වත්තල අන්තෝනියන්ස් සය සාමාජික පාසල් ක්‍රිකට් 21 -22 ආර්.ප්‍රේමදාස පිටියේදී | දිනමිණ

වත්තල අන්තෝනියන්ස් සය සාමාජික පාසල් ක්‍රිකට් 21 -22 ආර්.ප්‍රේමදාස පිටියේදී

බර්නාඩ් පෙරේරා

වත්තල සාන්ත අන්තෝනි විදුහලේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් එම විදුහලේ ආදි සිසු සංගමය මෙහෙයවනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 21 සහ 22 දෙදින ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත්, සමාප්ති උළෙල ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් තරගාවලියේ සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇතැයි ද, ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහත්වරු ද එක්වනු ඇතැයි ද මේ පිළිබඳ පසුගියදා එන්.සී.සී. ක්‍රීඩා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් විය.

වසර 12කට පසුව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා කරමින් සංවිධාන කළ මේ තරගාවලිය ‘ක්‍රීඩාව හරහා සහජීවනය’ තේමාව අරමුණු කරගත්තකි.

දිවයින පුරා අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම් 24කට මේ තරගාවලියට එක්වන ලෙස ආරාධනා කර ඇති අතර ඒ සෑම පාසලක්ම ඊට එක්වන බව තහවුරු කර තිබේ. මේ තරගාවලියේ වැදගත්කම සැළකිල්ලට ගනිමින් බොහෝ පාසල් ඔවුනොවුන්ගේ අන්තර් පාසල් ක්‍රිකට් තරග කල් දැමීමට කටයුතු කිරිම කැපී පෙනේ.

පාසල් ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් තරගාවලියට සමගාමීව බාලිකාවන්ටත් සය සාමාජික ක්‍රිකට් තරග අත්දැකීමක් ලබාදීමට තරග සංවිධායක මණ්ඩලය අමතක කර නොමැත. එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන බාලිකා ක්‍රිකට් තරගාවලියට පාසල් කණ්ඩායම් 4ක් සහභාගි වන බව දැනටමත් තහවුරු කර තිබේ. විශාඛා, මහනුවර සාන්ත අන්තෝනි බාලිකාව, මියුසියස් සහ අනුලා විදුහල ඊට එක්වෙති.

තරගාවලියේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට අන්තෝනියන්ස් 75 සංවත්සර කුසලාන හිමිවන අතර සෙසු කණ්ඩායම්වලටත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත්තේ නැගී එන ක්‍රීඩකයන්ට අතහිත දීමේ අරමුණින්ය.

බාලක තරගාවලියේ කණ්ඩායම් 24 කාණ්ඩ 8ක් යටතේ තරග වදින අතර එම කාණ්ඩවලින් ඉදිරියට පැමිණෙන කණ්ඩායම් 2 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. මේ අතර බාලිකා තරගාවලිය අවසන් පූර්ව වටයේ සිට ආරම්භ කෙරෙන අතර ජයග්‍රාහී කණ්ඩායම් කුසලානය සඳහා තරග වදිනු ඇත. පරාජිත කණ්ඩායම් 2ට තුන්වැනි ස්ථානය වෙනුවෙන් තරග කිරීමට සිදුවනු ඇත.

තරගාවලියට එක්වන පාසල් කණ්ඩායම් මෙසේය.

‘ඒ’ කාණ්ඩය-සාන්ත අන්තෝනි වත්තල, ලයිසියම්, සාන්ත ආනා කුරුණෑගල

‘බී’ කාණ්ඩය-ආනන්ද, සාන්ත පීතර, ඩී.එස්.

‘සී’ කාණ්ඩය-සහිරා කොළඹ, ආසියානු ජාත්‍යන්තර පාසල, නාලන්දා

‘ඩී’ කාණ්ඩය-හින්දු විදුහල කොළඹ, තර්ස්ටන්, ඩි මැසනද්

‘ඊ’ කාණ්ඩය-මහින්ද, බ්‍රිතාන්‍ය පාසල, සාන්ත බෙනඩික්ට්

‘එෆ්’ කාණ්ඩය-සාන්ත අන්තෝනි මහනුවර, මහනාම, ත්‍රිත්ව

‘ජී’ කාණ්ඩය-සහිරා කල්මුනේ, ඉසිපතන, රාජකීය

‘එච්’ කාණ්ඩය-යාපනය මැදි විදුහල, ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල, මාරිස්ටෙලා මීගමුව

නව අදහස දක්වන්න