ලාහෝර් නොයන තරංග වෙනුවට විස්සයි 20 පිලට නව නායකයෙක් | දිනමිණ

ලාහෝර් නොයන තරංග වෙනුවට විස්සයි 20 පිලට නව නායකයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු නික් පොතාස් හා කළමනාකරු අසංක ගුරුසිංහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක.

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 කණ්ඩායමට නව නායකයකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අද හෙටම පියවර ගනියි. දැනට විස්සයි 20 නායකයා ලෙස නම්කොට ඇති උපුල් තරංග ලාහොර්හී පැවැත්වෙන අවසන් විස්සයි 20 තරගයට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නායකත්වයට පත් කිරීමට සිදුව ඇත. එම නව නායකයා පාකිස්තානය සමග අබුඩාබි හී පැවැත්වෙන විස්සයි 20 තරග දෙක හා ලාහෝර් තරගයට නායකත්වය සපයනු ඇත.

පාකිස්තානය සමග තරගාවලියට එක්ව සිටින තිසර පෙරේරා හා ක්‍රීඩකයන් අතලොස්සක් හැර අනෙක් සියලු කොන්ත්‍රාත් ක්‍රීඩකයන් ලාහෝර් ක්‍රිකට් තරගයට යෑමට බිය පළ කිරීම හේතුවෙන් මේ අර්බුදය නිර්මාණයවී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ ලාහෝර් හී ආරක්ෂාව යහපත් බවට වාර්තා ලැබී ඇති හෙයින් කලින් ගත් තීරණයේ කිසිදු වෙනසක් නොවන බවයි. එබැවින් ලාහෝර් යෑමට බිය පළ කරන ක්‍රීඩකයන් වෙනුවට වෙනත් කණ්ඩායමක් නම් කිරීමට ක්‍රිකට් විධායක කමිටුව තේරීම් කමිටුවට නියෝග කොට ඇත.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු නික් පොතාස්, කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ, පිතිකරුවන්ගේ පුහුණුකරු හෂාන් තිලකරත්න හා පන්දු යවන්නන්ගේ පුහුණුකරු රොමේෂ් රත්නායක යන මහත්වරු පාකිස්තානය බලා පිටත්වීමට වෙන වෙනම ලිපි මගින් කැමැත්ත පළකොට සිටිති.

ශ්‍රී ලංකා පිලේ පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනකුම මේ සංචාරයට එක් නොවන හෙයින් නවක ක්‍රීඩකයන් කිහිප දෙනකුට විස්සයි 20 තරගයේ අවස්ථා උදාකරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගය අද අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර මේවන විට තරග 2 - 0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටින හෙයින් මේ තරගය ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක එකක් බවට පත්ව තිබේ.

ඩුබායී හී පැවැති පළමු එක්දින තරගයේදී පාකිස්තානය ලකුණු 83කින් හා පෙරේදා අබුඩාබිහී නිමාවූ දෙවැනි තරගයේදී පාකිස්තානය ලකුණු 32කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ වෙනස්කමක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිගින් දිගටම අසාර්ථක වන අංක එක පිතිකරු කුසල් මෙන්ඩිස් අද තරගයේදී විවේක ගැන්වීම කෙරෙහි කළමනාකාරීත්වයේ අවධානය යොමුව ඇත. කුසල් මෙන්ඩිස් පරාජයට පත්වූ මුල්ම තරගයේදී අංක පහ ස්ථානයට කැඳවීමට පියවර ගත්තද එහි ප්‍රතිඵලයක් නොලැබීමෙන් පෙරේදා තරගයේදී නැවැත ඔහුගේ සුපුරුදු අංක 3 ස්ථානය දුන්න ද ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. කුසල් අවසන් එක්දින තරග 7කදී ලකුණු 10ට වඩා වැඩියෙන් ලබා නොමැති අතර අවසන් එක්දින තරග 10කදී අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට අසමත් විය.

මේ කඩා වැටීම හමුවේ 22 හැවිරිදි කුසල් මෙන්ඩිස්ට මානසික ස්ථාවරයක් ලැබෙනතුරු තාවකාලික විවේකයක්දීම වඩාත් සුදුසු බව විචාරක මතයවී තිබේ. මේ පිළිබඳ අවසන් තීරණයක් නායකයා හා ක්‍රීඩකයන් සමග එක්ව පවත්වන රුස්වීමකදී ගන්නා බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවැසීය.

“පිතිකරුවන් කණ්ඩායමට නම් කරන්නේ ලකුණු රැස් කරන්න. එහෙම නොවන සෑම අවස්ථාවකම විශාල අසීරුතාවට ලක් වෙනවා. ඉදිරියේදී තේරීම් කමිටුව යම් යම් තීරණවලට එළැඹෙයි. මොකද ඊළග තරගය අපි අනිවාර්යයෙන්ම දිනන්න ඕනෑ. අපි පිතිකරුවන්ගේ අනුපිළිවෙළ වෙනස් කිරීම පරාජයට හේතුවක් වෙන්නේ නෑ. කුසල් කැමැති වුණා නැවැත අංක 3 ස්ථානයට එන්න. අපට සිදු වෙනවා ක්‍රීඩකයන් ලකුණු අතර නැති වුණාම යම් යම් වෙනස්කම් කරන්න” ගුරුසිංහ මහතා පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා පැවැසූවේ පාකිස්තානයේ පා දඟ පන්දු යවන ෂාඩාබ් ඛාන්ගේ පන්දු යැවීම හමුවේ දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන හා අකිල ධනංජයගේ කඩුලු බිඳ වැටීමෙන් මැද පෙළ කඩා වැටුණු බවය. “අප දැන් පා දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කරනවා. මීළග පුහුණු සැසියේ ප්‍රමුඛතාව දෙන්නේ එයටයි. තෙවැනි තරගයේදී අප හොඳ සටනක් දෙන්න සැලසුම් කරනවා” තිලකරත්න මහතා පැවැසීය.

නිමාවූ එක්දින තරග දෙකේදී ලකුණු 130ක් රැස්කළ තරංග එක්දින ඉනිම 202ක් ක්‍රීඩා කර ඇත. ඔහු මේ වනවිට ලකුණු 6400ක් පසුකර ඇති අතර ඉනිම 200ක් පසුකළ ශ්‍රී ලංකාවේ 9වැනි පිතිකරු බවට පත්ව සිටී. මෙයට පෙර මෙවැනි දස්කමක් වාර්තාවී ඇත්තේ සනත් ජයසූරිය (433), මහේල ජයවර්ධන (418), කුමාර සංගක්කාර ( 380), ටී. එම්. ඩිල්ෂාන් (303), අරවින්ද ද සිල්වා (296), මාවන් අතපත්තු (259), අර්ජුන රණතුංග (255) හා චමින්ද වාස් (220) වේ.

නව අදහස දක්වන්න