කෙස් පාටකිරීම විද්‍යානුකූලව කළ යුතුයි | දිනමිණ

කෙස් පාටකිරීම විද්‍යානුකූලව කළ යුතුයි

ජයසිරි මුණසිංහ

කේශ වර්ණ ගැන්වීමේ ආසියානු කලාපීය රටවල තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණ කේශවර්ණ ගැන්වීමේ ශිල්පී එල්.එච්.සසිඳු සිල්වා මහතා සමත්වී ඇත.

ඉන්දියාවේ මුම්බාහිදී ඉකුත්දා නිමාවට පත්වූ මේ ජාත්‍යන්තර තරගය ජයගත් 23 හැවිරිදි සසිඳු සිල්වා ජාතික තරුණසේවා සභාවෙන් කේශවර්ණ ගැන්වීම ඇතුළු කේශ අලංකරණය පිළිබඳව ඩිප්ලෝමාව හිමිකරගත්තෙකි.

මේ ඔහුගේ ජාත්‍යන්තර තරග අත්දැකීම සහ මේ ක්ෂේත්‍රයේ පවතින ආර්ථික වැදගත්කම පිළිබඳව කරුනු ලබන කරුණු දැක්වීමකි.

“මම මේ ක්ෂේත්‍රයට පිවිසියේ වසර 2014දීයි. ඒ කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ශේගාල් “CHAGAALL” රූපලාවණ්‍යාගාරයේ සේවය කිරීම තුළිනුයි. එහිදී මම ගොඩාක් ප්‍රායෝගිකව කරුණු කාරණා ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 49/1 දරන මොෂ් සැලුන්එකට සේවයට ආවා.

එහිදී තමයි, මේ තරගය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබුණේ. අපේ රටේ මෝෂ් සැලුන් ජාලයක් තිබෙනවා. මේ ආයතනවල සේවය කරන අප වාගේ තරුණ වෘත්තීයවේදීන් අතර වර්ණ ගැන්වීමේ තරගයක් පැවැත්තුවා. එහිදී ප්‍රථම ස්ථානය මම දිනා ගත්තා.

මේ තරගයෙන් පසු, ඉන්දියාවේ පැවැත්වෙන “දෙසතුරා” තේමාව කරගත් තරගයට ඉදිරිපත්වීමට සිතා ගත්තා. පළමුව තරගයට සුදුසුකම් ලැබීමට නිර්මාණයක් කළා. එය ඉන්දියාවට යොමු කළා. තරගයට එක්වීමේ අවස්ථාව ලැබුණා. මම තරගයට ඉදිරිපත් වුණේ ආයතනයේ, හිතවතුන්ගේ ආශිර්වාදය සහාය මතයි. තරගයේදී මට නිර්මාණය කළ වර්ණ ගැන්වීම සිදුකළේ ඉන්දියානු තරුණියකගේයි. ඇයත් විශාල සහායක් ලබා දුන්නා.

වර්ණ ගැන්වීම කරන එක තරගයක් වුණාට එය ඉතා ඉවසිල්ලෙන්, කාලය අරගෙන සිත එක් තැනක තබාගෙන කරන්න ඕනෑ දෙයක්. හරියට භාවනාවක් කරනවා වාගේ කටයුත්තක්.

මේ ක්ෂේත්‍රය පෙරදාට වටා අපේ රටේත් දැන් ජනප්‍රියයි. ලොව ධනවත්, දියුණු රටවල කේශ වර්ණ ගැන්වීමට විශාල වියදමක් දරන අය සිටිනවා. ඒ අය වාගේම අපවැනි ආසියාවේ රටවල ජීවත්වෙන අයත් මේ දේවල් දැන් සිදුකරනවා.

අපිට අපේ රටට එන සංචාරකයින්ගේ රූපලාවණ්‍ය කටයුතු සිදු කරන්න උනන්දු වුණොත් කේශ වර්ණගැන්වීම් ප්‍රධාන කේශ අලංකරණ කටයුතුවලින් විදේශ විනිමය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා.

අපි කරන දේ, පාරිභෝගිකයාට උපරිම ආකාරයෙන් සතුටු වෙන ලෙස සිදුකර දෙන්න ඕනෑ. අපි පාවිච්චි කරන මෙවලම්, අමුද්‍රව්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු ඒවා වෙන්නම ඕනෑ.

මේ ක්ෂේත්‍රයේ ඉහළට යන්න, රටට කීර්තියක් අත්කර දෙන්න නම්, ප්‍රායෝගික අත්දැකීම්. පලපුරුද්ද ඉතාම අත්‍යාවශ්‍යයයි. පොත පතේ න්‍යායාත්මකව කොතරම් දැනුමක් තිබුණත්, ප්‍රායෝගිකව කරන්න බැරි නම් පලක් නැහැ. අප කාටත් ඉදිරියට එන්න ප්‍රායෝගික පුහුණුව ඉතාම වැදගත් ඔහු කීය. මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක, ආයෝජන ආකර්ෂණීය භූමියක් බවට පරිවර්තනය වෙමින් පවතියි. 

නව අදහස දක්වන්න