ජාතික බොක්සිං ශූරතාවලියේදී නිවේදිකාව ජයග්‍රාහකයා වරද්දා ගනී | දිනමිණ

ජාතික බොක්සිං ශූරතාවලියේදී නිවේදිකාව ජයග්‍රාහකයා වරද්දා ගනී

 වාර්ෂික ජාතික ශූරතා තරඟය සාමාන්‍යයෙන් සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසවල දී පවත්වන නමුත් වසර 1984 ආධුනික බොක්සිං සංගමයේ පැවැති විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා එවර එය දෙසැම්බර් අග දක්වා ප්‍රමාද වී තිබිණ. මෙවර ශූරතා තරඟය සලකන ලද්දේ 1985 වසරේ ජනවාරි අග දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 12වැනි ආසියා බොක්සිං ශූරතාවයට සහභාගී වන තරඟකරුවන් සඳහා වු තේරීමේ තරඟයක් ලෙසටයි. එය දෙසැම්බර් 20 හා 21 දෙදින කොටහේන ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වීමට යොදා තිබු අතර දෙවන දිනයේ ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණීමට ආරාධනා කර තිබුණේ ක්‍රීඩා සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය එම්. වින්සන්ට් පෙරේරා මහතාටය.

පළමුවරට ජාතික ශූරතාවය දින 2කට සීමාවෙයි

අතීතයේ පටන් දින 3ක් පුරා පවත්වන ලද ජාතික ශූරතා තරඟය 1984 වසරේ දින දෙකකට පමණක් සීමාවී තිබුණි. ඊට හේතුව වුයේ ඇතැම් ප්‍රසිද්ධ බොක්සිං සමාජ මෙවර එය වර්ජනය කර තිබීමය. සංගමය විසින් ගන්නා ලද ඇතැම් හිතුවක්කාර තීරණ හා ක්‍රියා පිළිවෙලට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙසේ වර්ජනය කර තිබිණ. ඊට පෙර වසරේ 1983 වසරේ ශූරයන් වු යුද හමුදාවද මෙවර සහභාගී වීම ප්‍රතික්ෂේප කළේය. විශාලතම අඩුව එය විය. අතීතයේ දී ඔවුන් අඛණ්ඩව ශූරතාවලියට සහභාගී වී ඇත. වෙනදාට වැඩිම තරඟකරුවන් සංඛ්‍යාවක් සහභාගී වන්නේ යුද හමුදාවෙනි. ඇතැම් වසරවල දී යුද හමුදාවෙන් කණඩායම් 2 ක්ම සහභාගී වී ඇත.

පොලිසියට ශූරතාව ලබා දීමේ වෑයමක්

පොලිසිය ජාතික ශූරතාව අවසන්වරට දිනා තිබුණේ 1964 වසරේදීය. ඊට පෙර 1956 සිට 1959 දක්වා ඔවුහු ශූරතාවය දිනා තිබුණි. 1957 වසරේ දී පර්සි (පුණ්‍යදාස) විජේසුරිය උප පොලිස් පරික්‍ෂකවරයකුව සිටිය දී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ‘මැනිං කුසලාන‘ දිනාගෙන තිබුණි. දැන් තමා ආධුනික බොක්සිං සංගමයේ ලේකම් නිසාත්, පොලිස් පුහුණුකරු නිසාත් මෙවර ශූරතාව කෙසේ හෝ පොලිසියට ලබාදිය යුතු යයි ඔහුට සිතිවිල්ලක් පහළ විය. ජාතික ශූරතාවට පෙර ඩව්බිගින් කුසලාන සඳහා වු අන්තර් පොලිස් කොට්ඨාස තරඟාවලිය පැවැත්විණ. ඒ සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි දක්‍ෂ ක්‍රීඩකයන් යළි ගෙන්වා පොලිස් කණ්ඩායම වෙනුවෙන් ජාතික ශූරතාවට ඉදිරිපත් කිරීමට ඔහු බලාපොරොත්තු විය. එහෙත් ඔහු ක්‍රීඩකයන්ට කතා කළ රළු ආකාරය නිසාත්, සැලකූ ආකාරය නිසාත් ඔවුහු පුහුණුවීම මඟහැරියහ. එම නිසා මෙවර ශූරතා තරඟයට ඔහුට ඉදිරිපත් කළ හැකි වුයේ 5 දෙනකු පමණකි.

තරඟය විනිශ්චය සඳහා ඔහු කැඳවා තිබුණේ ඔහුට අවශ්‍ය අය පමණකි. එසේ පැමිණි 13 දෙනාගෙන් 10 ක්ම පුහුණු වීමේ පාඨමාලාවකට සහභාගී වී පරික්‍ෂණවලින් සමත් වු අය නොවූහ. එයින්ද 4 දෙනෙක් පොලිස් නිලධාරින් වුහ. ප්‍රථම වරට 1972 දී පුහුණු කිරීමේ පාඨමාලාවට සහභාගී වී පරික්‍ෂණවලින් ද සමත්ව සිටි ජ්‍යෙෂ්ඨතම තීරක හා විනිසුරුවන් තිදෙනා වු එවකට පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන්, කේ.වී. ධර්මදාස සහ ඩොනල්ඩ් මුණසිංහ වන මේ ලියුම්කරු කැඳවා නොතිබිණි.

තරඟකරුවන්ට අසාධාරණයක්

දින 3 ක් තුළ පැවැත්විය යුතු මෙවැනි උසස් මට්ටමේ තරඟයක් දින 2කට පමණක් සීමා කිරීම ඇතැම් තරඟකරුවන්ට සිදුවු බලවත් අසාධාරණයකි. එසේ අසාධාරණයක් වන්නේ ඇතැම් තරඟකරුවන්ට එක් දිනයක දී තරග 2 කට මුහුණ දීමට සිදුවන නිසාය. ප්‍රබල පහරවල් හිසට හා ශරීරයට වදින බොක්සිං තරඟවල දී ක්‍රීඩකයෙක් එක් දිනක දී මුහුණ දිය යුත්තේ එක තරඟයකට පමණකි. ඊට හේතුව වන්නේ එකම වරුවේ දෙවැනි තරඟයට මුහුණ දෙන විට මුල් තරඟයේ දී පහරවල් වැදී තරඟකරු හෙම්බත් වී සිටීමය. එම නිසා එය අනතුරුදායකය. තරග දින 3ක් පුරා පවතින්නේ නම් ප්‍රථම දිනයේ අර්ධ පූර්ව අවසාන තරගත්, දෙවන දිනයේ අර්ධ අවසාන තරඟත්, අවසාන දිනයේ අවසාන තරඟයටත් මුහුණ දෙන තරඟකරු කවයට ඇතුළුවන්නේ වෙහෙසට පත් නොවු අයකු ලෙසිනි. දින 3ක් පැවැත්විය යුතු තරග දින 2කට සීමා කළේ වියදම් අඩුකර ගැනීමට දැයි නොදනිමි.

ලේකම්ගේ බිරිය තරග නිවේදිකාව ලෙස කටයුතු කරයි

ලංකා බොක්සිං ඉතිහාසයේ දිගටම තරග නිවේදක ලෙස කටයුතු කර ඇත්තේ ජුරි සභිකයන් හෝ ලේකම් විසිනි. විශේෂ අවස්ථාවල දී පළපුරුදු චතුර නිවේදකයෙක් යොදා ගනු ලැබේ. එහෙත් කිසිදු කාන්තාවක් නම් නොවේ. එසේවුවත් ප්‍රථම වතාවට සියලු සම්ප්‍රදායන් බිඳදමා මෙවර නිවේදිකාව ලෙස කටයුතු කළේ ලේකම්ගේ බිරියයි. මුද්‍රණය කළ සමරු කලාපයටද ඇගේ නම ඇතුළත් කර තිබිණ. එය කාගේත් විමතියට හේතු විය. දරුවන් නොමැති බර්ගර් ජාතික කාන්තාවක් වු ඇයව ඔහු යන සෑම බොක්සිං තරඟවලටද කැටුව ගියේය. ඉන්දියාවේ සකුන්දරාබාද් හි පැවැති දුම්රිය බොක්සිං කණ්ඩායම හා පැවැති ද්වන්ධ තරඟයකටද ඇයට කැටුව ගියේය. 1983 වසරේ පවත්වන ලද විනිශ්චය මණ්ඩලය බඳවා ගැනීමේ ලිඛිත පරික්‍ෂණයටද ඔහු ඇයව ඉදිරිපත් කළේය. එහෙත් ඇයට ලැබුණ ලකුණු ප්‍රමාණය ඉතාම අඩු නිසා එම වෑයම අසාර්ථක විය. තරග විනිශ්චය කලත් ලේකම්ද සුදුසුකම් ලැබු අයෙක් නොවීය.

අවසන් තරගය

අවසාන තරඟයේ රතු කොනේ තරඟකරු වුයේ ටාජ් සමාජයේ ඩබ්.ඩබ්.කේ. අල්විස්ය. ඔහු ඊට පෙර වසර තරඟකර තිබුණේ කොළඹ වයි.එම්.සී.ඒ. සමාජය වෙනුවෙනි. නිල් කොනේ තරඟකරුවුයේ පොලිස් ක්‍රීඩා සමාජයේ එම්. ඒ.ජයලත්ය. ඔහු පාසල් සමයේ කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළ පාසල් ශූරයෙකි. වසර ගණනාවක් පොලිසිය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු පොලිසියේ ශූරයා විය. මේ වන විට ඔහු ගැටවර වියේ සිටි අල්විස්ට වඩා වසර කීපයක් වයසෙන් වැඩිවිය. එම නිසා ඔහු දක්‍ෂකම්වලින් පිරිහෙමින් සිටියේය. තම ප්‍රතිවාදියාව දුර්වල කිරීම සඳහා මුහුණට හිසෙන් ඇනීම හා බඩට වැලමිටෙන් ඇනීම වැනි තහනම් පහරවල් ගැසීමට ඔහු පුරුදුව සිටියේය.

මේ තරඟය අර්බුදකාරී එකක් වී යැයි අනුමාන කළ එතෙක් ජුරිසභාවේ ඉඳගෙන කටයුතු කළ සභාපති, ජාත්‍යන්තර විනිසුරු තෝමස් ද සිල්වා මහතා, එම තරඟයේ තීරක ලෙස කටයුතු කිරීම සඳහා බොක්සිං කවයට ගොඩවිය. තරඟය ඇරඹිණ. එය විනාඩි තුනේ වට තුනකින් සමන්විත විය. පළපුරුදු ජාත්‍යන්තර තීරකවරයෙක් සිටීම නිසා ජයලත්ට වෙනදා මෙන් නීත්‍යානුකූල නොවන පහරවල් ගැසීමට නොහැකි විය. එම නිසා මෙවර පොලිස් ශූරයා පරදින බව කාටත් අවබෝධ විය.

නිවේදිකාව වරද්දා ගනී. ප්‍රේක්‍ෂකයෝ කලබල කරති

තරග වට තුන නිමවීමෙන් පසු තීරක කවය වටා ඉඳගෙන සිටි විනිශ්චය කරුවන් තිදෙනා ලකුණු දමා ජයග්‍රාහකයා නම් කළ පත්‍රිකා එකතුකර ඒවා පරික්‍ෂාකර බලා ජුරි සභාවේ සිටි ඩැන්ටන් ඔබේසේකර මහතා වෙත යැවීය. ඔහුද ඒවා පරික්‍ෂාකර බලා නිවේදිකාවට භාර දුන්නේය. ඒවා භාරගත් ඇය ජයග්‍රහණය නිල් ලෙසට නිවේදනය කළාය. තමන් අපේක්‍ෂා නොකළ නිවේදනයෙන් විමතියට හා අප්‍රසාදයට පත් ප්‍රේක්‍ෂකයෝ නැගිටමින් එහාමෙහා යමින් ඝෝෂා කළහ. කලබල ඇති කළහ.

නිවැරදි ප්‍රතිඵලය හොඳින්ම දන්නා තීරකවරයා කාගේවත් අත එසවුයේ නැත. ඔහු කලබල නොවී නිවේදිකාවගෙන් ලකුණු දමන පත්‍රිකා තමා වෙතට කවය මතට ගෙන්වා පරික්‍ෂා කර බලා ජයග්‍රාහකයා රතු ලෙසට ප්‍රකාශ කරන ලෙස හඩනගා නිවේදිකාවට පැවසීය. එයින් ලැජ්ජාවට පත් නිවේදිකාව තමා අතින් සිදුවු වරදට සමාව අයැද ජයග්‍රාහකයා රතු බවට කිහිප වතාවක්ම ප්‍රකාශ කළාය. තීරක රතු තරඟකරුගේ අත එසවීය. පී‍්‍රති ප්‍රමෝදයට පත් ප්‍රේක්‍ෂකයෝ බොහෝ වේලාවක් අත්පොළසන් දෙමින් උඩ පනිමින් ඔල්වරසන් දුන්හ. ඇතැම් අය අනුමාන කළේ ඇය පොලිස් පුහුණුකරුගේ බිරිය නිසා පොලිස් තරඟකරුට ජයහිමිකර දීමට කළ අසාර්ථක උත්සාහයක් බවටය.

මේ සිදුවු සියල්ල මා හොඳින්ම දන්නේ එම තරඟය නැරඹීම සඳහා මා ප්‍රේක්‍ෂකයකු සහභාගි වීම නිසාය. එකළ මා ජ්‍යෙෂ්ඨ තීරක හා විනිසුරුවකු වුවත්, එම කටයුතු සඳහා පැමිණෙන ලෙස ආරාධනා ලබා නොතිබුණු නිසා ප්‍රවේශපත්‍ර රැගෙන තරග නැරඹීම සඳහා ගියෙමි.

ඩොනල්ඩ් මුණසිංහ
පාසල් බොක්සිං සංගමයේ සහ බොක්සිං තීරක හා  නිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපති, ආධුනික බොක්සිං සංගමයේ
හිටපු ලේකම් 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...