ධනුෂ්කගේ තහනම තරග 3කට සීමා කෙරේ | දිනමිණ

ධනුෂ්කගේ තහනම තරග 3කට සීමා කෙරේ

ඉන්දීය එක්දින තරගාවලිය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් එක්දින තරග 6ක තහනමකට ලක්වූ ශ්‍රී ලංකා එක්දින පිලේ ආරම්භක පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලකගේ දඬුවම සංශෝධනය කිරීමට පෙරේදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කළේය.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔහු නියෝජනය කරන සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) ඉදිරිපත් කළ අභියාචනාවකට අනුව ඔහුගේ තරග 6ක තහනම තරග 3ක් දක්වා සංශෝධනය කර තරග 6ක තහනම වසරකට බලපැවැත්වෙන පරිදි අත්හිටවීමට ක්‍රිකට් විධායක කමිටුව පියවර ගත්තේය.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ මේ තහනම සංශෝධනය කර එය තරග 3ක් දක්වා අඩු කර ඇතත් තහනමට අමතරව ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20%ක් අඩු කිරීම එලෙසින්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එසේ වුවත් වසරක කාලයක් තුල ඔහු නැවතත් විනය විරෝධී හැසිරීමක් සිදු කළහොත් ඉතිරි තරග 3ක තහනම ක්‍රියාත්මක කිරීමට ද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...