සයිටම් ගැටලුව විසඳීමට මහ නායක හිමිවරුන්ගේ යෝජනා රජය පිළිගන්නවා | දිනමිණ

සයිටම් ගැටලුව විසඳීමට මහ නායක හිමිවරුන්ගේ යෝජනා රජය පිළිගන්නවා

අසේල කුරුළුවංශ

සයිටම් ගැටලුව විසඳීම සඳහා ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා කළ යෝජනාව ගෞරව පූර්වකව රජය පිළිගන්නා බවත් ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මහනාහිමිවරුන්ගේ ඉල්ලීමට කන්දී සාකච්ඡා මගින් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා නම්‍යශීලී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සභානායක,උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ සයිටම් අහෝසි කිරීම බවත් එම අරමුණේ සිට ඔවුන් සාකච්ඡා සඳහා එළඹෙන්නේ නම් එම සාකච්ඡා ප්‍රතිපල රහිත බවත් ඒ මහතා කීය.

සාකච්ඡා මගින් ප්‍රශ්නයකට විසඳුම් සෙවීමේදී අන්ත දෙකේ සිටින පාර්ශව දෙක කිසියම්වූ එකඟතාවක් ඔස්සේ මධ්‍යය ස්ථානයකට පැමිණිය යුතු බවත් රජය ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බවත් කී ඒ මහතා වෛද්‍යවරුන් පිරිසක් හා අන්තවාදී දේශපාලන කණ්ඩායම් කිහිපයක් සයිටම් අහෝසි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ප්‍රකාශ කිරීම තුළ සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවද අවධාරණය කෙළේය.

රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන්නේ රජය මිස වෛද්‍යවරු හෝ විශ්ව විද්‍යාල සිසුන් නොවන බවද හෙතෙම කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරු සුඵ පිරිසක් අද වෛද්‍ය ශිෂ්‍යයින් පන්ති වර්ජනයක් සඳහා පොළඹවමින් ඔවුන්ගේ අනාගතය අඳුරු කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස මුලින් පන්ති වලට සහභාගී වන ලෙස තමන් වෛද්‍ය සිසුන් ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය. 

 

නව අදහස දක්වන්න