ශ්‍රී ලංකා ක්‍රිකට් මේ යන්නේ දුෂ්කර කාලයක | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ යන්නේ දුෂ්කර කාලයක

ප්‍රින්ස් ගුණසේකර
පුහුණුකරු නික් පොතාස්

පරාජිත රැල්ලට තිත තැබීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද සාජා පිටියට පිවිසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂ්කර කාලයක් පසුකරමින් සිටින බව ක්‍රිකට් අතුරු පුහුණුකරු නික් පොතාස් පවසයි. කණ්ඩායමේ පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාශය පිළිබඳ පුදුම වන බවත්, දැන් වෙනසකට කාලය එළැඹ ඇති බවත් පුහුණුකරුගේ අදහසවී ඇත.

ශ්‍රී ලකාව හා පාකිස්තානය අතර අබුඩාබි ෂෙයික් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි දිවා - රාත්‍රි එක්දින තරගයේ ජයග්‍රහණය කඩුලු 7කින් පාකිස්තානයට හිමිවූ අතර ඒ සමගම තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් විය . ශ්‍රී ලංකාව, අබුඩාබි හා ඩුබායි ටෙස්ට් තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළද එක්දින තරගාවලියේදී දියාරු පිතිකරණයෙන් ශ්‍රී ලංකා පිල පාකිස්තානය ඉදිරියේ අසරණවී සිටී.

ශ්‍රී ලංකාව පසුගිය එක්දින තරග 10කදීම ලකුණු 250ක් වාර්තා කිරීමට අපොහොසත්ව තිබීම පරාජිත රැල්ලේ සැඟවුණ රහසක් වේ. පන්දු යවන්නන් සාර්ථකත්වයට පත් වුවද මේවනවිට පිතිකරුවන්ගේ දුර්වලතා ඉස්මතුවෙමින් පවතී. මේ වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව හම්බන්තොටදී කඩුලු 2කට රැස්කළ ලකුණු 312ට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබැසීමට ලක් වූයේය. මෙවැනි තත්ත්වයක් හමුවේ ප්‍රතිවාදී කණ්ඩායමට තර්ජනයක් එල්ල කරමින් එක්දින තරගයක් ජය ගැනීම ශ්‍රී ලංකා පිලේ සිහිනයක් බවට පත්ව තිබේ.

තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ඕවර් 48.2කදී ලකුණු 208ක් ලැබූ අතර පාකිස්තානය ඕවර් 42.3කදී කඩුලු 3කට ලකුණු 209ක් ලබා ජය තහවුරු කර ගත්තේය. පෙරේදා ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක්ගේ බෑණනුවන් වූ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් අගනා පිති හරඹයකින් ලකුණු 100ක් ලබා ගත්තේය.

ඔහු පන්දු 125කට මුහුණදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් එල්ල කළේය. එක්දින වරම් ලබාගත් මුල්ම තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව 12වැනි පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වූ ඉමාම් එමෙන්ම මෙවැනි දස්කමක් දැක්වූ දෙවැනි පාකිස්තානු ජාතිකයා ද වේ. මෙයට පෙර සලීම් එලායී 1995දී මංගල එක්දින තරගයට මුහුණදී ලකුණු 102ක් ලබා තිබුණි.

හසන් අලී ලකුණු 34කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර එක්දින ක්‍රිකට් තරගවල වේගයෙන් කඩුලු 50ක් බිඳහෙලූ ලොව 5වැනි පන්දු යවන්නා බවට ද පත්විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය ඇමැතූ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු පොතාස් මහතා පැවැසූවේ පිතිකරුවන්ගේ ඇඳ වැටීමට හේතුව අවංකවම තමා නොදන්න බවයි. “අප රැස්වීම් කිහිපයක්ම තිබ්බා. ඒ වගේම පුහුණු සැසි ගොඩක් සැලසුම් කළා. නමුත් පිතිකරුවන් නිවැරදි මාවතේ නෑ. සියලු දෙනාට අවශ්‍ය සටන්කාමීබව. ඒත් අප දැක්කේ දිගින් දිගටම දුර්වල වූ එකම දේ පමණයි. මේ දේවල් වහාම වෙනස් විය යුතුයි” ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවල තණතිලි ඉතා හොඳින් සකසා තිබූ අතර පාකිස්තානය ලොව අංක එකේ කණ්ඩායමක් ලෙස තම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර අද සජා හී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී පිතිකරණ අනුපිළිවෙළ පිළිබඳ වඩත් සැලැකිලිමත්වීමට ශ්‍රී ලාංකා පිලට සිදුව ඇත. එක්දින තරග 10ක් එක දිගට පරාජයවී දැන් නිර්මාණයවී ඇති ශ්‍රී ලංකාවේ පරාජිත ක්‍රිකට් රැල්ලට තිත තැබීම ශ්‍රී ලංකා පිලේ එකම බලාපොරොත්තුවවී ඇත.

දෙවැනි ටෙස්ට් තරගයේදී වේගයෙන් ලකුණු රැස්කළ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකාවේ සිට නැවැත එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත එවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියාකර ඇති හෙයින් ඔහුට අද තරගයේ අංක 1 හෝ 2 ස්ථානයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මේ වන විට එම ස්ථානවල ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් අසාර්ථකත්වයට පත්ව ඇති හෙයින් සදීර කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ. ඔහු තවමත් එක්දින තරගයකට සහභාගීවී නැත. පෙරේදා තරගයේදි පන්දුවක් වැදීමෙන් මුහුණට තුවාල සිදුවු චාමර කපුගෙදරගේ තත්ත්වය බරපතල නොවන බව කණ්ඩායම් ආරංචි මාර්ග වලින් කියැවේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගණයේ වැඩි වාසී ඉතිහාසය පුරා පාකිස්තාන පිල සතුව ඇත. ශ්‍රී ලංකාව සමග වසර 2001 සිට අවසන්වරට මෙහි පැවැති තරග පහම පිට පිට ජයග්‍රහණය වාර්තා කිරීමට පාකිස්තානය සමත්ව තිබේ. මෙතෙක් සාජා ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 35ක් පැවැති අතර එයින් 22ක ජය පාකිස්තානය හිමිකරගත් අතර ශ්‍රී ලංකාවට තරග 12ක ජය හිමි විය. තරගයක් සම තත්ත්වයෙන් නිමාවී ඇත.

නව අදහස දක්වන්න