බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම් | දිනමිණ

බැඳුම්කර කොමිසමට කරුණු පැහැදිලි කිරීමට අගමැති සූදානම්

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමා ගැන සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි ඉදිරිපත් කිරීමකට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා ප්‍රකාශ කළේය.

පසුගිය පාලන යුගයන්හි එල්ල‍ වෙන චෝදනා නෑසූ කන්ව සිටි පාලකයන්ට සාපේක්ෂව අගමැති වික්‍රමසිංහ මහතාගේ මේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සමස්ත ජන සමා‍ජයේ අදහස කෙසේ දැයි අප විමසා බැලුවෙමු.

මේ එම ප්‍රයත්නයයි.


රජයේ විනිවිදභාවය පෙන්නුම් කිරීමක්
- ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් සම්බන්ධව සඳහන් කරුණු ගැන බැදුම්කර කොමිසමට පැහැදිලි කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීම තුළින් වත්මන් ආණ්ඩුවේ විනිවිද භාවය ප්‍රකාශ වෙනවා.

මේක ඉතාම යහපත් තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

පසුගිය ආණ්ඩුව මහජනතාව පරාජය කළේ දූෂණය අල්ලස වැනි කාරණා නිසා. අලුත් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුණේ අල්ලසින් දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක්. නමුත් මේ ආණ්ඩුවට ද බැදුම්කර වංචාව පිළිබඳ චෝදනා එල්ල වුණා. හැබැයි මේ ආණ්ඩුවට ඇති චෝදනා රාජ්‍ය බලය යොදාගෙන යටපත් කරන්නෙ නැහැ. පසුගිය ආණ්ඩුව තමන්ට ඇති චෝදනා රාජ්‍ය බලය යොදාගෙන යටපත් කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කළේ තම මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ලිපිගොනු තමන් ළඟ තිබෙන බවයි. ඉන් අදහස් කළේ මන්ත්‍රීවරුන් සිදුකළ අක්‍රමිකතා දූෂණ තමන්ට අවශ්‍ය වේලාවේදී එළියට ගන්නා බවයි.

වර්තමාන ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය තමයි කවරකු වරදක් කළත් ඔහු ආණ්ඩුවේ පුද්ගලයෙක් ද නැද්ද කියා සලකා බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කිරීම. බැඳුම්කර සිද්ධියේ දී එය හොඳින් පෙනෙනවා. මෙමඟින් චෝදනා එල්ලවී ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරනවා. මේක එක්තරා ආකාරයකට යහපත් තත්ත්වයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. පසුගිය ආණ්ඩුවේ සිය දහස් ගණනක වංචා දූෂණ තිබුණත් ඒවා යටපත් කරගෙනයි ක්‍රියා කළේ.

එදා පාලකයන් තමන්ගේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ සඟවාගෙන තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කළා. මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වංචාවක් දූෂණයක් සිද්ධ වූ බවට කරුණු අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කර වැරැදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතුයි. ඒ මඟින් අනාගතයේ මෙවැනි වංචා දූෂණ සිදුවීම් වළක්වා ගත හැකියි.


ඉස්සර මේ වගේ තීරණ ගත්තේ පිටරටවලයි
- එජනිස මහලේකම් ඇමැති මහින්ද අමරවීර

ආණ්ඩුව කෙතරම් විවෘත ද බලන්න. අද අගමැතිවරයා පවා බැඳුම්කර කොමිසමට යාමට සූදානම්. එසේ යන්නට අගමැතිවරයා ගත් තීරණය ඉතා හොඳයි.

මෙයට පෙර අපේ රටේ එවැනි දේවල් අහලා තියෙනවද? මේ වගේ තීරණ ගත්තේ පිටරටවලයි.

දැන් අපේ රටවල අගමැතිවරයා වගේම ඇමැතිවරුන් ද කොමිෂන් හමුවට යනවා. මෙය ආණ්ඩුවේ විනිවිද භාවයට හොඳ උදාහරණයක්.


පත් කිරීමක් උඩ චෝදනා කිරීම පිළිගන්න බෑ
- ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය

බැඳුම්කර කොමිසම හරහා යම් යම් කාරණා එළිදරව් වෙමින් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුතුවට අදාළව. එහි දී විවිධ දේශපාලන කණ්ඩායම් නිලධාරීන් අඩු පාඩු සටහන් වෙනවා. එළිදරව් වෙනවා. එය හොඳ තත්ත්වයක්. ඒකෙ දී සමහර විපක්ෂයේ කණ්ඩායම් අගමැතිවරයාටත් චෝදනා කරනවා.

චෝදනාවට හේතුව වන්නේ මහ බැංකුවේ හිටපු සභාපතිවරයා පත් කළේ අගමැතිවරයා විසින්. ඒ පත් කිරීම උඩ තමයි ඒ චෝදනා කරන්නේ. පත් කිරීමක් උඩ එවැනි චෝදනාවක් කරන එක පිළිගැනීමට පුළුවන් තත්ත්වයක් නැහැ. එහෙමනම් ශ්‍රී ලංකාවේ සියලු අමාත්‍යංශවල ලේකම්වරු පත් කරන්නේ ජනාධිපතිවරයා. දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ නිලධාරිවරු පත් කරන්නේ කැබිනට් එක. එවිට එම පත් වූ හැම කෙනාගේම අවසාන වගකීම, ඔවුන් කරන්නා වූ වැරැදි සම්බන්ධව සමස්ථ වගකීම ජනාධිපතිවරයාට හෝ කැබිනට් එකට ගන්න බැහැ.

ඒගොල්ලෝ යම් මොහොතක කරන වැරැදි නැවැරැදි කරන්න හෝ එයට දඬුවමක් ලබා දෙන්න ඒකට අදාළ විනයානුකූල කාර්ය පටිපාටියක් රටේ තිබෙනවා. ඒ නිසා කොහොම වුණත් යම් චෝදනාවක් දේශපාලනිකව එල්ල කරන නිසා අගමැතිවරයා එම කොමිසමට ගිහින් සාක්ෂි දීමට සූදානම් වීම හොඳ තත්ත්වයක්.

එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනයට හොඳ සහයෝගයක්. මහින්ද රාජපක්ෂ පාලන සමයේ විවිධ චෝදනා එල්ල වුණා ජනාධිපතිවරයාට, ඇගමැතිවරයාට, කැබිනට් එකට සහ මන්ත්‍රීවරුන්ට. නමුත් ඒ කිසිම චෝදනාවක් ගැන පරීක්ෂණ සිදු කරන්න මහින්ද රාජපක්ෂ පාලනය ඉඩ දුන්නේ නැහැ.

ඊට කලින් ඉතිහාසයෙත් අඩු වැඩි වශයෙන් සිදුවුණේ එහෙම තමයි. සමහර ඇමැතිවරුන්ට චෝදනා එල්ල වූ විට ඒ අය අල්ලස් කොමිසමට ගියේ නැහැ.

නයි ගැහුවා කියලා මඟ හැර සිටියා. වෙඩි තියපු ඝාතනය කරපු අය එදා ජනාධිපති සමාව මත නිදහස් කර ඇරියා වරදකරුවන් වෙලා සිටියදීත්. එවැනි පූර්වාදර්ශයක් නරක පූර්වාදර්ශ තිබෙන රටක අගමැතිවරයා බැඳුම්කර කොමිසමට ගොස් සාක්ෂි දීමට සූදානම් කියන්නේ හොඳ පරමාදර්ශයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවටත් වැදගත්.


අනිවාර්යයෙන්ම එය සිදුවිය යුතු දෙයක්
- කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

අගමැතිවරයාට පුළුවන් බැඳුම්කර කොමිසමෙන් වෙලාවක් වෙන්කරගෙන ගොස් සාක්ෂි ලබාදෙන්න. අනිවාර්යයෙන්ම එය සිදුවිය යුතු තත්ත්වයක්.

අගමැතිවරයාගේ නම අවස්ථා ගණනාවකදීම සඳහන් වෙලා තිබෙනවා.

අගමැතිවරයා තමයි මහ බැංකුවට අදාළ අධිපතිවරයා සිංගප්පුරුවේ සිට ගෙන්වාගෙන පත්කළ පුද්ගලයා. බැඳුම්කර කොමිසමේ කටයුතු සම්පූර්ණ වෙන්නේ අගමැතිවරයාගේ ප්‍රකාශයක් ලබාගත් පසුවයි.

ඒ නිසා එතුමා ඉතා ඉක්මනට ඒ කටයුත්ත කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. එතුමා ගොස් සාක්ෂි දිය යුතු තත්වයක් අද ශ්‍රී ලංකාවේ තිබෙනවා.

ස්වකැමැත්තෙන් හෝ කැඳවීමකින් හෝ ගොස් සාක්ෂි දීමයි වැදගත් වෙන්නේ.

අගැමතිවරයා නිවේදනයක් නිකුත් කළාට තවම වෙලාවක් ඉල්ලාගෙන ඇති බවට අපිට දැන ගැනීමට ලැබී නැහැ. බැඳුම්කර කොමිසමත් එතුමාට එන්න කියා නැහැ. නමුත් අගමැතිට පුළුවන්කම තිබෙනවා ඉල්ලීමක් කර ගොස් සාක්ෂි ලබාදීමට.

අගමැතිවරයා ලෙස කළ යුතු හොඳම දෙය තමයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම. 

නව අදහස දක්වන්න