කලාකරුවෙක් ගැනයි. "ආදරණීය කතාවක්", "බහුභූතයෝ", "දේදුනු ආකාසෙ" ඇතුළුව වැඩිම චිත්‍රපට ගණනක සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිය නාමය සිංහල සිනමාඹරේ රනින් සනිටුහන් කළ ඔහු, ඩොනල්ඩ් ජයන්ත මේ කතා බහ ඔහු සමඟ.

l "මායා" වැනි දැවැන්ත නිර්මාණයක් අධ්‍යක්ෂණය කළ පසු නැවතත් ඔබ ප්‍රියන්ත කොළඹගේ යටතේ දේදුනු ආකාසේ සහය අධ්‍යක්ෂණය කරනවා. මොකක්ද ඒකට හේතු වුණ කාරණාව?

මම මුලින් ම 1988 දි ප්‍රධාන සහය අධ්‍යක්ෂක හැටියට කටයුතු කළේ"දැහැන" චිත්‍රපටයෙ" ඒකත් ප්‍රියන්ත කොළඹගේ තමයි අධ්‍යක්ෂණය කළේ. මම මගේ පනස් වෙනි චිත්‍රපටිය හැටියට සහය අධ්‍යක්ෂණය කළෙත් ඔහුගෙ චිත්‍රපටයක්. ඒ "ආදරණීය කතාවක්". කොහොමත් මම කැමතියි අධ්‍යක්ෂකවරයෙක් වෙනවට වැඩිය සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන්න. මම සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කළොත් නවක අධ්‍යක්ෂකවරයොත් එක්කත් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයොත් එක්කත් එකට වැඩ කරන්න පුළුවන්. ඔවුන්ගෙන් ලබාගන්න දේවල් ගොඩක් තියෙනවා. විවිධ අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කිරීමේ අත්දැකීම ලැබෙනවා. අන්න ඒ දේටයි මම වැඩිය කැමති. එනිසයි මම අධ්‍යක්ෂකවරයෙක් වෙලත් සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන්නෙ. මගෙන් ගොඩක් අය අහනවා ඇයි උඹ ගහට නැගලා ආපහු බැස්සෙ කියලා. නමුත් මට ඒක මදිකමක් නෙවෙයි. මායා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාට පස්සෙ මම චිත්‍රපට 7ක් සහය අධ්‍යක්ෂණය කළා. ඒවා ඉදිරියෙදි තිරගත වේවි.

l ඔබේ කලා ගමනේ ඇරඹුම සිදු වුණේ කොයි විදිහටද?

මාතර කොටපොළ කියන ගමේ ඉපදුණු, හැදුණුවැඩුණු මට පොඩි කාලෙ ඉඳලාම තිබුණෙ පුදුම චිත්‍රපටි පිස්සුවක්. ඉස්කෝලෙ යන දවස්වල මම මාසෙට ලියුම් පනහක් හැටක් යවනවා චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට, රඟපාන්න අවස්ථාවක් ඉල්ලලා. ඒත් මට කිසිම අවස්ථාවක් ලැබුණෙ නෑ. පස්සෙ මගෙ අම්මගෙ මාර්ගයෙන් ප්‍රවීණ මාධ්‍යවේදි, චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි ගමගේ අඳුරගන්න ලැබීමෙන් තමයි මට මේ හැමදේම ලැබුණෙ. ඔහුගේ චිත්‍රපටවල මම වැඩ කරා දෙවන සහය අධ්‍යක්ෂකවරයා විදිහට. ඒ ලැබුණු ආභාසයෙන් තමයි මම සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ තරම් දුර ආවෙ. මං මුලින්ම කළේ රඟපෑම. චිත්‍රපට කිහිපයක වගේ ම ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑවා. ඒත් මට හිතුනා මට රඟපාන්න බෑ කියලා. ඊට පස්සෙ තමයි මට ආසාවක් ඇති වුණේ සහය අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. හැබැයි මම හිතුවා මම චිත්‍රපටි පනහක් සහය අධ්‍යක්ෂණය කරලා ඉවර වෙනකල් ම අධ්‍යක්ෂකවරයෙක් වෙන්නෙ නෑ කියලා. ඒ වගේම විත්‍රපටි පනහක් සහය අධ්‍යක්ෂණය කළාට පස්සෙ තමයි "ප්‍රවේගය" අධ්‍යක්ෂණය කළේ. ඊට පස්සෙ "මායා".

l චිත්‍රපට සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබ වාර්තාවත් තියනවා. ඒ ගැනත් ටිකක් කතා කරමුද?

මේ වෙද්දි මං චිත්‍රපට 56ක් සහය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒක වැඩිම චිත්‍රපට ගාණක් කරපු සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට තියපු වාර්තාවක්. මගෙ ඉලක්කය තමයි චිත්‍රපට 100ක් සහය අධ්‍යක්ෂණය කරන එක. ඒ අතරවාරෙ මම චිත්‍රපට අධ්‍යක්ෂණයත් කරනවා.

l මේ දවස්වල නියැලිලා ඉන්න නිර්මාණ කටයුතු මොනවද?

"සුවඳ දැනුණා ජීවිතේ", "කිං හන්තර්", "කුසපබා", "රෝසකැලේ" වැනි චිත්‍රපටි නිෂ්පාදනය කරපු "ආලංකුලම" කියන්නෙ දැවැන්ත චිත්‍රපටි සමාගම නිෂ්පාදනය කරන චිත්‍රපටියක් මම අධ්‍යක්ෂණය කරනවා. මේ මාසෙ 28 වන දා ඉඳන් කොළඹ, නුවරඑළියෙ සහ ගාල්ලෙ රූගත කිරීම් කරනවා. මේකට විශාල නළුනිළි පිරිසක් දායක වෙනවා. ඒ වගේ ම ප්‍රධාන චරිතෙට ලංකාවට අලුත් නිළියක් එනවා බොම්බෙ ඉඳලා. ලබන ජනවාරි ඉඳලා අලුත් චිත්‍රපටියක් කරනවා ගින්දරී 2 කියලා.මම ඒකෙ සහය අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා. උදයකාන්ත වර්ණකුලසූරිය තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. ඒ වගේ ම ජනවාරිවල රූගතකිරීම් පටන් ගන්න ප්‍රියන්ත කොළඹගේ ගේ අලුත් චිත්‍රපටියකත් සහය අධ්‍යක්ෂක විදිහට වැඩ කරන්නෙ මම. තව ඉතින් මම කරපු චිත්‍රපටියකුත් ළඟදිම එන්න තියෙනවා. ඒක ආර්. සදේස් කුමාර්ගේ නිෂ්පාදනයක්. පූජා උමාශංකර්, හේමාල්, ශේෂාද්‍රි , උද්ධික තමයි ප්‍රධාන චරිත නිරූපණයෙන් එකතු වෙන්නෙ. ආදර කතාවක්. ඒ වගේ ම ඒක දැවන්ත සිනමා නිර්මාණයක්. ලබන අවුරුද්දෙ චිත්‍රපට හතරක් සහය අධ්‍යක්ෂණය කරන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

l චිත්‍රපටි සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිංහල සිනමා කර්මාන්තය තුළ ඔබ දකින අභියෝගය?

සමහරු සහය අධ්‍යක්ෂකයන් විදිහට ආවොත් චිත්‍රපට දෙකයි තුනයි කරන්නෙ. මේකෙ රැඳෙන්නෙ නෑ, හේතුව මේ වෘත්තියෙන් ජීවිතේ ගෙනියන්න බැරි වෙනකොට සහය අධ්‍යක්ෂකවරු විදිහට එන ගොඩක් අය චිත්‍රපටි දෙකක් තුනක් කරලා පස්සෙ ස්ථීර මාසික ආදායමක් ලැබෙන විදිහෙ වෙනත් වෘත්තියක් තෝරගන්නවා.

මම එහෙම කළේ නෑ. මට තිබුණෙ එක ම ඉලක්කයයි. දිගට ම මේ වෘත්තියෙමයි යෙදිලා හිටියෙ. නමුත් මට අභියෝගයක් කියලා දෙයක් නෑ. මම ගාමිණී, මාලනී, රවීන්ද්‍ර, සනත් ඉඳලා මෑත ඉතිහාසයේ හේමාල්ලා දක්වා හැම කෙනෙක් එක්ක ම වැඩ කරලා තියෙනවා. මම දිනයක් දුන්නොත් ඒ දිනය වෙනස් කරන්නෙ නෑ, කිසිම නළුවෙක් නිළියක්. එහෙම තමයි මම හදාගෙන තියෙන්නෙ මුල ඉඳලම. මම කොහොමත් සිනමාවට එනකොට ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා වගේ ම ඒ අභියෝග ජයගත්තා.

ඉස්කෝලෙ යන කාලෙ මම පිස්සුවෙන් වගේ ආසකරා ගාමිණීට, මාලිනීට, විජයට. ඒ තමයි මගේ සිහින තරු. ඒ කාලෙ මට හීනෙනුත් පේනවා. ඒ වුණත් මූණට මූණ බලාගෙන කතා කරන්නවත් ලැබෙයි කියලා හිතුවෙ නෑ, නමුත් මට හරි ම සතුටුයි ඒ අය මගේ යාළුවො වුණා පහු කාලෙක. මට ඒ අය එක්ක එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මම කොහොමත් ආසයි අභියෝගවලට. මට කරන්න බැහැයි කියලා කවුරු හරි කිව්වොත් මං ඒක කරලා ම තමයි පස්ස බලන්නෙ.

l සිනමාවට එන්න හිතාගෙන ඉන්න තරුණ තරුණියන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

මට කියන්න තියෙන්නෙ සිනමාව හරිම චිත්තාකර්ෂණීය වෘත්තියක්. අත්හරින්න එපා. මහන්සි වෙන්න ඕනෙ. ජීවිතේ ගොඩගන්න පුළුවන්. මමත් ගොඩ ආවේ සිනමාවෙන්. දක්ෂතාව තියෙන තරුණතරුණියන් ඉන්නවා නම් මම උදව් කරනවා. කැමතියි අලුත් අයට අත දෙන්න.

මං ඉස්සෙල්ම ගාමිණීව දැක්ක දවසෙ මට ඔහුව බදාගන්න හිතුණා සතුටට. ඒ මගේ වීරයා. පස්සෙ ධර්මසිරි ගමගේ ගාමිණීට මාව අඳුන්වලා දුන්නා, මේ මගේ චිත්‍රපටි සහය අධ්‍යක්ෂකවරයා ඩොනල්ඩ් ජයන්ත කියලා. ගාමිණී එදා මගේ පිටට තට්ටු කරලා කිව්වා සහය අධ්‍යක්ෂකවරයෙක් වෙනවා නම් ඉවසීම, බුද්ධිය, කැපවීම තියාගන්න ඕනෙ. එතකොට තමුසෙට මේ ගමන යන්න පුළුවන් දිගට ම කියලා.

ඒ දවසෙ ඉඳලා මගේ වීරයා කියපු දේ මගේ පපුවට වැදිලා මං හිතේ තියාගත්තා කවදා හරි දවසක මම චිත්‍රපටි සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිංහල සිනමාවෙ ඉහළට ම යනවා කියලා. ගාමිණී ෆොන්සේකාගෙ ඒ වචන ටිකත්, මගේ ගුරුවරයා වුණු ධර්මසිරි ගමගේ දුන්නු අතදීමත් දෙක ම එකතු වෙලා තමයි මං අද මෙතන ඉන්නෙ.

l ලංකාවේ සිනමා සම්මාන උළෙලවල් ගැන ඔබ මොකද හිතන්නෙ?

මං සම්මාන බලාගෙන චිත්‍රපටි කවදාවත් කරලා නෑ. මට ඕන ප්‍රේක්ෂකයො. ප්‍රේක්ෂකයොන්ට තමයි මං චිත්‍රපටි කරන්නෙ. අද ලංකාවෙ සම්මාන දෙන්නෙ දවස් දෙකතුනක්වත් සිනමා ශාලාවල නොදුවපු චිත්‍රපටිවලට. විනිශ්චය මණ්ඩලේ ඉන්නෙත් චිත්‍රපටි ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති අය. එක්කො විචාරකයො දානවා. නැත්නම් සතියක්වත් දුවපු නැති චිත්‍රපටි කරපු අධ්‍යක්ෂකවරු. නොතේරෙන චිත්‍රපටි කළොත් තමයි ලංකාවෙ සම්මාන ලැබෙන්නෙ. එහෙම නැත්නම් චිත්‍රපටිය ප්‍රදර්ශනය කරලා සතියකින් විතර සිනමා ශාලාවලින් ගැළවුණොත් තමයි සම්මාන ලැබෙන්නෙ.

සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩලේට දාන්න ඕනෙ විචාරකයොවත් එක චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරපු අයවත් නෙවෙයි. ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරයෙක්, ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරයෙක් වගේ හැම අංශය ම නියෝජනය වෙන විදිහට. ඉස්සරට සම්මාන උළෙලක් තියෙනවා නම් මම සංවිධායකවරුන්ට කියන්නෙ බුද්ධිමත් වගේ ම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ව යොදාගන්න කියලා විනිශ්චය මණ්ඩලවලට. නැත්නම් හරි අසාධාරණයක් වෙනවා ලංකාවෙ ඉන්න කාර්මික ශිල්පීන්ට, රංගන ශිල්පීන්ට. ඔවුන් පසුබෑමට ලක්වෙනවා මේ සම්මාන උළෙලවල් නිසා. එහෙම කරන්න එපා කියලයි මම මේ සම්මාන උළෙලවල සංවිධායකවරුන්ගෙන් ඉල්ලන්නෙ.

"මායා" චිත්‍රපටය ගත්තම ඒකෙ කලා අධ්‍යක්ෂක ලොකු භූමිකාවක් කරලා තියෙනවා කියලා ඕන අන්ධයෙකුට පේනවනෙ. නමුත් එක්තරා සම්මාන උළෙලක සම්මානය ලැබුණු කලා අධ්‍යක්ෂකවරයා අපේ මායා චිත්‍රපටයෙ රංගන ශිල්පීන්ගෙන් සහ වේෂනිරූපණ ශිල්පීන්ගෙන් අහනවලු "මචං අර කෝවිල ඔරිජිනල් කෝවිලක්ද නැත්නම් 3D කරලා දැම්මද ?"කියලා. ඒකෙන් ම තේරෙනවා නේද ඇත්ත තත්ත්වෙ. ඒ කියන්නෙ විනිශ්චය මණ්ඩලය දන්නෙත් නෑ මේක හදපු එකක්ද නැති එකක් ද කියලා ඒ සම්මාන උළෙලෙදි දිනපු කලා අධ්‍යක්ෂකවරයා දන්නෙත් නෑ. ඔන්න ඕකයි ඇත්ත කතාව.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න