වෙළෙඳ සේවා මලල ක්‍රීඩා 20 දා සිට දියගම දී | දිනමිණ

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා 20 දා සිට දියගම දී

උදුලා පීරිස්
ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන එල්ලාවල මහතා විසින් වෙළෙද සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සිඩ්නි රත්නායක මහතා වෙත ප්‍රදානය කරන අයුරු. වෙළෙද සේවා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ටොනෑඩෝ ජයසුන්දර, භාණ්ඩාගාරික රාජ් කන්දයියා යන මහත්වරුද මෙහි වෙති.

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය 34 වැනි වරට සංවිධාන කරන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල මේ මස 20 වැනිදා සිට තෙදින පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අදාළ ක්‍රීඩා උළෙල සඳහා මෙවරද ඉන්දියානු මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව ඇති අතර මේ උළෙලේ දෙවැනි වරටත් ප්‍රධාන අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් දරණ බව වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සිඩ්නි රත්නායක මහතා පැවසීය.

මීට අමතරව ලේක්හවුස් ආයතනය, කලම්බු ඩොක්යාඩ්, එන්.ඩී.බී., ජනශක්ති, සාරා ටුවර්ස් යන සමාගම්ද අනුග්‍රාහකත්වය දක්වන බවද ඒ මහතා කීය.

පෙරේදා (16) කොළඹ 07, පාපන්දු සම්මේලන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී රත්නායක මහතා මේ බව පැවැසීය.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෙළඳ සේවා ආයතන 53ක් තරඟ වදින මේ උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක් පමණ තරඟ වදින බවත් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලාන 42ක් පිරිනැමෙන බවත් අනාවරණය කළ වෙළෙඳ සේවා සංගමයේ ලේකම් ටොනෑඩෝ ජයසුන්දර මහතා කියා සිටියේ අවුරුදු 25 සිට අවුරුදු 60 දක්වා වයස් කාණ්ඩ 14ක් යටතේ තරග ඉසව් 330ක් මේ උළෙල සඳහා ඇතුළත් කර ඇති බවත්ය. මෙවර අලුතින් සමාගම් 10ක් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත්ව ඇතැයිද එය තම සංගමය ලද සුවිශේෂී ජයග්‍රහණයක් බවද හෙතෙම අවධාරණය කළේය.

ක්‍රීඩා උළෙලේදී පවත්වන සම්මාන රාත්‍රිය සඳහා 2016 හා 2017 වසරවල ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත වෙයි.

මෙවර පවත්වන උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්දියාව, සිංගප්පූරුව හා ඕස්ට්‍රේලියාවේ පවත්වන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලවල් සඳහා සහභාගීවීමේ සුදුසුකම හිමිවන බවද කී ජයසුන්දර මහතා තම සංගමය මගින් දියත්කර ඇති ක්‍රීඩා සවිය වැඩ සටහන මගින් අඩු පහසුකම් ඇති පාසල්වල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා උපකරණ ඇතුළු සහන සැලසීමේ කාර්ය වසර ගණනාවක සිටම සිදු කරමින් පවතින බවද එය මෙවර නව මුහුණුවරකින් පැවැත්වීමට නියමිතව ඇතැයිද කියා සිටියේය.

රටේ ආර්ථිකයට දැවැන්ත ලෙස ශක්තියක් සපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සුවය, නිරෝගීභාවය වෙනුවෙන් අප ආයතන මගින් ප්‍රධාන දායකත්වය දැක්වීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටුවන බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රටවලද මෙවැනි ක්‍රීඩා උළෙලවල් අඛණ්ඩවව පවත්වාගෙන එන බවද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන එල්ලාවල මහතා මෙහිදී පැවැසීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...