දකුණු අප්‍රිකාව තරගාවලිය දිනයි | දිනමිණ

දකුණු අප්‍රිකාව තරගාවලිය දිනයි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 104ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවෝ සමත් වුහ. ඒ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 353ක් රැස්කළ අතර පිළිතුරු ලෙස බංග්ලාදේශ පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 249ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් ඉම්රුල් කයිස් (68) හා මුෂ්ෆිකර් රහීම් (60) අර්ධ ශතක රැස්කළද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 93කි. පන්දු යැවීමේදී ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 4ක් හා ඉම්රාන් තහීර් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් නිරතවූ ඒ.බී.ඩිවිලියර්ස් තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම ඉනිම දියත් කරමින් ලකුණු 176ක් රැස් කළේය. පන්දු 68කින් 25වැනි එක්දින ශතකය වාර්තා කළ ඩිවිලියර්ස් දැවී යනවිට පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 15කින් හා හයේ පහර 7කින් ඉනිම වර්ණවත් කරගත්තේය. තෙවැනි කඩුල්ලට හසීම් අම්ලා සමග එක්ව ලකුණු 136ක් එක්කළ ඩිවිලියර්ස්, ජේ.පී.ඩුමින් සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගීය. 

නව අදහස දක්වන්න